පාස්කු ප්‍රහාරය ගැන ජනතා සැකය අතිශයින් ම බරපතලයි – කරු ජයසුරිය

0
82

පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.    ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයකරු ජයසුරිය’ මේබව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී ඊයේ (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

  එහිදී ඔහු රටේ සියලු පාර්ශවයන්හි අවධානය යොමුවිය යුතු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ගෙනහැර දැක්විය.    විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව කරු ජයසුරිය එහිදී සඳහන් කළේය.       එහෙත්, කුමන තත්වයක් තුළ වුවද මේ රටේ ජාතීන් අතර හෝ ආගම් අතර මෙන්ම දේශපාලනික වශයෙන්ද කිසිදු බෙදීමකට හේතුවන ආකාරයේ කිසිදු කටයුත්තකට උත්සහ නොකරන්නැයි ඔහු සියලු පාර්ශවයන්ගෙන්ම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. 

  ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.   ”අප එසේ සදහන් කරන්නේ ජාතීන් අතර හා ආගම් අතර මෙන්ම දේශපාලනික වශයෙන්ද භේද බින්නතා නිර්මාණයවීමට තුඩුදිය හැකි ප්‍රකාශ ගණනාවක්ම එහිදී විවිධ පාර්ශව අතරින් අසන්නට ලැබුණ හෙයිනි. අතීතයේදී අවස්ථා ගණනාවකදීම සිදුව ඇති ආකාරයට මේ රට නැවත ගිණිගොඩක් බවට පත්කරලීමට හෝ ලේ විලක් බවට පත්කරගැනීමට කිසිවෙකු විසින් හෝ ඉඩක් නොතැබිය යුතුය. රටට ආදරය කරන කිසිවෙක් යළි එවැන්නකට ඉඩකඩ තබන්නේ නැත…  

”පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අප ඉතාමත්ම පැහැදිලිව කිව යුතුව ඇති දේ වන්නේ එය අතිශය දුශ්ඨ අරමුණකින් සිදුකර ඇති සාහසික ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවය. නියත වශයෙන්ම ඊට සම්බන්ධ වූ කණ්ඩායම් ද ඇතුළු සියලුම පුද්ගලයින් නීතිය හමුවට පමුණුවා ඔවුන් වෙත උපරිම ආකාරයේ දඩුවම් ලබාදිය යුතුය. ඒ පිළිබදව කිසිදු විවාදයක් නොතිබිය යුතුය. ”     එහෙත් ඒ පිළිබදව උනන්දුවක් දක්වන හා ඒ වෙනුවෙන් පෙනී සිටින සෑම පාර්ශවයක්ම එහිදී ක්‍රියාකල යුතුව ඇත්තේ සත්භාවයෙන බවත්,  පටු ජාතික හෝ ආගමික සීමා ඉක්මවමින් ජාතියේ යහපත පෙරදැරිව පමණක් එම කටයුතු සිදුවිය යුතු බවත්, එමගින් කිසිදු ජාතියක් හෝ ආගමික  කණ්ඩායමක් පීඩාවට පත්විය යුතු නැති බවත් කරු ජයසුරිය එහිදී වැඩි දුරටත් කියා සිටියේය.   එමෙන්ම එකී මිලේච්ඡ ප්‍රහාරයෙන් විපතට පත් සියලුම වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.    

  ” ජාතික ආරක්ෂාව ඉතාමත්ම විද්‍යානුකූල ලෙස නිසි ක්‍රමවේද හරහා තහවුරු කරමින් අනාගතයේදී කිසිදු ලෙසකින් හෝ එවැන්නක් සිදුනොවීමට ජාතියක් ලෙස අප වගබලාගත යුතුය. එය අපගේ පැහැදිලි හා ඒකායන ස්ථාවරයයි. ”

  එමෙන්ම මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කරුණක් කෙරෙහිද කරු ජයසුරිය මෙම මාධ්‍ය හමුවේදී අවධානය යොමු කළේය.    එනම් කෝවිඩ් වසංගතයට එරෙහිව මේ වනවිට සිදුකරමින් සිටින එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබදව මතුව ඇති ඇතැම් සැක සංකා පිළිබදව ය. 

” සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වගකීමක් සහිත වෘත්තීය සංවිධාන පෙන්වා දී ඇති ආකාරයට කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා 1,264,000 (දොලොස් ලක්ෂ හැට හතර දාහක් ) පමණ පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකාවට ලැබී තිබේ. වාර්තා වන අන්දමට එයින් මාත්‍රා 960,000 (නව ලක්ෂ හැට දාහක්) පමණ මේ වනවිට ජනතාවට එන්නත් කර තිබේ. එය එසේ නම් තවදුරටත් රට තුළ ඉතිරිව ඇත්තේ එන්නත් මාත්‍රා තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණටයක් වියයුතුය. මේ වනවිටත් එන්නත ලබාදුන් පිරිසට නියමිත කාලයේදී නිසි ආකාරයට එහි දෙවන මාත්‍රාව ලබාදීමට නම් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ හතකට ආසන්න ප්‍රමාණයක් අප විසින් සපුරාගත යුතුව තිබේ.     ඒ අනුව පැන නැගෙන ප්‍රශ්ණය වන්නේ දැනට අදාල එන්නතෙහි පලමු මාත්‍රාව ලබාගෙන ඇති 960000 පමණ වූ අපේ සහෝදර ජනතාවට නියමිත කාලයේදී එහි දෙවන මාත්‍රාව ලබාදීමට රජයේ ඇති සැලැස්ම කුමක්ද යන්නයි.       

මේ පිලිබදව ඊට අදාල බලධාරීන් රට හමුවේ ඉතා පැහැදිලි හා නිශ්චිත පිලිතුරක් ලබා දියයුතුව ඇතැයි ඔහු අවධාරණය කළේය.   ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.   ”ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇති ආකාරයට මෙන්ම රජයේ ඇතැම් බලධාරීන් ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වනවිටත් මේ රටේ ජනතාව වෙත ලබාදී ඇති එන්නත් වර්ගය නිෂ්පාදනය කරන සමාගම තවදුරටත් අදාළ එන්නත ලංකාවට ලබාදීම ප්‍රතික්ෂේප කරතිබේ. ඒ අනුව ලංකාව විසින් මේ වනවිටත් ඇණවුම්කර ඇති එන්නත් තොගය අපට නොලැබීමට ඇති ඉඩ බොහෝ වැඩිය. එසේ නම් රටක් ලෙස අප ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද? කිසියම් තත්වයක් තුළ එම එන්නත් තොගය අප රටට නොලැබුණ හොත් ඇතිවිය හැකි තත්වය කුමක් ද? ඒ පිළිබදව රජයට අවබෝධයක් තිබේ ද?    

වෛද්‍ය විශේෂඥයන් සදහන් කරන ආකාරයට අපේ රටේ ජනතාවට ලබාදී ඇති එන්නත් වර්ගය අනුව එමගින් සාර්කත්වයක් ලබාගැනීමට නම් එහි දෙවන මාත්‍රාවද නියමිත කාලයේදී ලබාදිය යුතුමය. කුමන තත්වයක් යටතේ හෝ ඒ සදහා වෙනත් එන්නත් වර්ගයක් ආදේශ කල නොහැකිය. එමෙන්ම එසේ කිරීම බෙහෙවින් අන්තරායකාරී ද විය හැකිය. 

    ”දැනටමත් වාර්තා වී ඇති පරිදි මේ වනවිටත් අදාල එන්නතේ පලමු මාත්‍රාව ලබාදී ඇති 960000 පමණ වූ අප රටේ ජනතාවට තව සති කිහිපයක් තුළ එහි දෙවන මාත්‍රාවද අත්‍යවශයෙන්ම ලබාදිය යුතුව තිබේ.    එසේ නොවුණ හොත් ඔවුන්ට නියමිත ප්‍රතිශක්තිය ජනනය වන්නේ නැත. එහි අර්ථය ඔවුන් කොරෝනා රෝගයට තවදුරටත් නිරාවරණය වන බවය.    නොඑසේ නම් ලබාගත් එන්නතෙන් කිසිම ඵලයක් නැති වගය.    මේ තත්වයට රජය මුහුණ දෙන්නේ කෙසේ ද? එය රටට පැහැදිලි කිරීම අදාල බළධාරීන්ගේ වගකීමකි. අප ඒ දෙස උනන්දුවෙන් යුතුව බලා සිටින්නෙමු.   
  මෙවැනි අසංවිධානාත්මක තත්වයක් ඇයි ?

Gota 2104.08            රටේ සමස්ත බලය එක් පුද්ලයෙකුගේ අධිකාරියක් යටතට පත්වී තිබේ.   මෙවැනි අසංවිධානාත්මක තත්වයක් රට තුළ නිර්මාණයවීමට හේතුව කුමක් ද? අප රටේ ජනතාව මේ පිළිබදව ගැඹුරින් අවධානය යොමුකල යුතුය. අද රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ බොහෝ ආයතන අකර්මණ්‍ය වී ඇති ආකාරයක් දැකගත හැකිය.

    රටේ සමස්ත බලය එක් පුද්ලයෙකුගේ අධිකාරියක් යටතට පත්වී තිබේ.    මේ හේතුවෙන් එකී පුද්ගල අධිකාරීත්වයේ නියෝග හා උපදෙස් නොමැතිව කිසිදු ආයතනයක් ස්වාධීනව ක්‍රියාකාරීවීමට නොහැකි වී ඇති අතර අනෙක් අතට ඔහුගේ නිවැරදි නොවන උපදෙස් හා මගපෙන්වීම් තුළ ක්‍රියාකරන්නට යාම නිසාද ඇතැම් ආයතන අකර්මණ්‍ය වී ඇති ආකාරයක් දැකගත හැකිව තිබේ.    ඇත්ත වශයෙන්ම අද වනවිට මේ රටේ සෑම ආයතනයක්ම එක් පුද්ගලයෙකුගේ රෑකඩ බවට පත්ව තිබේ. එමගින් විනාශ මුඛයට යමින් තිබෙන්නේ රටේ ප්‍රජාත්නත්‍රවාදය පමණක්ම නොවේ.

මුළු රාජ්‍යතන්ත්‍රයම අවුල් ජාලයක් බවට පත්ව තිබේ.      මෙවැනි තත්වයකට මේ රට යොමුකර ඇත්තේ 20 වන සංශෝධනය මගින් රට තුළ ඇති කරන ලද විකෘතිය විසිනි.      ඒ නිසා මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය යළි නිසි පරිදි සක්‍රීය කරලීමට නම් එක් එක් කාරණයන්ට අදාලව එක් පුද්ගලයෙකු වෙතින් නියෝග හා නිර්දේශ ලැබෙන තුරු බලා නොසිට ඒ ඒ ආයතන වෙත ව්‍යවස්ථාපිතව ලබාදී ඇති බලතල ස්වාධීනව ක්‍රියාත්මක කල හැකි ආකාරයට අවශ්‍ය පරිසරයක් යළි නිර්මාණය කල යුතුව තිබේ. ඒ සදහා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුමය.   

අද වනවිට ඒ බව බොහෝ දෙනෙකුට තේරුම් ගොස් ඇති ආකාරයක් පෙනෙන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවයකි.    ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිගෞරවණීය නායක මාහිමිපාණන් වහන්සේ රජයේ ප්‍රමුඛ අමාත්‍යවරුන් දෙපලක් ඉදිරියේ තබාගෙන පසුගිය දා අවස්ථා දෙකකදී සිදු කරන ලද අනුශාසනාවන් ඒ සදහා නිදසුන් ය. උන්වහන්සේගේ මෙම අනුශාසනාවන් රජය මෙන්ම මේ රටේ ජනතාවද සවන් දුන්නේ නම් එය ඉතා යහපත්ය.    ඇත්ත වශයෙන්ම 20 වන සංශෝධනය මේ රටේ පැවැති ප්‍රශ්ණ විසදීමට හේතුවක් වුණා ද? එසේ නැතිනම් නොතිබුණු ප්‍රශ්ණ ඇතිවීමට ද හේතුවක් වී තිබේ ද? එය ජනතාවට වඩා යහපත් ජීවිතයකට ආධාරකයක් වී තිබේ ද?    ජීවන වියදම පාලනය කරන්නට, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට එමගින් පිටු බලයක් ලැබුණා ද? 

  20 වන සංශෝධන මගින් ලබාගෙන ඇති අසීමාන්තික බලය අද ඔවුන් යොදාගනිමින් සිටින්නේ කුමක් වෙනුවෙන් ද?    තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නට, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්‍යතා දුර්වල කරන්නට මෙන්ම අධිකරණ කෙරෙහි මේ රටේ ජනතාව තුළ පැවැති විශ්වාසය දවසින් දවස දුර්වල කරන්නට නම් එකී බලතල තුළ ක්‍රියාත්මක වූ ඇතැම් කටයුතු හේතුවී තිබෙනවා.    ඒ නිසා එහි නිර්මාතෘවරුන් ඉතා පැහැදිලිවම එක් දෙයක් තේරුම්ගත යුතු වෙනවා.    එනම් මේ තත්වය මේ ආකාරයෙන් තවදුරටත් වර්ධනය වුවහොත් ජනතාවගේ ශාපය ඔවුන් වෙත එල්ලවීම නොවැලැක්විය හැකිවනු ඇති බවයි.    එපමණක් නොව මේ රටේ අනාගත පරපුර ඒ වනවිට මේ රටේ ජීවත්වන ඔවුන්ගේ දරුපරපුරට පවා සමාවක් නොදීමට ඉඩ ඇති බවයි. අප මේ කරුණු අවධාරණය කරන්නේ එවැනි තත්වයක් ඇතිවීම ද වලක්වා ගැනීමටයි.    අද මේ රට ගමන් කරමින් සිටින දැවැන්ත ප්‍රපාතයේ රට මුදා ගැනීම අප සතු පරම වගකීමක් ලෙස සලකන නිසයි. ”    
   උගතුන්ට, විද්වතුන්ට ද නරක කල දසාවක් !    විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු     
  රට තුළ ඇති වෙමින් පවතින අහිතකර තත්වය මේ රටේ උගතුන්ට, විද්වතුන්ට ද ඉක්මන් නරක කල දසාවක් නිර්මාණය කරමින් පවතින බව ද කරු ජයසුරිය අනතුරු අඟවා සිටියේය.   එම කාරණය පැහැදිලි කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.         ”ඒ සදහා දැක්විය හැකි ආසන්නතම උදාහරණයක් වන්නේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඔහු කටයුතු කරමින් සිටි ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමයි. මේ රටේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇති අන්දමට ඔහු අදාල තනතුරෙන් ඉවත් කිරීමට හේතුවී ඇත්තේ මේ රටේ ජනතාව අවදානමකට ලක්විය හැකි කරුණකදී ඔහු රජයේ මතයට පටහැනිව නිවැරදි ලෙස ජනතාවගේ ආරක්ෂාව උදෙසා පෙනී සිටීම නිසයි. ”  

  මෙවැනි සිදුවීම් මගින් රටට ලබාදෙන පණිවිඩය කුමක් ද? තම වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් නිවැරදි ලෙස පෙනී සිටීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට පවා අද හැකියාවක් නැති බවය. මෙය ඉතාමත්ම ඛේදනීය තත්වයකි.    මීට පෙරද මේ ආකාරයටම කිර්තිමත් වෛද්‍ය විශේෂඥවරුන් කිහිපදෙනෙකුටම ඔවුන්ගේ තනතුරු අහිමිකල බව හා ඉල්ලා අස්වීමට යොමුකල බව මෙහිදී අප තේරුම්ගත යුතුය.    ජනතාව මෙවැනි දේ කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ඒ බව මේ රටේ බලධාරීන් තේරුම් නොගන්නේ නම් එය ඔවුන්ගේ ද අවාසනාවකි. ”    
  ”අපේ රට පරිසර නාශක පාලකයන්ගේ ගොදුරක් වෙලා”  
අද මේ රටේ ජනතාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරිමට මහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු පරිසරය හා අත්‍යන්තයෙන්ම  බද්ධ වූ සංස්කෘතික මහෝත්සවයකි.    අපගේ සංස්කෘතික මූලයන් මෙන්ම ජිවන පැවැත්ම ද බැදී ඇත්තේ පරිසරය සමගය නමුත් අද වනවිට අපේ රට පරිසර නාශක පාලකයන්ගේ ගොදුරක් බවට පත්වී හමාරය.   මේ රටේ පරිසරය ආරක්ෂා කරගන්නට අතිගරු ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදීම නියෝග ලබාදෙන ආකාරයක් අප දැක තිබෙනවා.   

එහෙම තත්වයක් තුළ ප්‍රාදේශීය දේශපාලන බලවන්තයන් පවා පරිසර නාශකයන් වි සිටින්නේ ඇයි? පරිසරය ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන පොලිස් නිළධාරින්ද ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට මේ ආකාරයේ බලපෑම් එල්ල වන්නේ කෙසේද? ගරු ජනාධිපතිතුමා ඒ ගැන අන් සියල්ලටම පෙර අවධානය යොමුකල යුතුයි.    ඒ නිසා මේ රටේ පරිසරය විනාශ කරන මුරණ්ඩු දේශපාලකයන් මට්ටුකිරීම සදහා ජනාධිපතිතුමා කෙලින්ම මැදිහත්විය යුතුයි.    මේ රටේ රාජ්‍ය නායකයා ලෙස එතුමාට ඒ සදහා ධෛර්ය හා ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.    ඒ වගේම මතුවන සියලු අභියෝගයන් ඉදිරියේ පවා මේ රටේ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියලුම රාජ්‍ය නිළධාරීන් හා සංවිධානවලට මෙන්ම විශේෂයෙන්ම අපේ රටේ තරුණ පරපුරට අප අපගේ ගෞරවය පුද කර සිටිනවා.  
   ආහාරවල ගුණාත්මකභාවය ?

”අද අපගේ ආහාරවල ගුණාත්මකභාවය ගැනද අන් කවරදාකටත් වඩා අවධානය යොමුකල යුතුව ඇති ඛේදනීය තත්වයකට වැටිතිබෙනවා.”     ” ඇත්තටම එම තත්වය මහත් වේදනාවක්. අලුත් අවුරුද්දට වස විස නැතිව කැවිලි ටිකක්වත් හදාගත නොහැකි තත්වයකට අද මේ රටේ ජනතාව අසරණ වෙලා. ලංකාවේ ආහාර වර්ගවලද ඇතුලු භාණ්ඩවල ප්‍රමිතිය තහවුරු කරන ප්‍රමිති ආයතනයම ඒ බව පිළිගන්නවා නම් වෙනත් කවර කතා ද? 

  මෙය ඉතාමත්ම ඛේදනීය තත්වයක් මේ ගැන රජය ඉතාමත්ම කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදුකල යුතුය. එමගින් මේ රටේ ජනතාව ලබාගන්නා ආහාරවල වසවිස නොමැති පරිසරයක් ඉක්මනින්ම තහවුරු කල යුතුය.    හදිසියේ ෆාම් ඔයිල් ආනයනය තහනම් කිරීම තුළ රසකැවිලි රසකැවිලි කර්මාන්තය සම්පූර්ණ වශයෙන් බිඳවැටීමට ලක්වී ඇති බව මාධ්‍ය වාර්ථා සනාථ කරයි.    හදිසි තීරණ ගැනීමට පෙර  අදාළ පාර්ශව සමඟ අදහස් හුවමාරු කරගත්තේනම්, මෙම ගැටළුව ඇතිවන්නේ නැත.    රජයේ නියෝග පැය කිහිපයකින් වෙනස් කරන්නේනම්, ඒය රජයට විශාල අපකීර්තියක් බව බලධාරින් තේරුම්ගත යුතුය.   අද අප රටේ සමස්ත ජනතාවටම බලපාන මෙම කරුණු කාරනා පිලිබදව අප විශේෂ අවධානයක් යොමුකලේ අඩුම වශයෙන් අලුත් අවුරුද්දෙන් පසුව හෝ ජනතාවට යහපතක් සිදුවන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතුව ඇතැයි අප කල්පනා කරන නිසාය. ජනතාවගේද ප්‍රාර්ථනය එයයි.    එය එසේම වේවා! ලබන්නා වූ සිංහල හා දෙමළ අවුරුද්ද මේ රටේ සමස්ත ජනතාවටම යහපත් වන්නා වූ කාල පරිච්ඡේදයක් වේවා ! ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !” 
theleader.lk