පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි මි. 245ක් ගෙවූ අයුරු

0
24

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව අධිකරණය හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් නියෝග පරිදි අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් මේ වන විට වින්දිතයන් වෙත ගෙවා අවසන් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ ය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (පෙබ. 27) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණ නියෝග පරිදි ගෙවීමට තිබූ වන්දි මුදල් විත්තිකරුවන් විසින් ගෙවීමෙන් අනතුරුව එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මෙම පෙත්සම් 12ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවිය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ පෙනී සිටියා ය.

ශ්‍රේ‍ෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගවලට අදාළව රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති බවත් ඉන් පසුගිය ජනවාරි මස 31 වන දා වනවිට රුපියල් මිලියන 245ක මුදලක් වන්දි වශයෙන් වින්දිතයන් වෙත ගෙවා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා ය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් 412 දෙනෙකුට මේ යටතේ වන්දි ගෙවා අවසන් බවත් ඊට මියගිය පුද්ගලයින් 215 දෙනෙකු ද ඇතුළත් වන බව ත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා ය.

සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, වන්දි මුදල්වලින් තවත් මිලියන 65ක් ඉතිරිව තිබෙන බවත් ඒවා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කරන වින්දිතයින් සහ වින්දිත වැඩිහිටියන්ගේ රැකවරණ කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් ය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම වන්දි ගෙවීම් කටයුතුවලට අදාළ සවිස්තර වාර්තා තවමත් තමන් වෙත ලැබී නොමැති බව එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේදී සඳහන් කළේ ය.

මෙම වාර්තා පෙත්සම්කාර පාර්ශවය වෙත තවමත් ලබා නොදීමේ හේතුව කුමක්දැයි එහිදී අගවිනිසුරුවරිය අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගෙන් ප්‍රශ්න කර සිටියාය.

එසේ ම, මෙම නඩුව කැඳවනු ලබන මූලික පරමාර්ථය වන්නේ වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කරන නමුත් එම වාර්තා පෙත්සම්කාර පාර්ශවයට ලබා දී නොතිබීම හේතුවෙන් නඩුව කැඳවීමේ පරමාර්ථය හා එහි අරමුණ ඉටු නොවන්නේ යැයි අගවිනිසුරුවරිය වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

ඒ අනුව, වින්දිතයින්ට වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් කාදිනල්තුමා ඇතුළු පෙත්සම්කාර පාර්ශවයට නොපමාව ලබා දෙන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල, එම කටයුතු විමසා බැලීම සඳහා මෙම නඩුව ලබන මැයි මස 21 වන දා නැවත කැඳවීමට නියම කළේ ය.

උපුටා ගැනීම – හන්සි නානායක්කාර (මව්බිම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here