ප්‍රබලයන් 6ක් ඕස්ට්‍රේලියා සංචාරයෙන් කැපෙයි

0
95
විස්සයි 20 තරගාවලිය ජයගත් මොහොතේ තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා ක්‍රීඩා පිටියට ගොස් නායක දසුන් ශානකට සුබ පැතූ අයුරු.

– අලුත් තරු පායද්දී පැරණි තරු මිලින වෙයි
– නායකයා මාලිංග පාකිස්තානයේ නැති 10න් තව 3-4ක් ගන්නවා

මේ මස අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථා ඇත්තේ පාකිස්තානයට නොපැමිණ කොළඹ නැවැතුන ක්‍රීඩකයන් තුනකට හෝ හතරකට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පවසයි. ඔස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත පැවැරෙන බවත්, පාකිස්තානයේදී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා ලාහෝර් නුවරදී පැවැසීය. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම මේ මස 11වැනිදා සිදු කිරීමට නියමිත වේ.

“ අපේ 10ක් පාකිස්තානයට එන්න බෑ කියලා නැවැතුණා. බොහෝ වේලාවට පාකිස්තානය ආපු නැති ක්‍රීඩකයින් තුනක් හතරක් ඔස්ට්‍රේලියාවට යන කණ්ඩායමට එකතු වෙයි. ලසිත් මාලිංග තමයි නායකයා. ධනුෂ්ක ගුණතිලක ගැන ඉතාම සතුටුයි. මා දැකපු හොඳම ඉනිම් දෙකක් පාකිස්තානයේදී ඔහු ක්‍රීඩා කළා. ඒ නිසා ඔහු ආරම්භක පිතිකරු ලෙස දිගටම ක්‍රීඩා කරයි. ඒ හැකියාව දිගටම තියා ගන්න හැකි වුණොත් ශ්‍රී ලංකාවට ලොකු හයියක්. වනිඳු හසරංගට වැඩි අවස්ථාවක් දුන්නොත් අපේ දඟ පන්දු යවන්නන්ගේ අංශය ඉදිරියේදී ශක්තිමත් කළ හැකියි“ අසන්තා ද මෙල් මහතා පැවැසීය.

මීළග විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට කලින් අපට තව තරග 18ක් පමණ තියෙනවා. අපට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට මුහුණදීමෙන් අනතුරුවයි ලෝක කුසලානයට යන්න වෙන්නේ. ඒ නිසා හරි සංචිතයක් හදලා ලෝක කුසලානය දක්වා නිවැරදි ගමන් මඟක් ඔස්සේ රැගෙන යා යුතුයි. මේ වැඩ වලදී ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිම බලපෑමක් නෑ. සභාපති ෂම්මි ක්‍රිකට් වෙනුවෙන් ගොඩාක් කැපවී සිටිනවා මේක දියුණු කරන්න. පාලක මණ්ඩලය හොඳ සහයෝගයෙන් ක්‍රියා කරනවා. මේ විදිහට ගියොත් අපට විස්සයි 20 ලෝක කුසලානය දිනන්න හැකියි“

“ මා ගොඩාක් සතුටු වෙනවා තරුණ ක්‍රීඩකයන් ඔවුන්ට ලැබුණු අවස්ථාවෙන් දක්ෂතා පෙන්වීම ගැන. මේක ශ්‍රී ලංකාවටත් මේ තරගාවලියට ආපු නැති ක්‍රීඩකයන්ටත් හිතන්න අවස්ථාවක්. අපට හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනකුම ඉන්න බව ඔප්පු වුණා. ශ්‍රී ලංකා ‘ඒ‘ සංචිතයේත් හොද ක්‍රීඩකයෝ කිහිප දෙනකුම ඉන්නවා. පැතුම් නිශ්සංක, කමිඳු මෙන්ඩිස්, චරිත් හසලංක, මොහොමඩ් ශිරාස් වගේ ක්‍රීඩකයන් හොඳින් කරනවා. ඔවුන් ගැනත් ඉදිරියේ හිතන්න වෙයි“ ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවැසීය. පාකිස්තානයේදී මෙම තරගාවලිය ආරම්භවීමට පෙර තේරීම් කමිටු සභාපතිවරයා සංචාරයට සහභාගී නොවී සිටි ක්‍රීඩකයන් තමන්ගේ අවස්ථාව තරුණ ක්‍රිඩකයන්ට නිකම්ම ලබාදීම යම් අවදානමක් බව කලින්ම අවධාරණය කර සිටියේය.
dinamina.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here