”පෑදි දියට බොරදිය එක්වන්න එපා” – බොරදිය පොකුණ අසල හිඳ සත්‍යජිත් මාඉටිපේ සමඟ කළ සංවාදයකි

0
545

පෑ දි දිය නිශ්චලය. එය ගැඹුරු වුවද වටපිටාව ද පත්ලේ මඩ වෙතොත් එය ද, පිහිනන්නා වූ මාළු වෙතෙත් උන් ද, එහි ගල්පර වෙතොත් ඒවා ද පෑදි දියෙහි දැක ගත හැකිය. එහෙත් බොරදිය වූ කලී පතුල පෙන්වන්නේ නැත. බොරදියේ මාළු බෑම කොයි හැටි වෙතත් බොරදිය පොකුණක පතුල කෙබඳු දැයි සෙවීම දුෂ්කරය. සිංහල සිනමාවට අලුතෙන්ම එක්වන සිනමාකරුවා සත්‍යජිත් මාඉටිපේය. ඔහුගේ මුල්ම නිර්මාණය ‘බොරදිය පොකුණ’ යි. මේ චිත්‍රපටය තිරගත වනුයේ මුල් වරට රැඟුම් පාලක මණ්ඩලය නරඹා වසර 9 යකට පසුවය.

චිත්‍රපටය තනා අවුරුදු දොළහකි. සත්‍යජිත් මාඉටිපේ සිනමාවට කෙසේ නමුදු සරසවිය පැරැණි පාඨකයන්ට එතරම් නුපුරුදු නමක් නොවේ. ‘සරසවිය’ මෙන්ම ‘සරසි’ ඇතුළු බොහෝ සිනමා පුවත්පත්වලට අසූව, අනූව දශකවල දී සත්‍යජිත් ලිව්වේ විදෙස් සිනමාව පිළිබඳය. ඒ අවධියේ උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරා එය අප ජීවන අභිමථාර්ථ හා නොපෑහෙන වග වටහා ගත් මම හිතුවක්කාර අන්දමින් කලා විෂයයන් හැදෑරීමි. (‘විකෘති’ නාට්‍යයේ පැවැසූ අන්දටම එකල මතය තිබුණේ කලාව කෙරුවොත් මළා වගේ ය.) සත්‍යජිත් මට මුණ ගැසෙන්නේ ඒ අන්දමින් හිතුවක්කාරයකු හැටියට විද්‍යාව පසෙකලා උසස් පෙළ උපකාරක පන්ති පැමිණි විටදීය. සිනමාව ගැන ඔහුගේ උනන්දුව නිසාම අපි එක අත්තක වසන කුරුල්ලන් බවට පත්වීමු. වසර ගණනාවකට පසු ‘බොරදිය පොකුණ’ තිරගත වෙද්දී මම සත්‍යජිත් ගෙන් මෙසේ විචාළෙමි.

 

‘සත්‍යජිත් සිනමාව කියන්නේ මොකක්ද?’

‘ඕක හරියට පුංචි කාලෙ ඉඳලා දන්න නෑයෙක් ගැන විග්‍රහ කරනවා වගේ වැඩක්’

ඒ උත්තරය ප්‍රමාණවත් නැත. අපි දිගින් දිගටම කතා කළෙමු. ඉඳින් බොරදිය පොකුණ පාදන්නට පෙර සත්‍යජිත් සිය සිනමාවේ මුල් සොයා යන්නට සැරසෙයි.

“පුංචි කාලයේ අපි කුරුණෑගල ඉන්න කොට මගේ තාත්තා, අක්කාත් එක්ක නිතරම ජුපිටර් නැත්නම් ඉම්පීරියල් සිනමාහල්වලට යනවා. තාත්තා හොලිවුඩ් චිත්‍රපටවලට පි‍්‍රය කළා. මම ඒ අඳුරු ශාලාව ඇතුළේ රූප දැක්කා. මේක අපූරු අත්දැකීමක්. මට අවුරුදු හතහමාරක් වන විට තාත්තා නැති වුණා. අපි අම්මත් එක්ක කොළඹ එන්නේ ඊට පස්සේ. මාව ශාන්ත පීතර් විද්‍යාලයට ඇතුළත් කළා. එහෙත් තේරුම් ගන්න බැරිව සිටිය ලෝකයක් මම දැක්ක, ඒ ලෝකය ඇතුළේ මම දැනගත්තු, මම දන්න කෙනෙකුට හිටියේ අඳුරු සිනමාහල විතරයි. ඒ චමත්කාරය හැමදාම මං ළඟ තිබුණා. මම ඉස්සෙල්ලාම බලපු සිංහල චිත්‍රපටය ‘නිම්වළල්ල’. මාව එක්කගෙන ගියේ කවුදැයි මම දන්නේ නැහැ. හැබැයි මම ඉස්සෙල්ලාම මගේ හිතේ ඇඳුණ ලස්සනම කාන්තාව දැක්කේ ඒ චිත්‍රපටයේ දී. පස්සෙන් පස්සෙ මම ඇයව සොයාගෙන ගිහින් හමු වුණෙත් ඒ පොඩි කාලෙ තිබුණු මතකය හින්ඳා. ඒ තමා ස්වර්ණා මල්ලවාරච්චි. ඉස්කෝලෙ යන දවස්වල මම ඇයව දකින්න මුලින්ම ගිය හැටි කියමින් ඇය තවමත් විහිළු කරනවා. මගේ තාත්තා ළඟ පැරැණි හොලිවුඩ් නළු නිළියන්ගේ විශාල පින්තූර එකතුවක් තිබුණා. ජිනා ලොලිබ්‍රිජිටා, සොපියා ලෝරේන්, මේ වගේ අයගේ පින්තූර එකතුවක් තිබුණා.

තාත්තාගේ රසිකත්වය පිළිබඳ අභිරුචියෙන් කතා කරන සත්‍යජිත් අතීතයේ යුගයක සිරිසේන විමලවීරයන් ළඟට තාත්තා රඟපාන්න වරමක් ඉල්ලාගෙන ගිය හැටිත්, මාපියන්ගේ විරෝධය නිසා ඔහු එය අතහැර දමා තිබූ අන්දමත් සිහිපත් කළේය. මේ ඔහු පවසන්නේ වැඩිහිටියන්ගේ කනින් කොණින් ඇසූ කතාය. තාත්තා සිය පුතණුවන්ට නම තබන්නේ ලෝක සිනමා වේදියකු ගේ නමින් කොටසක් සමඟය. එය සත්‍යජිත් ය.

“සමහරු මේ නම මම පස්සේ දාගත්තු එකක් කියලා හිතනවා. ඇත්තටම මගේ උප්පැන්නයේ නම පීටර් කියලෝගෝස් සත්‍යජිත් මාඉටිපේ. මුල් නම් දෙක මට දැම්මේ අම්මා. අම්මා උග්‍ර කතෝලික බැතිමත් කාන්තාවක්. තාත්තා බෞද්ධ”.

වැඩිහිටියන්ගේ විරෝධය මැද විවාහ වුවද ආගම් දෙකක මවුපිය යුවළ එකිනෙකාට ඉතා ආදරයෙන් විසූහ. සත්‍යජිත් පවසන අන්දමට මව දරුවන් සමඟ එල්ලි එල්ලී යද්දී පියා ඔවුන් එනතුරු වාඩි වී සිටියේය.

“එයින් මම දැන ගත්තේ තාත්තාගේ ආදරයයි. පිරිමියකු සැමියා හැටියට ඔහු කිසි කලෙක අම්මාට ආගම වෙනස් කරන්නවත් කිව්වෙ නැහැ. ඔහු ඉතා හොඳ බෞද්ධයෙක්. මම එතැනින් වටහා ගත්තේ තාත්තා කොයි තරම් හොඳ බෞද්ධයෙක් ද කියන එකයි”.

මම අතුරු පැනයක් ඇසුවෙමි.

“ඔබේ නම පිටර් කිසලොව්ස්කි වුණා නම් කොහොමද? (කිසලොවුස්කි යනු තවත් ලොව විශිෂ්ට ගණයේ සිනමාකරුවෙක්. එහෙම නම් කිසලොවුස්කි සත්‍යජිත්”)

සත්‍යජිත් මගේ පැනයට පිළිතුරු නොදී මහ හඬින් සිනා සුනේය.

“මගේ බාප්පා මෑතක කිව්වා තාත්තා පාතර් පංචාලි බලලා ඒ ගැන මහ ඉහළින් කතා කරා කියලා. මට සත්‍යජිත් කියලා නම දමලා තියෙන්නේ ඒ පාරයි.”

පියාගේ සිනමාව පිළිබඳ ඇල්ම කොයි හැටි වෙතත් කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනියව සිටි අම්මා සිනමාව පිළිබඳ දැක්වූයේ විරෝධ ආකල්පයකි. එහෙත් අම්මා නාර්ගීස්ට නම් බෙහෙවින් ඇලුම් කළාය.

ශාන්ත පීතර් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සත්‍යජිත් බොරදිය පොකුණේ එන ආරියලතා ගේ ජීවන අන්දරය තමාගේ අත්දැකීමක් බවට පත් කර ගන්නේ කෙසේද?

“මේ එකම චරිතයක්වත් මට ආගන්තුක නෑ. මගේ පිය පාර්ශවයෙන් ගාල්ලේ ජීවත් වුණු ධර්මපාලතුමන් සහ පියදාස සිරිසේනයන් ඇසුරු කළ බෞද්ධ පුනරුද යේ සාමාජිකයන් වගේම මවු පාර්ශවය උග්‍ර කතෝලික. මගේ මව, පියා හිතුවක්කාර විවාහයක් කරගත් නිසා ඔහු සිටියේ තමන්ගේ නෑදෑයන් ගෙන් වෙන්වෙලා. ඒ වගේම මගේ මවගේ අම්මත් එහෙමයි. ඔවුන් තමන්ගේ නෑයන්ගෙන් වෙන්ව සිටියා. මා ඒ අතීතය ඇතුළේ විවිධ සමාජ ස්ථර හඳුනා ගත්තා. ඔවුන් ජීවත්ව සිටි විදිහ මට මතකයි. මේ නිසා ශාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙන ගත්තත් සෑම සමාජ පසුබිමක් ගැනම මට අවබෝධයක් තිබුණා.”

“එහෙනම් බොරදිය පොකුණ ආත්ම කථනය කිරීමක්ද?”

“ආත්ම කථනයක් කරන්න බැහැනේ. ආත්ම කථනයක් වෙනවා. මම දන්නෙ නැහැ ජීවිතේ හංගපු කොටස් කොහොමද? එහෙමත් නැත්නම් මම අනාවරණය කරගත්ත ඒවද කියලා. එහෙම නැත්නම් කවුරු හරි කියපු ඒවද කියලා.’

ආත්ම කථනයකදී ජීවිත අත්දැකීම් වැදගත් වෙයි. එක් අවධියක ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට හේතු වූ කාරණා කිහිපයක් ඔහු මෙලෙස හෙළිදරව් කරයි. ඒ සඳහා උපකාරී වූ කිහිපදෙනෙකු සිටිති.

“උසස් පෙළ කරන අවධියේ දී අම්මා හමුවන්නට පැමිණි සෝමලතා සුබසිංහ ඉන් එක්කෙනෙක්. ඊළගට ඩග්ලස් රණසිංහ නිසා රිචඩ් ද සොයිසා හඳුනාගන්න ලැබෙනවා. රිචඩ් ද සොයිසා හා ඉන්දිරා ජොන්ක්ලාස් මගේ ඉංගී‍්‍රසි දැනුම විතරක් නොවෙයි ජීවිතය පිළිබඳ සාහිත්‍ය පිළිබඳ දැනුම විතරක් නොවේ. ලෝකය පිළිබඳ පුළුල් ඇසකින් බලන්න මට පුරුදු කළා. ලෝකය මා සිතුවාට වඩා විශාල එකක් ලෙස වටහා ගන්නට රිචඩ් ද සොයිසාගේ ඇසුර මට බෙහෙවින් උපකාර වුණා. ඉංග්‍රීසි සාහිත්‍යය, නාට්‍ය ආදිය හඳුන ගත්තේ රිචඩ් නිසා. ඔහු මට ගුරුවරයෙක්.’

ඥාතියකු වන ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත් සත්‍යජිත් ගේ ලේඛන දිවියට මහත් උපකාර කළේය. ලාංකික සිනමාව, දේශපාලනය පිළිබඳ බොහෝ කරුණු කාරණා සත්‍යජිත් දැන ගත්තේ ඔහුගෙනි. අම්මා හමුවට පැමිණි, ඒ අවදියේ කොළඹ මහ රෝහලේ විකිරණ අංශයේ සේවය කළ සෝමරත්න දිසානායකයන් අහසින් පොළොවට චිත්‍රපටයේ රඟපාන බව ඇසූ සත්‍යජිත් ඔහු සමඟ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවට ගියේය. මුල් හමුවීමෙන් එතුමන් අතින් ලැබුණු නිධානය ඡායාරූප අතරින් එකක් සෝමරත්න දිසානායක ඉල්ලා සිටි හැටිත්, තමා එය නොදී පැන දිවු අන්දමත් සත්‍යජිත්ගේ මතකයේ ඇත. අම්මාගේ යෙහෙළියකගේ දියණියක වූ අසංකා අබේසේකර ඉන් පසු තමා ලෙස්ටර් – සුමිත්‍රා හමුවට ගෙන ගිය අන්දමත් මේ මතකයේම අපූරු කොටස්ය.

රිචඩ් ද සොයිසා විසින් ගාමිණී ෆොන්සේකා නම් විශිෂ්ටයාගේ ස්වරූපය හඳුනා ගන්නට සත්‍යජිත්ට ඉඩ හැරියේය. ඒ එක්තරා ආකාරයක සිනමාකරණය පිළිබඳ පාඩමකැයි මට සිතේ.

මේ පූර්වකථනය ඉතා දිගය. මෙය සඳහන් කරන්නේ හරි අඩකටත් වඩා අඩුවෙනි. අපි යළි ප්‍රවේශමෙන් බොර දිය පාදන්නට උත්සාහ කළෙමු.

වසර දොළහකට පෙර බොරදිය පොකුණ පාත්‍ර වර්ගයා පිළිබඳ අපි යළි කතා කළෙමු. ඒ හමුදා සොල්දාදුවකු හා ඇඟළුම් සේවිකාවක පිළිබඳවය.

‘මේ චිත්‍රපටය කරන්නට සැරසෙන විට අපි තරුණයෝ හැටියට ඛේදවාචකයන් දෙකකට මුහුණ දීලා. එක් පැත්තකින් 1983. අනෙක් 89. 83 දීත් අපට අහිමි වුණ දේවල් එමටය. ඒ අවදියේ අපේ පවුලේ හිතවතුන් වෙලා හිටිය පවුලක් තමා මහින්ද කුමාර් කරුණාරත්නම් හා ඔහුගේ සොහොයුරියන් දෙන්නා. නීලාමනී පිච්චේඅප්පා හා කේ. සුජීවා. මේ ඇසුර 83 දී අපට දුරස් වුණා. 88-89 වකවානුවේ තවත් පිරිසක් නැතිවුණා. අපි විශ්ව විද්‍යාලේ යන විට එහි හිටියේ කපටිකමින් හරි අහිංසකව හරි ජීවිතය බේරා ගත්ත පිරිසක්. මේ හින්දා එක්තරා ආකාරයකට ලැජ්ජාවක් නැතිනම් සමාජ වගකීමක් අප වටා තිබුණා’

සත්‍යජිත් මාඉටිපේගේ මුල්ම නිර්මාණය ස්වර්ණ සමාප්ති නම් විය. එය බෙහෙවින් විචාරක ප්‍රසාදය දිනා ගත්තේය. සිනමා නිර්මාණයේදී ඔහුගේ මුල්ම එළැඹුම බොරදිය පොකුණයි.

‘එක්තරා අවධියක ආර්ථිකය හා ආරක්ෂාව කියන කාරණයේදී ප්‍රධාන වශයෙන් කතා කළ පිරිස ගැන තමයි බොරදිය පොකුණට පාදක වෙන්නේ. හැබැයි අවුරුදු 9 කට පස්සේ වුණත් ඔවුන්ගේ සමාජ ස්ථර වෙනස්ව ගියත් මේ සිදුවීම් හා හැඟීම් කිසි කාලෙකවත් මිනිසුන්ගේ වෙනස් වෙනවා යැයි මා සිතන්නේ නැහැ’

මේ සිනමාකරුවා කියන්නේ ඇත්තකි. ‘බොරදිය පොකුණ’ යනු ඕනෑම කැන්වසයක කැමැති පසුතලයක් මත සිත්තම් කළ හැකි පොදු සිතුවමකි. මිනිස් වර්ගයාගේ හැඟීම්, වේදනාව ද, පීඩනය ද මුළු ලෝකයටම පොදුය. බොරදිය පොකුණ පාදා ගන්නා කළට වියළි කලාපය ද, දකුණ ද, කටුනායක ද යන පෙදෙස වැදගත් නොවේ. හමු වන මිනිසුන්ගේ ආකල්ප, දුක්ඛ දෝමනස්සයන් වෙනසක් නොමැති වග පසක් වෙයි.

‘සවිඥානිකව, සබුද්ධිකව ජිවිතය දිහා බලන්නට කරන උත්සාහයක්’

අවුරුදු දොළහක් තම එකම චිත්‍රපටය සඳහා වෙහෙසවීමට සිදුවීම නිර්මාණකරුවකුට කෙසේ දැනෙන්න ඇතිද?

‘මං වෘත්තීය සිනමාකරුවෙක් නොවේ. චිත්‍රපටය නිසා මං මේ අවුරුදු ගණනෙදි මිනිස්සු හැසිරෙන විදිය දිහා බලාගෙන අලුත් පාඩමක් ඉගෙන ගත්තා. මට බෙදා ගන්නට දෙයක් නැත්නම් මේ වසර කාලය ඇතුළත මම නැවත චිත්‍රපටයක් කරන්නට උත්සාහ ගන්නේ නැහැ. යමක් එළියට දාන්න තියෙනවා නම් ගැටලුවක් නැහැ. මගේ ඒ කාලය ගැන අනෙක් අය පශ්චත්තාප වෙවී මට පවසනවා. එහෙත් ඒ කාලය ගැන මට දුක් වෙන්න දෙයක් නැහැ. සමාජය සම්බන්ධයෙන් මගේ පෞද්ගලික විවේචනය වෙනම එකක්. පරීක්ෂක මණ්ඩලවල දැන උගත් කියලා හිතන සමහර අය කූඩු කරන විදිය ගැනත් මම දැක්කා. ඇතැම් උගතුන් කලා නිර්මාණවලට කරන අපරාධ මම දැක්කා. ධනවතුන් යැයි කියන පිරිස කලා නිර්මාණ සමඟ සෙල්ලම් කරන හැටි මම දැක්කා. නමුත් අවුරුදු දොළහක් දිහා බලලා අඬන්න කිව්වත් මට අඬන්න හේතුවක් නැහැ’

‘බොරදිය පොකුණ’ පාදන්න සත්‍යජිත් මාඉටිපේ ගත් වෙහෙස අපේ අලුත් පරම්පරාවේ සිනමාකරුවන්ට ද මහත් අස්වැසිල්ලකි. මේ චිත්‍රපටය ඉතා නිසොල්මන්ව, නිහඬව රස විඳිය යුතුය. සිනමාකරු සිය විසල් ඥානය ඔස්සේ අපට සපයන්නේ බොර දියයි. එය පාදා ගත යුත්තේ අප විසින්මය. පන්සිය පනස් ජාතක පොත කියවා ඇත්තෙකුට මිනිස් ස්වරූපය පිළිබඳ අමුතුවෙන් හැදෑරිය යුතු නැත. බොරදිය පොකුණ අද්දර මම සත්‍යජිත්ගෙන් ඒ ගැන විමසීමි.

‘හරියට හරි’

අර්ජුන්

http://www.sarasaviya.lkSathyajith-20150226