පිටිපන ලෙල්ලම් භූමිය හා අප සමිතිය පිළිබඳ සත්‍ය කතාව.

0
259

 

පිටිපන දේවස්ථානය ගොඩනැගීමටත් පෙර සිට (1914) පැවති අප පිටිපන එක්සත් ධිවර සමීතියේ සාමාජික ධීවරයන් තමන් එදිනෙදා අල්ලාගෙන එන මාළු අලෙවි කළේ මීගමුව කුට්ටිදූව නම්වූ පිටිපන පල්ලියට අයිති භූමියකයි. එම වකවානුව තුළ දී ධීවරයන්ට සිදුවූ අසාධාරණ කම් හා බලහත්කාරකම් හේතුවෙන් වෙළඳූන් හා ධීවරයන් අතර ආරවුලක් ඇතිවුණා. එම අවස්ථාවේ පිටිපන දේවස්ථානයේ සිටි ගරු චාර්ල්ස් පියතුමා මැදිහත්ව ධීවරයන්ට සාධාරණය ඉෂ්ඨ කර දීමට උත්සාහ කලද එය සාර්ථක නොවූයෙන් දැනට පවතින මසුන් අලෙවිසල ඉදිරිපිට මහා මාර්ගයේ මාලු විකිණීමට සිදුවුණා.

පසුව එම ස්ථානයේම තිබූ මෙම දිනවල ප්‍රශ්නයට භාජනය වී තිබෙන මෙම ලෙල්ලම් භූමිය හිස්ව තිබූ හෙයින් එම අවස්ථාවේ අප සමිතියේ සිටි නිලධාරීන් විසින් ඉඩම් අයිතිකරු හමුවී සාකච්ඡා කර මෙම භූමිය ලෙල්ලමක් සඳහා තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. ඉඩම් හිමිකරු විකිණීමට කැමති උනා. ඒ සදහා ප්‍රමාණවත් මුදලක් අප සමිතියට නොවූයෙන් අවශ්‍ය ඉතුරු මුදල ගරු චාර්ල්ස් පියතුමාගේ අදහස මත එවකට කොළඹ අගරදගුරු තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල් හිමිපාණන්ගෙන් මදි අඩුපාඩුව ණය මුදලක් ලෙස ඉල්ලා සිටියා. එම අවස්ථාවේ දී කාදිනල් තුමා විසින් කියා ඇත්තේ ” මම අඩුපාඩු මුදල දෙන්නම් හැබැයි ඉඩම මගේ නමට ගන්න ඕනේ. ණය ගෙව්වට පස්සේ ඔප්පුව සමිතියේ නමට ලියල දෙන්නම් කියායි.”

ඊට එකඟවූ සමිති නිලධාරීන් විසින් 1959 දී හිටපු කාදිනල් හිමිගේ නමට ඉඩම මිලදී ගත් අතර ඒ සඳහා ගත් ණය මුදල ධීවර සමීතිය විසින් 1961 දී හිටපු කාදිනල් හිමිපාණන් හට නැවත ගෙවා ඇත. පසුව 1963 දෙසැම්බර් 31 දින දී ඉඩම ධීවර සමීතියේ නමට ලියා ඇති අතර එහෙත් ඒ කොන්දේසි කිහිපයක් මත තෑගි ඔප්පුවක් ලෙසිනි. වයස් ගත ධීවරයන් පවසනුයේ එවකට සිටි මීසම් සේවක පියතුමන් හා ගමේ ප්‍රභූවරුන් මීට මැදිහත් වූ බවත්, ඔවුන් හා ආගරදගුරු තුමා කෙරෙහි තිබූ විශ්වාසය හා භක්තිය නිසාම ඉංග්‍රීසියෙන් ලියැවුණු ලියවිල්ලකට තමන්ට අවබෝධ නොවුනත් අත්සන් කළ බවත් කොන්දේසි පිළිබඳව දැන සිටියා නම් අත්සන් නොකරන බවයි.

කෙසේ වෙතත් මෙම ලෙල්ලම එදා සිට ධීවර සමීතිය විසින් පාලනය කරගෙන පැවති අතර එක්තරා වකවානුවක එම පාලනය දූෂිත මැර බලයකට යටත් වෙමින් සිදු වූ බව ඇත්තකි. අද මෙම ලෙල්ලමේ අයිතිවාසිකම් ඉල්ලා සිටින ගමේ ප්‍රභූවරුන් හා කතෝලික සභාවේ පියවරුන් එදා ඒ මැර බලයට යටත්ව භයේ නිහඩ වූ අතර වර්තමානයේ මෙම ලෙල්ලම පාලනය කරන අපගේ නිළධාරින් සමීතියේ නිලතල වලට පත්වෙමින් එම මැර බලය පරාජය කරමින් ලෙල්ලම පාලනය කිරීම ආරම්භ කලා.

එමෙන්ම අපගේ නිලධාරී මණ්ඩලය පත් වන විට සමිතිය රු. 160,000/=ක් ණයවී තිබුණි.
පසුව එම ණය බේරා සමිතියේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර ඒ අනුව සමීතියේ වාර්ෂික මහ සභා රැස්වීම් වලදී ලෙල්ලමේ ආදායම් වියදම් පිළිබඳ විගණනය කළ වාර්තාවක් ඉදිරිපත් කිරීම ආරම්භ කලා. ඒ වගේම අප සමිතියේ ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි නිලබලයෙන්ම ප්‍රධාන අනුශාසක වනුයේ ගරු අගරදගුරු තුමා සහ අනිකුත් අනුශාසක වරුන් වන මීගමුව කලාපීය අනුනායක පියතුමා හා පිටිපන මිසම්භාර පියතුමාය. පල්ලිය සඳහා ආදායමින් සීයට දහයක් වෙන් කලද එම මුදල් සම්බන්ධව හිටපු ගරු මීසම්භාර පියතුමෙක් විසින් ප්‍රසිද්ධියේ මීසම් ජනතාව දැනුවත් නොකර අදාළ ගිණුමෙන් මුදල් ලබාගැනීම මෙම අර්බූදයට මුල වුණි.

එහෙත් මේ වන විට ඉතා ක්‍රියාකාරීව පවත්වාගෙන යන අප සමිතිය විසින් ධීවරයන්ගේ සුභ සාධන කටයුතු පවත්වාගෙන යමින් මීසම් ජනතාව හට නොයෙක් ආකාරයේ උදව් උපකාර ලබාදේ.
ඒ අනුව මීසමේ පාසල් වලට ඉල්ලා සිටින සෑම මුල්‍යමය උපකාරයක්ම ලබා දේ. පසුගිය වසරේ පිටිපන පාසලට පමණක් ලබා දුන් මුදල රු. 250,000/=කි. පාසලේ දරුවන්ගේ පාසල් පොත් අඩුපාඩු සියල්ල ලබාදේ. කන්‍යාරාමය විසින් ඉල්ලා ඇති සියලු උපකාර ලබාදී ඇත. (පසුගිය කාලයේ ඉල්ලා නැත.) අසරණ රෝගීන්ට උදව් කරති. විශ්‍රාමික ධීවරයන්ට මාසිකව දීමනාවක් ලබා දේ. ධීවර යාත්‍රාවක් මුහුදේ අනතුරට පත්වූ විට (තම සමීතියට අයත් වුවත් නොවූවත්) ධීවරයන් නිරුපද්‍රිතව ගොඩ බිමට ගෙන ඒමට වියදම් කරති. යාන්ත්‍රික දෝෂ වලදී වෙනත් යාත්‍රාවකින් ඇදගන ආ අවස්ථාවක සමිතියට දැනුම් දීමකදී ඉන්ධන ලීටර් 20 හා සාමාජික නොවන මිසමේ ධීවර යාත්‍රාවකට ඉන්ධන ලීටර් 10ද ලබාදේ. රැකියාවේ නිරතව සිටින අවස්ථාවකදී හදිසියේ මිය යන සාමාජික ධීවර මහතකුගේ පව්ලේ සාමාජිකයන්ට රු. 100,000/=ද, සාමාජික නොවන ඕනෑම ධීවර මහතකු සඳහා රු. 50,000/=ද ලබා දෙයි. මුහුදු අනතුරු වලදී මිය යන ධීවර මහතුන්ගේ මලසිරුරු හා යාත්‍රා සොයන්න ලක්ෂ ගණන් වියදම් කරයි. හදවත් සැත්කම් සදහා ද ආධාර කරනු ලබයි. ක්‍රියාකාරී ධීවර මහතකුගේ (වයස 60 ට අඩු) හදිසි ආබාධ තත්වයන් තුළ රු.30,000/=ක මුදලක් හා සියලුම සාමාජික මහතුන්ට රු. 25,000 /= ක මරණාධාර මුදලක් ලබාදේ. මිසමේ යම් දිළිඳු පවුල් වල මරණ දැනුම් දීමකදී භූමදාන කටයුතු සඳහා ආධාර ලබා දේ. මිසමේ පොදු කටයුතු සඳහා ඉල්ලුම් කරන අයට ආධාර ලබාදේ ( මෙවරත් පිටිපන මංගල්‍ය සංගීත ප්‍රසංගය සඳහා රු. 50,000/=ක් ලබාදී ඇත.)

ධීවරයන්ගේ තොටුපළ සංවර්ධන කටයුතු සඳහා රු. 50,000/=ක් දක්වා මූල්‍යාධාර ලබාදේ. රැකියාව කරගැනීමට මුහුදු යාමට නොහැකි වන හදිසි අවස්ථාවන් වලදී සාමාජිකත්වයකින් තොරව මීසම්වාසී සියලුම ධීවරයන් හට වියළි ආහාර බෙදා දෙයි. කොරෝනා වසංගතය අවස්ථාවේදී ලබා ගැනීමට පැමිණි සියලුම මීසම්වාසීනට සහල් කිලෝ 5ක් සමග රු. 2000/= ක වියළි ආහාර මල්ලක් ලබා දුණි. එහි මුළු වටිනාකම රුපියල් ලක්ෂ 16 කි. අප පල්ලියේ මංගල්‍ය කාලයේදී රැකියාව ඉතා අඩු බැවින් මංගල්‍ය දීමනාව ලෙස සෑම වසරකම සහල් කිලෝ දහයක් සමග මුදලින් දීමනාවක්ද ලබාදෙන අතර ඉල්ලුම් කරන සෑම ධීවර මහතෙක් සඳහා සහ මීසමේ දිලිඳු පවුල් සඳහා සහල් කිලෝ 5 බැගින් ලබා දේ. (මේ වන විට ලබා දී ඇති සහල් කිලෝ ප්‍රමාණය කිලෝ එක්ලක්ෂ 90 දාහකි. )

මීගමුව රෝහලේ රුධිරකාන්දූ කරන වාට්ටුවේ රෝගීන්ගේ ආහාර සඳහා මාසයකට රු. 10,000/=ක මුදලක් ලබා දුණි. (මේ වන විට වාට්ටුව මගින් දැනුම් දෙන තුරු නවත්වා ඇත.) ධීවර අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අවස්ථාවන් වලදී ඊට අවශ්‍ය සියලුම වියහියදම් දරමින් මෙවැනි වූ තවත් සුභ සාධන කටයුතු බොහෝමයක අප සමීතිය නියැලේ. ඒ සියල්ලට ප්‍රතිපාදන වෙන් වනුයේ මෙම ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙනි. මීට අමතරව ලෙල්ලමේ දී ධීවර ජනතාවටත් වෙළඳ මහතුන් හටත් පාරිභෝගික ජනතාවටත් පහසුකම් ලබාදී සිදුවන අසාධාරණ කම් වලට මැදිහත්ව කටයුතු කරන අප සමිතිය 6 දෙනෙකුට රැකියා අවස්ථා ලබාදී ඇත. ( එක් අයකුගේ වැටුප රු. 60,000/=කි) මසුන් අලෙවිසල මනාව පාලනය කරගෙන සංවර්ධනය කරමින් සිටී.

පහුගිය වකවානුවේ ධීවර ජනතාව විසින් යෙදුනු සී ප්ලේන් අරගලය, යුධ සමයේ ආරක්ෂිත කලාප හා තහනම් ඇංජින් නිසා ධිවරයන්ට මුහුණ දෙන්නට සිදුවු ප්‍රශ්න විසදා ගැනිමේ වැඩ සටහන්, පෝට් සිටි අරගලය, තෙල් මිල වැඩි කිරීම නිසා සිදු කළ උද්ඝෝෂණ යනාදී ධිවරයන්ට ප්‍රාදේශීයවත්, ජාතික මට්ටමිනුත් බලපාන ගැටළු වලදී , පාස්කු ඉරිදා ප්‍රහාරය අරඹයා යුක්තිය ඉල්ලා සිටින ආකාරයටම ධිවරයන් හට යුක්තිය පතා සිදු කරන ක්‍රියාකාරකම් වලට ලෙල්ලමෙන් ලැබෙන ලාභය වැය කලා.

ඊට අමතරව මුළු ලංකාවේම සියලුම ධීවරයන් එකතු කිරීමේ අදහසින් සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සoගමය ආරම්භ කිරීමට පිටිපන එක්සත් ධීවර සමීතිය විසින් ද නායකත්වය ගන්නා ලදි. මේ වන විට ශ්‍රි ලංකාවේ මුහුදු බඩ සෑම දිස්ත්‍රික්කයකම පාහේ ධීවරයන් මෙම වෘත්තිය සමීතිය වටා එක් රොක් වී ඇත. එම ක්‍රියාකාරිත්වය සදහා ද ලෙල්ලමෙන් ලැබෙන ලාභය වැය කර ඇත.

කෙසේ වෙතත් අප සමීතිය සමග ආරවුලක් ඇති කර ගන්නට කතෝලික සභාවට ප්‍රධාන හේතු 2ක් මුල් විය. ඉන් එක් හේතුවක් ඝෘජුවම ලෙල්ලම හා සම්බන්ධය. එනම් අප අලුත් නිලමණ්ඩලය විසින් ලෙල්ලම පාලනය කිරීම ආරම්භ කිරීමේදී පිටිපන මීසමටද ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙන් 10%ක් ගෙවීම ආරම්භ කලා. එසේ ගෙවන මුදල දිව්‍ය පූජාව අවස්ථාවේ දි මීසම් ජනතාවගේ දැන ගැනීම සදහා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස අප එවකට මීසම් සේවක පියනමගෙන් ඉල්ලා සිටියත් එතුමා එසේ කටයුතු නොකිරීම ආරවුලට මුල විය. ලෙල්ලමෙන් පල්ලියට දෙන මුදලට කුමක් සිදුවන්නේද පිළිබඳව සැක සාංකා මතුවූ නිසා එම මුදල් පියතුමා හා අප සමිතියේ භණ්ඩාගරිකගේ නමින් ගිණුමක තැම්පත් කළා. එම මුදල් ගත් පියතුමාගෙන් අප අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් අප හට එම මුදල වියදම් කරන ආකාරය ගැන නිසි ගණන් හිලව් පෙන්වීම හෝ මීසම් ජනතාව දැනුවත් කිරීම හෝ ප්‍රති්ෂේප කළා. එබැවින් එම මුදල් සම්බන්ධයෙන් මීසම් ජනතාව දැනුවත් කරන තුරු ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙන් පිටිපන පල්ලියට වෙන්කළ 10% ක මුදල ගෙවීම අප සමිතිය තාවකාලිකව අත්හිටුවන ලදි. ගැටුමේ මුල එසේ ආරම්භ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මීසම් සේවක පියතුමා ධීවර සමීතියට එරෙහිව නඩුවක් ගොනු කරන්නට කටයුතු ආරම්භ කලා. නීති තර්ක ඒ සදහා අවශ්‍ය විය. තෑගි ඔප්පුවේ කොන්දේසි කැඩීම මේ සදහා සොයා ගත් තර්කය විය. එයින් පළමු වැන්න වූයේ ලෙල්ලමේ කොටස් හා කඩ කාමර වෙනත් අය වෙත බදු දීමයි. මෙම බදු දීම සිදුවන්නේ වත්මන් ධීවර නායකයන් පත්වන්නටත් පෙර සිටය. ඊට හේතුව වූයේ මුල් කාලයේ රැකියා කරන ලද්දේ ඔරු වලින් පමණක් නිසා එදා ගොඩ බිමට ගෙන ආ අස්වැන්නට වඩා ප්‍රමාණයෙන් අති විශාල අස්වැන්නක් යාන්ත්‍රික බෝට්ටු හදුන්වා දීමෙන් පසු ඒවා වලින් ගොඩ බිමට ගෙන එන නිසා වෙළද පොළ ප්‍රසාරණය වීමය. හාස්‍යජනක කරුණ වනුයේ මෙම බදුදීම වෙන්දේසියේන් සිදුවන විට එවකට අනුනායකව සිටි අතිගරු ජෝ වික්‍රමසිංහ පියතුමා ද එහි මුලසුන හොබවා සිටීම පමණක් නොව වර්තමානයේ කොළඹ කාදිනල් හිමිපාණන් යටතේ පාලනය වන දූව මීසමට අයත් ලෙල්ලමේ ද බදු දීමේ ක්‍රමය අදටත් ක්‍රියාත්මක වීමය. එමනිසා මේ කරනුයේ කොන්දේසි කැඩීම නිසා නඩු දැම්මක් නොව ධීවරයා සමග මීසම් සේවක පියතුමා ඇති කරගත් ගැටුම නිසා මෙම භූමිය තමන් සතු කර ගැනීමට ලැබුණු අවස්ථාවක් වී ඇති බැවින් ධීවරයාට පහර ගසා ලෙල්ලම් භූමිය අයිති කර ගැනීමට අවස්ථාවාදී නඩු තර්කයක් සොයා ගැනීමකි. ක්‍රිස්තියානිය අමු අමුවේ පාවා දීමකි.

දෙවනුව ඈත අතීතයේදී මෙන් නොව වත්මන් ධීවරයා කතෝලික සභාව මත නොයැපි හා දේශපාලකයන්ගේ ගැත්තන් නොවී ස්වාධීන නායකත්වයක් තුළ ගොඩ නැගෙමින් පවතියි. ඔව්හු තවදුරටත් පියතුමන්ලාගේ හෝ රදගුරු තුමන්ලාගේ හෝ දේශපාලකයන්ගේ හෝ ගැත්තන් නොවෙති. ධීවර වෘත්තිය, වෘත්තියක් ලෙස දකිමින් ජාති ආගම් කුල භේද වලින් තොරව වෘත්තීය සමීතියක් ලෙස ස්වාධීනව ගොඩ නැගෙමින් සිටිති. බොහෝ විට මෙම ප්‍රවණතාවයට නායකත්වයක් දෙන්නේ පිටිපන එක්සත් ධීවර සමීතිය විසිනි. මෙය දේශපාලකයන්ටත්, ඔවුන්ගේ ඉත්තන්ටත්, ගමේ ප්‍රභූවරුන්ටත්, අභාග්‍යයකට ආගමික නායකත්වයටත් රූස්සන්නේ නැත. එමනිසා මෙම නඩුහබ වලින් නොදැනුවත්ව හෝ සිදු කරනුයේ ධිවරයන්ගේ එම ගමන කඩා කප්පල් කර ශක්තිය හීන කිරීමය.. එදා අධ්‍යාත්මිකව හා මතවාදීව ජේසුස් වහන්සේ ධීවරයන්ව ගොඩ නැඟුවත්, උන්වහන්සේගේ වත්මන් අනුගාමික නායකයෝ ධීවරයා යටපත් කර ඔවුන්ගේ ශක්තිය හීන කිරීම අභාග්‍යයකට කරුණකි.

කඩ කරන ලද දෙවන කොන්දේසිය ලෙස සදහන් කරනුයේ ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ධිවරයන්ගේ සුභ සාධනය සදහා වැය කිරීමට පල්ලියට භාර දිය යුතු බවය. පෙර සදහන් කළ මීසම් සේවක පියතුමා ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙන් පල්ලියට දුන් මුදල මීසම් ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් නොදිම නිසා එම මුදල පල්ලියට දීම ප්‍රතික්ෂේප කර එවකට කොළඹ අගරදගුරු තුමාට ඒ බව දැනුම් දුන්නත් එම ගැටළුව විසදුවේ නැත. එම මුදලින් පල්ලිය කළ ධීවර සුභ සාධනයක් නොමැත. අදටත් අගරදගුරු තුමා යටතේ පාලනය වන ලෙල්ලම් වලින් ලැබෙන ආදායමෙන් මෙහි ඉහත සදහන් කළ පරිදි අප සමීතිය විසින් කරගෙන යනු ලබන ධීවරයන්ගේ සුභ සාධනය වැනි කටයුතු සිදු වන්නේ ද යන්න ප්‍රශ්න කරන්නට කැමතිය. එම ලෙල්ලම් වලින් ලැබෙන ආදායමෙන් සැලකිය යුතු කොටසක් අගරදගුරු මැදුරට දිය යුතුවේ. විනිවිදව පෙනෙන අයුරින් එම මුදල භාවිතා වන්නේ නම් ලෙල්ලමෙන් ලැබෙන ආදායමෙන් පල්ලියට කොටසක් දීමට අදටත් ධීවරයා එකගය. සභාවේ මීසම්, ආයතන, පදවි කිසිදු අයවැය වාර්තාවක් ගිහි ජනතාවට ක්‍රමානුකූලව ඉදිරිපත් නොකිරීම නිවැරැදි දෙයම ද කියා විමසිය යුතුය.

කඩ කරන ලද තවත් කොන්දේසියක් ලෙස සදහන් වනුයේ ධීවර සමීතියේ නම වෙනස් කිරීමය. හාස්‍යජනක කරුණ වනුයේ එසේ ඔප්පුවේ ඇති නමට ‘පාරම්පරික’ යන වචනය එකතු කිරීමට සමීතියේ මහ සභාවකදි යෝජනා කර ඇත්තේ එවකට අනුනායකව සිටි අති ගරු ජෝ වික්‍රමසිංහ පියතුමා වීමය. මේ කොටස එකතු කිරීම නඩුවකට නිමිත්තක් කර ගැනීමට තරම් බොළඳ වීමේ ක්‍රිස්තියානිය කුමක් ද යන්න ධීවර අපට නොතේරේ.තවත් චෝදනාවක් වනුයේ ධිවර සමිතිය මෙම දේපළ තනියෙන් භුක්ති විදින බවය. ඉහත සදහන් කළ පරිදි ආරම්භයේ සිට මෙම ඉඩමේ භාවිතය ගැන අගරදගුරු තුමා ද අදහස් කර ඇත්තේ ධිවර සමීතියේ ධ්වරයන්ගේ සුභ සාධනයය. එසේ නොවන්නේ නම් එම අවස්ථාවේදීම මෙම ඉඩම ධිවර සමීතියේ නමට නොලියා එතුමාගේ පාලනය යටතේ මීසම් සභාව යටතට ගැනීමේ හැකියාව තිබිණි. ධිවර සමීතියේ නමට ලිව්වේ පළමුව ධිවර සමීතිය විසින් මිල දි ගත් ඉඩමක් වන බැවින් හා ධිවර සමීතියේ ධිවර සාමාජිකයන්ගේ සුභ සාධනය එයින් සිදුවිය යුතු බවට අදහසක් පැවති හෙයිනි. එහෙත් වත්මන් ධිවර සමීතිය අන් අයගේ සුභ සාධනය සදහා ද කටයුතු කරන බව දන්නෝ දනිති.
.
බැටළුවන්ගේ එඩේරා කළ යුත්තේ බැටළුවන් පෝෂණය කිරීමට කටයුතු කර නිල් තණ බිම් වෙත ගෙන යාමය. එහෙත් මෙහිදී එඩේරුන් කර ඇත්තේ බැටළුවන් සමග ක්‍රිස්තියානි ස්ප්‍රිතුව තුළ කිසිදු සංවාදයක් නොකර ඔවුන් සතු දේපළ පවරා ගැනීමට උසාවියට දක්කාගෙන යෑමය. සමීතිය මුදල් පරිහරණයේදි දූෂිත ලෙස කටයුතු කරන බව චෝදනා කර නැතත් නොනිල වශයෙන් මේ එඩේරුන් රහසින් පවසන තවත් කතාවක් ඇත. එනම් ලෙල්ලමේ මුදල් වලින් ධිවර නායකයන් සුර සැප විදින බවය. මේ නම් ගල් පැලෙන පට්ට පල් බොරුවකි. වත්මන් සභාවේ රදගුරු පූජකවරුන් විදින සැපෙන් අරික්කාලක්වත් ධිවර නායකයන් විදින්නේ නැත. ලෙල්ලමෙන් ලැබෙන ආදායම ධ්වර නායකයන් අයථා ලෙස තම පුද්ගලීක ලාභය සදහා වැය කරන්නේ නම් එම වංචනීක ගනුදෙනු සාක්ෂි සමග එළිදරව් කළ හැකිය. මීට පෙර කිසිදා සිදු නොකළ චෝදනාවක් මෙවර ධිවර ප්‍රජාවට එල්ල වී ඇත. එනම් කාදිනල් හිමිපාණන්ට විරුද්ධ ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ දේශපාලන බලවේග විසින් කාදිනල් හිමිපාණන්ට පහර ගැසීමට ධිවර ප්‍රජාව ඉත්තන් කරගෙන ඔවුන්ව මෙහෙයවන බවය. කරුණාකර මේ පිළිබඳ කවුරුන් හෝ සතුව තොරතුරු තිබේ නම් ඒවා නිශ්චිත නොවූවත් කම් නැත අංශු මාත්‍රයක් හෝ සැක සාංකා ඇති කරන තොරතුරු වූවත් කම් නැත එම දේශපාලන බලවේග වල නම් හා ඔවුන් ධිවරයන්ව අතකොළු කරගෙන ඇති ආකාරය හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටිමු. සමිතියේ නායකයන් අතීතයේ සිට අද දක්වා දේශපාලකයන් හා රජය සමග දේශපාලනිකව ගනුදෙනු කළ ආකාරය සම්පූර්ණයෙන් අමතක කර එක් තැනැත්තෙක් විසින් කරන ලද එක් ප්‍රකාශයක් අල්ලාගෙන දැගලීමකි මේ.

අවසාන වශයෙන් මේ එඩේරුන්ට පැවසීමට ඇත්තේ, ඔබට දෙවියන්ටත් වස්තුවටත් එකවිට සේවය කිරීමට බැරි බවය. එමෙන්ම මෙලොව අධිකරණයේ විනිශ්චය කෙසේ වෙතත් නීතිය මිනිසා සදහා මිස, මිනිසා නීතිය සදහා නොවන බව පැවසූ ජේසුස් වහන්සේ ඔබේ විනිශ්චයකාරයා වීමට නියමිත බවය. කතෝලික සභාව ජේසුස් වහන්සේ ස්ථාපිත කළේ මුදල්, ඉඩකඩම්, වස්තුව, දේපළ රැස් කරගත් ලෝකයේ ප්‍රබල සංවිධානය වෙමින් සභාවේ රාජ්‍යය මෙලොව ගොඩ නගන්නටද එසේ නොමැති නම් ආදරය, සාමය, සාධාරණත්වය, සමානාත්මතාවයෙන් පිරුණු වෙසෙසින්ම සමාජයේ පහළ ස්ථරයේ පීඩිත අසරණ ජනතාව එක් රොක් කරගනිමින් දේව රාජ්‍යය ගොඩ නගන්නට ද යන්න අවංකව සභා එඩේරුන් විමසා බැලිය යුතුය. එසේ නොමැති නම් සභාව වත් පොහොසත්කම් වලින් පිරුණු එහෙත් ජනතාවගෙන් විශේෂයෙන්ම ධිවරයන් වැනි පීඩිත ජන කොටස් වලින් ඈත් වුනු සභාවක් බවට පත්වීම වැලැක්විය නොහැකිය.

මොහොතක් සිතන්න…

සභාව ගොඩනගා අදටත් ධීවර ජනතාව එය නඩත්තු කරන්නට දායක වූනත්, ධීවරයන්ගේ අනාගතය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නැති සභාව පිළිබඳව තවදුරටත් කිසිදු විශ්වාසයක් තිබිය හැකිද? හෙට බෝට්ටුවක් පෙරලී ධීවරයන් අනතුරකට පත් වුවොත් ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට පල්ලිය ඉදිරිපත් වෙයිද ? වර්තමාන රජය සම්මත කරගන්නට මාන බලන ධිවර පණත ගැන සභාව නිහඩය. රැකියාව පවා කර ගැනීමට දුෂ්කර තත්ත්වයක් උදා කර ඇති මීගමු කලපුව රැක ගැනීමට සභාවට වැඩ පිළිවෙළක් නැත. ඉස්සන් පොකුණු කලපුව වටා ඉදි කිරීම්, කලපු දූපතක හෝටලයක් ගොඩ නැගීමට යෑම, ජලචර ගුවන් යානා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෑම යනාදී දේ වලක්වා ගත්තේ ධිවරයන් නායකත්වය ගෙන එකට එක්වී මිසක්, සභාව මැදිහත් වී නොවේ. ලෙල්ලම් ඉඩමක් නිසා අද සභාවට ධිවර සුභසාධනයක් මතක් වී ඇත. අව්ව වැස්ස නොබලා මහ මුහුදේ තම ජිවිතය අනතුරට තබා රැකියා කර ගොඩ බිමට රැගෙන එන සොච්චම් මාළු අස්වැන්න නිසා ක්‍රියාත්මක වන ලෙල්ලමෙනුත් ආදායම් ලැබීම සභා නායකත්වයේ යටි අරමුණ නොවේද මේ? සභා නායකත්වය යටතේ පල්ලි වලින් ක්‍රියාත්මක වන ලෙල්ලම් ආදායමෙන් ධිවර සුභ සාධනයක් ඇත්තටම සිදුවේද?

අප සමිතිය විසින් සිදුකරගන යන ඉහත සඳහන් ධීවර සුභසාධන හා අයිතිවාසිකම් රැකගැනීම මෙන්ම ගමේ පොදු කටයුතු ලoකාවේ කිසිදු පල්ලියක් හෝ ලෙල්ලමක් අයිති පල්ලියක් විසින් කර තිබේද? ඉඳිරියට කරයි කියා විශ්වාස කළ හැකිද? වසර 65 ක් තිස්සේ ආරක්ෂා කරගනිමින් භුක්ති විදි අප ලෙල්ලම අපට අහිමි කිරීමට ගන්නා මෙම උත්සාහය මොන තරම් නින්දිත ලජ්ජා නැති වැඩක්ද? මොන තරම් ආගමට ගැලපේද?

පිටිපන එක්සත් ධිවර සමීතිය