පොලිස් ඇමතිට ගුරු නායක ජෝසප් ස්ටාලින්ගෙන් අභියෝගයක්

0
65

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව අගනගරයේ  විරෝධතා දියත් කළ තමන් ඇතුළු පිරිස රඳවා තබා ගැනීම වලංගු කෙරෙන නිල ලියවිල්ලක් ඇතිනම් එය ප්‍රසිද්ධ කරන ලෙස ගුවන් හමුදා කදවුරක් තුළ බලහත්කාරයෙන්  රඳවා සිටින  ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු පොලීසිය භාර අමාත්‍යවරයාට අභියෝග කර තිබේ.  

ලංකා ගුරු සංගම් නායකයා ඇතුළු පිරිස නිරෝධායනය සදහා යොමු කරන ලද්දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ලේඛනයක් ලබා ගැනීමෙන් පසු බවට පොලිසිය භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර  ජුලි 12 සඳුදා ප්‍රකාශ කර තිබුණි.   “අපි අහනවා කෝ ඒ ලේඛනය. වහාම ඒ ලේඛනය ප්‍රසිද්ධියට පත් කරන්න,” යි ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් අභියෝගයට ලක් කළේ ජුලි 13 අගහරුවාදා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිට මාධ්‍ය හමුවක් පවත්වමිනි.    

  තමන් ඇතුළු පිරිස දින පහක් තිස්සේ හමුදා කදවුරක් තුළ රඳවා තබා ගෙන සිටින්නේ කිසිදු ලේඛනයක් නොමැතිව බවට  අනාවරණය වුයේ යාපනය මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියකු ජුලි 13 ද  ගුවන් හමුදා කඳවුරට පැමිනිමෙන් පසුව බවත් ජෝසප් ස්ටාලින් එහිදී අනාවරණය කළේය.  

  “ඒ නිලධාරියා මෙතනදී අපි සියළු දෙනාගේ වාර්තාවක් පොලීසිය ලබා දුන්නද කියලා ප්‍රශ්න කරලා තියනවා. ඒකෙදී දැනගන්න තියෙන්නේ පොලීසිය ලිඛිතව අපගේ නම් කිසිවක් ලබා දීලා නෑ. කවුද මේ ඉන්නේ කියලා.”   බලහත්කාරයෙන් රඳවාගෙන සිටින තමන් ඇතුළු පිරිස හමුවීමට පැමිණි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරියකුට ගුවන් හමුදාව නොමැති බව ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා එහිදී හෙළිදරව් කළේය    

    යුරෝපා සංගමයට දැනුම් දෙයි

eu1

    වසංගතයට මුවා වී ආණ්ඩුව විසින් මේ ආකාරයෙන් සිදු කරනු ලබන මර්දනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට ලංකා ගුරු සංගමය ඊයේ දිනයේ කටයුතු කර තිබුනි.   ලංකා ගුරු  නිවේදනය කර තිබුනේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ලංකා ගුරු සංගමය යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට සංදේශයක් භාර දුන් බවයි.

  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව ජුලි 08 වැනි දින  සිසුජන ව්‍යාපාරය විසින් කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිරෝධායන නීතිවලට මුවා වී අනීතික ලෙස පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී.    

  අධිකරණයෙන් ඇප මත නිදහස් කළ ඔවුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙද්දී ගේට්ටුව හරස් කර පොලීසිය විසින් බස්රථවල නංවාගෙන බලහත්කාරයෙන් ගුවන් හමුදා කදවුරක් තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් රඳවා තබා ගෙන සිටි.  

    අධිකරණය විසින් නිදහස් කළ ලොව ප්‍රකට ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයකු බලහත්කාරයෙන් ගුවන් හමුදා කඳවුරක් තුළ රඳවාගෙන සිටීම ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නොලැබී යෑමට හේතුවක් විය හැකි බවට හිටපු අගමැතිවරයා අභිනව මුදල් අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබේ.  

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 සිකුරාදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට  අවධාරණය කළේ  ලංකා ගුරු සංමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් යුරෝපීය සංගමය දන්නා පුද්ගලයකු බැවින් ඔහුගේ නිදහස වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි.  

ඊට පිළිතුරු දෙමින් පොලිසිය භාර ඇමති සරත් වීරසේකර කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වන පිරිස් අත් අඩංගුවට ගැනීම කිසිසේත් අත් හිටුවන්නේ නැති බවයි.       

theleader.lk