පුතා නිදහස් කරන්න ලක්ෂ 75 ක් ඉල්ලුවා නාවික රණවිරුවෝ දෙමල තරුණයින් උස්සා කප්පම් ගත් හැටි !

0
51

FB_IMG_1543456974696

“මේ අවුරුදු නවයට පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ. අදටත් මගේ හිත කියනවා මගේ දරුවා කොහේ හරි ජීවත්වෙනවා කියලා.”

වසර නවයකට පෙර අතුරුදහන් වූ සිය එකම පුත්‍රයා වන රජීව් නාගනාදන් තවමත් කොතැනක හෝ ජීවතුන් අතර සිටිතැයි සරෝජා නාගනාදන් බලාපොරොත්තු පළ කරන්නීය.

ගත වූ වසර නවය තුළ සිය දින චරියාවෙන් වැඩිම කාලයක් ගත වූයේ අධිකරණයේ, පොලිසියේ නොඑසේනම් කෝවිලේ පූජා පවත්වමින් බව ඇය පවසන්නීය.

ඒ සිය එකම පුත්‍රයා ගැන කුමන හෝ තොරතුරක් ලැබෙතැයි බලාපොරොත්තුවෙනි.

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂයෙකු වන රජීව් නාගනාදන් සිය මිතුරන් සිව් දෙනෙකුත් සමග 2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි දින සිට අතුරුදහන්ව සිටී.

ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදහන්ව සිටින එම මිතුරන් සිව් දෙනාය.

‘රුපියල් කෝටියක කප්පමක්’
කප්පම් ලබාගැනීම පිණිස රජීව් ඇතුළු මිතුරන් පස් දෙනා පැහැරගෙන යාමේ චෝදනාව මත නාවික හමුදා සාමාජිකයන් හත්දෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවෙති.

ඔවුන්ට අමතරව තවත් පුද්ගලයන් හයදෙනෙකු ද පැහැරගෙන තිබෙන බවට මෙම නාවික හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ලවී තිබේ.

“රජීව් මගේ එකම දරුවා. එයා අපිට ගොඩක් ආදරෙයි. එංගලන්තේ ගිහිල්ලා ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්නයි එයාට අවශ්‍ය වුනේ. එංගලන්තේ යන්න කලින් දවසේ තමයි යාළුවොත් එක්ක එලියට ගියාම එයාව නාවික හමුදාවෙන් පැහැරගෙන ගිහින් තියෙන්නේ,” සරෝජා නාගනාදන් හැඬු කඳුලෙන් යුතුව සිය දරුවා ගැන මතකය අවදි කරන්නීය.

පැහැරගනු ලැබූ රජීව් ඇතුළු පිරිස නිදහස් කිරීම සඳහා රුපියල් කෝටියක කප්පමක් ගෙවන මෙන් කප්පම්කරුවන් ඉල්ලා සිටි අවස්ථාවේ ඒ මුදල ගෙවීමට පවා දෙමාපියන් සූදානම් වුවත් ලබාදෙන ස්ථානය පිළිබඳව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එය ක්‍රියාත්මක වී නැත.

අත්අඩංගුවේ පසුවෙන අතරවාරයේ රජීව් නාගනාදන් කිහිප වරක්ම සිය දෙමාපියන් දුරකථනයෙන් අමතා තිබේ. කප්පම් ලබාගැනීම සඳහා තමන් පැහැරගෙන ගිය බව ඒ අවස්ථාවේත් ඔහු සඳහන් කර තිබේ.

‘එළියට දාන්න බයයි’
“2008 දෙසැම්බර් ඉඳලා 2009 මැයි වෙනකම් එයා වරින් වර දුරකථනයෙන් කථා කළා. මැයි වලින් පස්සේ කිසිම තොරතුරක් නැහැ,” මව සරෝජාට කඳුළු වළකාගත නොහැකිය.

“ළමයි තාම ඉන්නවා. ඒගොල්ලෝ බයයි මේ ළමයි එළියට දාන්න. මොකද ඒගොල්ලෝ කරපු ඒවා හෙළි කරයි කියලා.”

අතුරුදහන්වූ තරුණයෝ
එවක නාවික හමුදාපතිවරයා 2009 දී පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ශිෂ්‍යයන් පැහැර ගැනීම පිළිබඳව පොලිස් විමර්ශනයක් ඇරඹිණ.

කෙසේ නමුත් නව ආණ්ඩුව බලයට පත්වන තුරු විවිධ හේතු මත එම පරීක්ෂණ සිදු වූයේ ඉතා මන්දගාමිව බව අතුරුදහන්ව සිටින රජිව්ගේ මිතුරු ඩිලාන් ජමාල්ඩින්ගේ මව ජෙරිෆා වීරසේකර පවසයි.

“දැන් තමයි ඒ ගැන අවධානයක් ඇවිල්ල මාධ්‍ය පවා මේ ගැන කතාකරන්නේ. නැත්නම් කවුරුත් මේ අතුරුදහන්වීම් ගැන කතා කළේ නැහැ,” ඇය පවසන්නීය.

“අවුරුදු නමයකට පස්සේ එයාලව අත්අඩංගුවට ගත්තම කියනවා, ඒගොල්ලන්ගේ බිරින්දෑවරු අඬනවලු, දරුවෝ අඬනවලු. ඒගොල්ලන්ට හිරේ හරි ගිහිල්ල බලන්න පුළුවන් අපි අවුරුදු නමයක් තිස්සේ අඬනව, දකින්නවත් නැතුව.”

සිය දරුවන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට ඇතැම් දේශපාලකයන් නගන චෝදනා පිළිබඳව ජෙරිෆා වීරසේකර මෙන්ම සරෝජා නාගනාදන් දැඩි කලකිරීමෙන් යුතුව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූහ.

තරුණයන් අතුරුදහන් කරවීම ගැන මාධ්‍ය වාර්තා
“උසාවියට ඇවිල්ලා පොලිසිය, බුද්ධි අංශයම කිව්වා අපේ ළමයි කිසිම දේකට වැරදි නැහැ කියලා. එහෙම කියලා අවුරුදු නමයකට පස්සේ දැන් මේ අත්අඩංගුවට ගැනීම් වෙනකොට මෙහෙම කතා කියනවා. ඇත්තටම ගොඩක් දුකයි.”

“මගේ මහත්තයා හමුදාවෙන් විශ්‍රාම ගිය රණවිරුවෙක්. අපි ආදරෙයි හමුදාවට, මොකද අපි කන්නේ බොන්නේ ජිවත්වෙන්නේ හමුදාවේ විශ්‍රාම වැටුපෙන්. අපි කිසිම විටක රණවිරුවන්ට බොරුවට දෝෂාරෝපණය කරන්නේ නැහැ,” ජෙරිෆා වීරසේකර හැගීම් බරව එසේ පිළිතුරු ලබාදුන්නේ මෑතකදී විපක්ෂයේ දේශපාලකයන් කළ ප්‍රකාශ පිළිබඳව බීබීසී ය විමසූ අවස්ථාවේදීය.

“රණවිරුවෙක් කියලා එයා වැරදි කරොත් ඒක වැරැද්දක් නෙවෙයිද ? උසාවිය තීරණය කරාවි මේකේ හරි වැරැද්ද. අපි ඉල්ලන්නේ පොලිසියට මේ පරීක්ෂණ කරන්න ඉඩදෙන්න කියලා දේශපාලනය ගාව ගන්නේ නැතුව,” යනුවෙන් ඇය සියළු දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම පරීක්ෂණ මගින් සිය පුතු පිළිබඳව කුමන හෝ ආරංචියක් ලැබෙනු ඇතැයි යන සුභවාදී බලාපොරොත්තුවෙනි.