පැෆ්රල් සංවිධානයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට විශේෂ ලිපියක් !

0
136

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා,
ගරු ආණ්ඩුකාරතුමා,
බස්නාහිර පළාත.
2024.07.10

ගරු ආණ්ඩුකාරතුමනි,

පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයින් පත් කිරීම.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කාල සීමාව තුළ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ නියෝජිතයින් ලෙස පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම හා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සොයාබැලීමට ඔවුන් යෙදවීම මගින් මැතිවරණය ක්‍රියාත්මක මොහොතක මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛද උල්ලංඝනය කිරීමකි. මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරතුමා වෙත ලිඛිතව දැනුම්දෙමින් දන්වා තිබුණේ මැතිවරණය ක්‍රියාත්මක කාලසීමාවක් තුළ එලෙස පත්වීම් ලබාදීම නීති විරෝධී කටයුත්තක් බවයි. ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් ආණ්ඩුකාරවරයා විසින් ලබාදී ඇති එම පත්වීම් අවලංගු කරන බවට ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත.

එවැනි වාතාවරණයක් තුළ බස්නාහිර පළාත් සභාවට අයත් පළාත් පාලන ආයතන වලට අදාලවද ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකාරක නියෝජිතයින් පත් කිරීමටද කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ. සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීම පිළිබඳව කිසිඳු විරෝධයක් අප සතුව නොමැති නමුත් නිරන්තරයෙන් අප සඳහන් කරනුයේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකල යුතුම නම් ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලකයින් සම්බන්ධ කර නොගෙන විධිමත් ලෙස ස්ථාපිත කොට ඇති රාජ්‍ය ආයතන හරහා සිදුකරන ලෙසය. පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන මොහොතක දැනටමත් අපේක්ෂකයන්ව හිඳින පුද්ගලයින් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ නියෝජිතයින් අයුතු දේශපාලන වාසියක් ලබාගැනීම නොවැළැක්විය හැකිවනු ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස කටයුතු කල ඔබතුමා වැනි පුද්ගලයෙකු අතින් මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ පත් කිරීම් සිදුකිරීමක් සිදුනොවිය යුතු බව අප තරයේ විශ්වාස කරමු. ඒ ඔබතුමා ඉතා අසීරුවෙන් උපයාගෙන ඇති කීර්තිනාමය ඔබගේ හෘදසාක්ෂියට අනුව විශ්‍රාම යාමෙන් පසුවද පවත්වාගත යුතු හෙයිනි.

උක්ත කරුණ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මැතිවරණ නිතී උල්ලංඝන වන ආකාරයේ කිසිඳු පත් කිරීමක් සිදුනොකරන ලෙසත් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විධිමත් ලෙස ස්ථාපිත කොට ඇති රාජ්‍ය ආයතන ව්‍යූහය හරහා එය සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

පිටපත්
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඇතුලු සියලු කොමසාරිස්වරුන්
මාධ්‍ය ආයතන හා උනන්දුවක් දක්වන සෙසු පාර්ශව