පුත්තලමේ දේශපාලන පෙරළි රැසක් ! නියෝමාල් එජාපෙට ! හිලරි පොහොට්ටුවට !

0
428

niyomal 1හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන නියෝමාල් පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණ පක්ෂය හා එක්වීමට සුදානම් වන විට හලාවත නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු පොදු ජන පෙරමුණ පක්ෂය හා එක්වීමට සුදානමක් ඇති බවට වාර්තා වේ.

2000 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කළ නියෝමාල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.දෙවැනි වරටද එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිය නියෝමාල් මහතා පසුගිය රජය සමයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක් විය.එම වකවානුවේ හෙතෙම විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධූරය හොබවන ලදි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණ පක්ෂයෙන් තරග කළ නියෝමාල් මහතා පරාජයට පත් විය.නමුත් හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයා ලෙස මේ වන තුරුම කටයුතු කරමින් සිටියේය.

අප මේ සම්බන්ධයෙන් නියෝමාල් පෙරේරා මහතාගෙන් විමසා සිටියෙමු.ඔව් මට ආරාධනාවක් ලැබිලා තියනවා.ආසනයේ පාක්ෂිකයෝ සමග මුලින්ම සාකච්ඡා කළ යුතුයි.ඊට පස්සේ තීන්දුවක් ගන්නයි අදහස.කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මට නුපුරුදු තැනක් නෙමෙයි.මම හිටපු තැනනේ.පරණ ගෙදරට යනවා කියන එක ලොකු දෙයක් නෙමෙයි.

මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන්න ප්‍රධානතම හේතුව වුනේ පක්ෂයේ නායකත්වයයයි.නායකත්වය වෙනස් විය යුතුයි කියන මතයේ මම එදා ඉදලා හිටියා.මම විතරක් නෙමෙයි පක්ෂය අතහැර ගිය බොහෝ අය හිටියෙත්, ඉන්නෙත් ඒ මතයේ.අපිට අළුත් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.ඒ අනුව තීරණයක් ගන්න තමයි හිතා ගෙන ඉන්නේ.පුත්තලම දිස්ත්‍රික්කයේ කුමන ආසනයේ සංවිධායක ධූරය මට ලැබුණත් ගැටළුවක් නැහැ.මොකද මම දන්නවා ජනතාව සමග වැඩ කරන ආකාරය.

30 වැනිදා පෙරවරුවේ හලාවත පිහිටි නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට සුදානම් කර ඇති බවද දැන ගැනීමට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත නගර සභාව නියෝජනය කරන නීතිඥ හිලරි ප්‍රසන්න පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය හා එක්වීමට තීරණය කර ඇත.

පොදු ජන පෙරමුණ පක්ෂයෙන් හලාවත නගර සභාවට තරග කළ හිලරි ප්‍රසන්න පෙරේරා මහතා දේශපාලනයට එක් විය.පසුව ඒ මහතා හලාවත නගර සභාවේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කළ හිලරි ප්‍රසන්න මහතා පරාජයට පත් විය.පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හලාවත නගර සභාවට තරග කළ හෙතෙම තම කොට්ඨාසය ජයග්‍රහණය කළේය.

පොදු ජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඪාභය රාජපක්ෂ මහතා පසුගිය 22 වැනිදා හලාවතට පැමිණි අවස්ථාවේදී ඒ මහතා හමුවී සාකච්ඡා කිරීමටද හිලරි ප්‍රසන්න මහතා කටයුතු කර ඇත.ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සදහා කටයුතු කරන බවද හිලරි ප්‍රසන්න මහතා තම හිතවතුන් සමග පවසා ඇත.

ජුඩ් සමන්ත.