පාස්කු ප්‍රහාර කොමිසමේ ශානිගේ සාක්ෂිය !

0
189

ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී හෙළි විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල්හි දී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටිය දී පිත්තල හන්දියේ දී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයෙකුව සිටිය දී, බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන හතර සිදු කරනු ලැබ ඇත්තේ ශානි අබේසේකර මහතා බව ද කොමිසමේ දී ප්‍රකාශ විණි.

අබේසේකර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 25 සහ 26 දිනවල සාක්කි ලබා දුන්නේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයකුගේ මෙහෙයැවීම යටතේ ශානි අබේසේකර මහතා සාක්කි ලබා දුන්නේ ය. අබේසේකර මහතා සිදු කළ විමර්ශන ගැන රජයේ නීතිඥවරයා විමසා සිටි අතර, ඔහු ඊට පිළිතුරු දෙමින් සිද්ධි ගණනාවක් ප්‍රකාශ කළේ ය. දෙල්කඳ සය පුද්ගල ඝාතනය, සරත් ෆොන්සේකා ඝාතන තැත, අඟු‍ලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් ඝාතනය, කෝටි දෙකේ කප්පම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ඒ අතර විය. ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු කර යද්දී විමර්ශන 8,000ක් පමණ අධීක්ෂණය කරමින් සිටි බව ද කියැවිණි.

සාක්ෂි දෙමින් ඒ මහතා මෙසේ ද කීවේ ය:

“මාවනැල්ල බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බවට යම් යම් තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට යොමු කරන ලෙස කෑගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ශාමික ප්‍රේමසිරි මහතා මා හට දැන්වූවා. මම එය ‘ඉන්ටපෝල්’ භාරව සිටි රංජිත් වෙදසිංහට යැව්වා. ඔහු දින කිහිපයකින් මට පිළිතුරු දුන්නා, ඉල්ලන තොරතුරු ගන්න බෑ කියලා. හේතුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් සිදු වෙනවා නම්, ඒක කොයි රටක ද? කොයි විදියෙන් ද? කාගෙන් ද කියලා කියන්න ඕනෑ. එතකොට තමයි, විස්තර හොයන්න පුළුවන්. එහෙම නිකම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කිව්වට විස්තර ගන්න බෑ කියලා ඔහු මට දැනුම් දුන්නා. මම එය ශාමික ප්‍රේමසිරිට නැවත යැව්වා. ඊට පස්සේ ශාමික ඒ ගැන කිසිවක් එව්වේ නෑ. කුමන්ත්‍රණයක් අනාවරණය වෙලා කියලා නැවත පිළිතුරු එව්වේ නෑ. 2019 නොවැම්බර් වෙනකම් හිටිය කාලයේ දී එහෙම කුමන්ත්‍රණයක් ගැන අනාවරණය වුණේ නෑ.

ඩී. අයි. ජී. පාලිත සිරිවර්ධන කියලා තිබුණා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර තිබෙන කොමිෂන් සභාවේ විමර්ශන අංශයට මෙරිල් රංජන් පත් කළ අවස්ථාවේ මා මැදිහත් වෙලා ඔහුව එම කොමිසමෙන් අයින් කළා කියලා. මට එච්චර බලයක් තියෙනවා නම්, මම පුදුම වෙනවා. එහෙන් පත් කරපු කෙනාව මට අයින් කරන්න පුළුවන් ද?”

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මෙරිල් රංජන් සී.අයි.ඩී.යෙන් අයින් කරපු එකට හේතුවක් තියෙනවා ද?
ශානි අබේසේකර – මම අයින් කළේ නෑ. මෙරිල් රංජන් සී.අයි.ඩී. එකෙන් අයින් කළේ ඇයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව හොඳට ම දන්නවා නේ. එයාව අයින් කළේ කවුද? කොහොම ද වුණේ කියලා නීතිපති දෙපාර්තමේන්තුව මට වඩා හොඳට දන්නවා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – 2018.11.30 වැනිදා වවුනතිව් හි දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය වුණා ද?
ශානි අබේසේකර – ඔව්.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – ඒ සම්බන්ධයෙන් සී.අයි.ඩී.යෙන් විමර්ශන කළා ද?
ශානි අබේසේකර – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා
පොලිස්පතිවරයාගෙන් නියෝගයක් අරගෙන ද විමර්ශන සිදු කළේ ?
ශානි අබේසේකර – ඔව්
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – පොලිස්පතිවරයාගේ නියෝග ලැබුණේ කොහොම ද?
ශානි අබේසේකර – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එම සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේ දී පොලිස්පතිවරයා වාචිකව නියෝගය ලබා දුන්නා. පසුව ලිඛිතවත් නියෝගය ගෙන්වා ගත්තා. සිද්ධිය වූ ස්ථානය අවට තිබූ සී.සී.ටී.වී. නිරීක්ෂණය කරලා එම සිදුවීම 2018 නොවැම්බර් 30 වැනිදා පාන්දර 2.00ට පමණ සිදුව ඇති බවට අනුමාන කළා. 30 වැනිදා දවල් වෙද්දී, සී.අයි.ඩී.ය විමර්ශනය භාර ගත්තා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා ද?
ශානි අබේසේකර – මඩකලපුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සැකකාරයකුව අත්අඩංගුවට ගෙන තිබුණා. රැඳවුම් නියෝග මත වාලච්චේන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කර තිබුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – සිද්ධියට ඒ සැකකරු සම්බන්ධ ද?
ශානි අබේසේකර – සිද්ධිය වෙලා දින පහක් යද්දී, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් දීලා තිබුණා, එම සිද්ධිය වූ ස්ථානය ආසන්නම තැනක ජැකට් එකක් තියෙනවා කියලා. ඒ තොරතුරු මත පරීක්ෂණ කිරීමේ දී පාසල් බෑගයක් සොයා ගැනුණා. එහි ජැකට් එකයි, කලිසම් වගේ දේවල් තිබුණා. එය අත්අඩංගුවට ගත් සැකකරුගේ බවට සැක කළා. ඉන්පසු එම සැකකරු සම්බන්ධයෙන් එය සැකයට ප්‍රබල හේතුවක් වුණා. ඒ වගේම නොවැම්බර් 26 දින වවුනතිව්වල මහවිරු සැමරුම පවත්වන්න කටයුතු කරලා තිබුණා. එය වවුනතිව් පොලිසිය විසින් නවත්වලා තිබුණා. එම මහවිරු සැමරුම සංවිධානය කරලා තිබුණේත් අත්අඩංගුවට ගත් සැකකරු නිසා සැකයක් ඇති වුණා.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – විමර්ශනවලට බුද්ධි අංශයේ සහයෝගය ලබාගත්තා ද?
ශානි අබේසේකර – ඔව්. රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි සේවය තොරතුරු දුන්නා. නිතරම වාර්තා ලබා දුන්නා.
ශානි අබේසේකර – රාජ්‍ය බුද්ධි සේවයෙන් සහ හමුදා බුද්ධි සේවයෙන් වාර්තා ලැබුණා. සියලු‍ම බුද්ධි වාර්තාවල තිබුණේ මේක එල්.ටී.ටී.ඊ. වැඩක් කියලා. බුද්ධි වාර්තා සියල්ලේම කෝණගත වෙලා තිබුණේ එල්.ටී.ටී.ඊ.ය පැත්තට. හමුදා බුද්ධි අංශ දුන් එක් වාර්තාවක තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් පිරිසකගේ වැඩක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා – මුස්ලිම් අන්තවාදය ගැන කිසියම් තොරතුරක් තිබුණේ නැද්ද?
ශානි අබේසේකර – නැහැ. කිසිම එකක එහෙම දෙයක් තිබුණේ නෑ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු තමයි, ඒ සම්බන්ධයෙන් හරි තොරතුරු දැනගෙන අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.
සිද්ධියට අදාළව හමුදා බුද්ධි අංශ හා රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු නිවැරැදි නැහැ.

බුද්ධි තොරතුර ගැන ප්‍රහාරයට පෙර ජනපතිවරයා දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් සැක කිරීමට යම් නිශ්චිත හේතුවක් ඇත්දැයි කොමිසම ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් ශානි අබේසේකර මහතා මෙසේ කීවේය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැත්වුණා. එහි සාක්කි දෙන්න බුද්ධි අධ්‍යක්ෂත් කැඳවා තිබුණා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් කැඳවා තිබුණා. එම සාකච්ඡාවේ දී බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කිව්වා බුද්ධි ප්‍රධානීන් සාක්කි ගන්න කැඳවීම සුදුසු නෑ කියලා. ඔහු කිව්වා, විදේශ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ට, හිටපු බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට දැනුම් දුන්නා කියලා. ඔහු ඒ ලැයිස්තුව කියද් දී ම එකපාරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා මටයි, අගමැතිටයි දැනුම් දුන්නේ නැහැ කියලා. ජනාධිපතිට එය දැනුම් දුන්නේ නැති නම්, ජනාධිපති එම අවස්ථාවේ අහන්න ඕනෑ ඇයි මට දැනුම් දුන්නේ නැත්තේ කියලයි. එහෙම ඇහුවේ නැතුව මට දැනුම් දුන්නේ නැහැ කියලා විතරක් කිව්ව එක ගැන සැකයි. රාජ්‍ය බුද්ධි සේවයේ සෑම බුද්ධි තොරතුරක්ම ජනාධිපතිට දැනුම් දෙනවා.”

මේ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය අයි.එස්. සංවිධානයේ මෙහෙයැවීම මත සිදු කරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්කි කිසිවක් හමු නොවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 26දා සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ ය.

බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානයෙන් භාර ගන්නැයි ඉල්ලා තිබුණේ, ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු දිගින්දිගටම සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වූ බවත් ශානි අබේසේකර මහතා කීවේ ය.

‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයා දිගින්දිගටම සම්බන්ධතා පවත්වා තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ‘ටොනික් ටොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ බව ද, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් රාජ්‍ය බුද්ධි සේවයට ගිය විට බුද්ධි ප්‍රධානීන් ඊට ඉඩ ලබා නොදුන් බව ද ශානි අබේසේකර මහතා සඳහන් කළේ ය.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දුන් අවසන් සාක්කිකරු ශානි අබේසේකර මහතා ය. මාවනැල්ල සහ පුත්තලම වනාතවිල්ලු‍වේ අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සංවිධානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කිරීමට අවස්ථාව ලබා දෙන බව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ශානි අබේසේකර මහතා කීවේ ය.

“මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වීම යන සිදුවීම් දෙක පිටුපසම සිටින්නේ එකම කණ්ඩායමක් බැවින්, ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වැදගත්කම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2019 පෙබරවාරි මස දෙවැනි දා පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. එවිට “හොඳයි රවී එහෙනම් ඔය ගැන ආරක්ෂක මණ්ඩලයේ දී දැනුම්වත් කරන්න” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එහෙත් ඉන් පසු කිසිම අවස්ථාවක මටවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාටවත් ආරක්ෂක මණ්ඩලයේ දී දැනුම්වත් කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නෑ.”

රජයේ නීතිඥවරයා – අදාළ සංවිධානයේ මූලිකත්වය දරන්නෙ සහරාන් හෂීම් බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්නා ද?
ශානි අබේසේකර – ඒ ගැන මතකයක් නෑ. හැබැයි ආරක්ෂක මණ්ඩලයේ දී මේ ගැන කතා කරන්න අවස්ථාවක් දුන්නා නම් සියලු‍ම විස්තර ඉදිරිපත් කරන්න තිබුණා.
2020 වසරේ මැයි මාසයේ දී පමණ සහරාන් හෂීම් ඇතුළු‍ පිරිස කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටියත්, පුත්තලම, වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමත් සමඟ එම ප්‍රහාරය වැළැකී ගිය බව ද අබේසේකර මහතා කීවේ ය. මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස ජංගම දුරකථනවලට විශේෂ යෙදවුම් භාවිත කරමින් සන්නිවේදන කටයුතු සිදු කර තිබුණු නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අසීරු වූ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඔවුන් භාවිත කළ ජංගම දුරකථන යෙදවුමට අදාළ සමාගමෙන් අදාළ විස්තර ඉල්ලා සිටිය ද, ඔවුන් එය ලබා නොදුන් බව ද අබේසේකර මහතා පැවසී ය.

කොමිසම – සහරාන් ඇතුළු පිරිස මෙම ජංගම දුරකථන යෙදවුම භාවිත කරමින් සන්නිවේදනය කළ බව ප්‍රහාරයට පෙර සිට ම දැනගෙන සිටියා ද?
ශානි අබේසේකර – ඔව් ස්වාමිනි. එලෙස ප්‍රහාරයට පෙර දැනුම්වත්ව සිටියා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප ඉල්ලා සිටියා. නමුත්, අදාළ තාක්ෂණික ආයතනවලින් එම තොරතුරු නිසි පරිදි ලැබුණේ නැහැ.

පුත්තලම වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වීමේ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මුදාහැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ දී ප්‍රශ්න කෙරිණි. එම පුද්ගලයන් දෙදෙනා මුදාහැරීමට තමා මැදිහත් නොවූ බව ද ශානි අබේසේකර මහතා කීවේ ය.

මේ අතර නීතීපතිවරයා විසින් පවරනු ලැබූ නඩුවලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිසා තමා අද මෙවන් තත්ත්වයකට පත් වී ඇති බව අබේසේකර මහතා කීවේ ය. ඔහු කීවේ, තම විමර්ශනවල දී කිසිසේත්ම දේශපාලනය අදාළ කර නොගත් බවයි. තමන් සෑම විටම සිදු කළේ දේශපාලනඥයන් කළ ඉල්ලීම්වලට ප්‍රතිවිරුද්ධ දේ බවද අබේසේකර මහතා කීවේ ය.

ශානි අබේසේකර මහතාගේ සාක්කියෙන් පසු සාක්කි ලබා ගැනීම අවසන් කෙරිණි. කොමිෂන් සභාවේ කටයුතුවලට සහාය වූ විමර්ශන කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ජනාධිපති කොමිෂන් සභාව අවසානයේ නියෝග කළේ ය. එසේ එම ප්‍රහාරයට අදාළ කවර තරාතිරමක හෝ වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවට වර්තමාන ආණ්ඩුව ලබාදුන් තවත් පොරොන්දුවක් එසේ අවසන් විය.

-අසංක කරුණාරත්න
lankaweb.lk