පොලිසියෙන් චෝදනා ඇති මන්ත්‍රීවරුන් ප්‍රථමයෙන් ඒවා විසඳා ගත යුතු බවත් මන්ත්‍රීවරු තමන්ගේ හැසිරීම ගැන ප්‍රථමයෙන් බැලිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති වැඩමුළුවක් අමතා කීය.
මන්ත්‍රීවරුන් සඳහා දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතා එසේ කී අගමැතිවරයා එක මන්ත්‍රීවරයකුට මාධ්‍යයෙන් පහර දෙන විට සියලුම දෙනාට එය වදින බව කීය.
නවක මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වූ මේ අවස්ථාවේදී කියවීමෙන් තම දැනුම වර්ධනය කර ගැනීමෙන් මන්ත්‍රීවරයකුට ලැබෙන ප්‍රයෝජනය විස්තර කළ අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනට වඩා පහසුකම් ලබාදිය යුතු බව කීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේද කීය.
ඡන්දදායකයන් අප පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාවට වැඩ කරන්නයි. වැඩ කරන්න බැරි මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදී වැඩක් නැහැ. මේ වැඩමුළුවට නොපැමිණි එජාපයේ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු අහන්න කියා මා ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාට දැනුම් දුන්නා. එසේම සන්ධානයේ නොපැමිණි මන්ත්‍රීවරුන් ගැන ජනාධිපතිතුමාට දැනුම් දෙන්න. එතුමා ඒ ගැන පියවරක් ගනීවි.
ආසියාවේ ඇති පැරණිතම සභාවක් ලෙස මේ පාර්ලිමේන්තුව හැඳින්විය හැකියි. 1928 දී ආරම්භ වූ ව්‍යවස්ථාදායක සභාවෙත් මෙය ඇතිවෙලා තියෙන්නේ. ඒ කාලයේ තිබුණු සම්ප්‍රදායන් අනුව අප ක්‍රියාත්මක වෙනවා. ඒ කාලයේ එම සභාව නියෝජනය කළ අයගෙන් පැවැත එන ඩී. එම්. ස්වාමිනාදන් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. පාර්ලිමේන්තුවෙන් පිට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සිටිනවා. එහෙම ඉතිහාසයක් අපට තිබෙනවා. අප ආදර්ශයට ගත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ ඔක්කොටම වඩා පැරණියි. ඊට පසු අමෙරිකානු ජනපද 13 තිබූ සභාව බටහිර ඉන්දියානු කොදෙව්වල ජැමෙයිකාව ඊට පසු ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සභාව පැරණි එකක්. ඔවුන් තෝරා පත් කර ගත්තේ ඡන්දයෙන්. 1924 දී අපේ ප්‍රථම ව්‍යවස්ථාදායක මණ්ඩලයට මුදල් බලය තිබුණත් විධායක බලය තිබුණේ ආණ්ඩුකාරවරයාටයි.
අපේ රට පාර්ලිමේන්තු ක්‍රම 3ක් මේ දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා. 1948 සෝල්බරි පාර්ලිමේන්තු ක්‍රමය 1972 ජනරජ පාර්ලිමේන්තුව 1978 විධායක ජනාධිපති සහිත පාර්ලිමේන්තුව එම තුනයි.
2004 වනවිට පාර්ලිමේන්තුව විධායකය පාලනය කළා. පසුව යළි විධායකය බලවත් වූවා. පාර්ලිමේන්තුවේ බලය අඩුවූවා. 19 වන සංශෝධනයෙන් විධායක බලයෙන් කොටසක් යළි පාර්ලිමේන්තුවට ලැබුණා. එහි විධායක බලතල සීමාකර තිබෙනවා. එසේම ස්වාධීන කොමිෂන් සභා ඇති කර ඇත. මෙතැන් සිට ඉදිරියට යා යුත්තේ කෙසේද අද ජනතාව හිතන්නේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ඇවිත් වරප්‍රසාද ගන්නා බවයි. පොලිසියට ගොස් මිනිස්සු බේරා ගන්න තමයි මන්ත්‍රීවරු අවශ්‍ය කියා හිතනවා. මේ තත්ත්වය ඉදිරියට ගෙන යනවාද? මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ගය කියා හිතන්න. මන්ත්‍රීවරුන්ට වැඩ කරන්නට දැනට වඩා පහසුකම් දෙන්න ඕනෑ. තමන්ගේ හැසිරීම් ගැන මන්ත්‍රීවරු මුලින් බලන්න ඕනෑ.
ෙපාලිසියෙන් චෝදනා ඇති අය ඉක්මනින් ඒවා විසඳා ගත යුතුයි. නැතිනම් මාධ්‍යයෙන් ගසනවා ඒවා වදින්නේ මන්ත්‍රීවරයාට පමණක් නොව අපි ඔක්කෝටම වදිනවා. ප්‍රථමයෙන් තිබෙන චෝදනාවලින් ගැලවෙන්න ඕනෑ. මේ සභාව තුළ අප හරිහැටි ක්‍රියාත්මක වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අප පාර්ලිමේන්තුව සජීවීව විකාශනය කිරීම ලබන වසරේ ආරම්භ කරනවා. ඒක නතර කරන්නේ නැහැ. එවිට අපේ මන්ත්‍රී පුටුවේ නැත්තේ ඇයි කියා ජනතාව අසාවි මන්ත්‍රීවරුන්ගේ කටයුතු නිවැරැදි කරගැනීම පළමු කාර්ය විය යුතුයි. පාර්ලිමේන්තුවේ සිටීම මන්ත්‍රීවරයාගේ පළමු කාර්ය විය යුතුයි.
මළ ගෙවල් මගුල් ගෙවල්වලට යන්න ඕනෑ නම් පළාත් සභාවේ හා ප්‍රාදේශීය සභාවේම රැඳිලා ඉන්න පාර්ලිමේන්තුවට එන්න එපා නැකැත් තියෙනවා කියා නෑවිත් ඉන්න එපා. මම නම් අස්සන් කරන්න යන්නේ නැහැ. මම කියන්නේ ගොඩවෙනවා කියා විතරයි. සති අග හෝ සඳුදා උදේ ජනතා දිනය යොදා ගන්න. බ්‍රහස්පතින්දාට සිකුරාදාට උදේ සිට පාර්ලිමේන්තුවේ වැඩ පටන් ගන්න අපේක්ෂා කරනවා.
පාර්ලිමේන්තු රැස්වීමේ සිටින්නේ නැතිනම් පුස්තකාලයට යන්න අතීතයේ මන්ත්‍රීවරු වැඩියෙන්ම හිටියේ පුස්තකාලයේ දැන් නැහැ. දැන් පොත්වල දූවිලි බැඳිලා. පුස්තකාලය භාවිතා කරනවා නම් තවත් පොත් ගෙනැවිත් දෙන්නම්. හොඳ විවාද කරුණු තිබෙනවා. පැරණි හැන්සාඩ් කියවන්න. 1960 දශකයේ තිබූ උසස් තත්ත්වය දැන් මේ සභාව තුළ නැහැ. ඒ තැනට අප යන්න ඕනෑ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් පවා කියවන්න. කියවා දැනුම ගන්න.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල පසුපෙළ මන්ත්‍රීන්ට වැඩ කළ හැකියි. තම දැනුම වැඩිකර ගන්න ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාවලින් ඇති කළ නොහැකියි. අනෙක් ආයතන ශක්තිමත් කළ යුතුයි. අපේ ජාතික ආණ්ඩුව විපක්ෂයේ දෙමළ සන්ධානය හෝ ජ.වි.පෙ. හොඳ දේවල්වලට එකඟ වෙනවා. බැරි දේට බැහැ කියනවා. වැඩට උනන්දුවෙන් කටයුතු කරන මන්ත්‍රීවරුන්ට විදේශ රටවල දැනුම ලබාදීමට රට යවනවා. පාර්ලිමේන්තු හදන වගකීම අප භාරගෙන තිබෙනවා. අප එය ඉටුකරනවා. කැපවී වැඩ කරමු.
කතානායක කරු ජයසූරිය මහතා අපේ රටේ ජනතාව පාර්ලිෙම්න්තුව කෙරෙහි විශාල ගෞරවයක් දක්වනවා. අතීතයේ සිට ඒ ගෞරවය මන්ත්‍රීවරු ආරක්ෂා කළා. දුකට සැපට ජනතාව සමඟ මන්ත්‍රීවරයා සිටිනවා. යම් ප්‍රශ්නයකදී ජනතාව දුවගෙන එන්නේ මන්ත්‍රීවරයා ළඟටයි. අපේ ඡන්දදායකයා බුද්ධිමත්. නව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ කාර්යභාරය ඉතා විශාලයි. ඔවුන්ද ආණ්ඩුවට හවුල්කර ගන්නවා. යෝජනා කාරක සභාවලට පුළුල් බලතල ලබාදෙනවා. ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රට පාලනය කිරීමෙන් දියුණුව සැලසෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා,
මන්ත්‍රීවරයකුගේ කාර්යය කුමක්ද කියා සියයට 100ක් හරියටම කියන්න කිසිවකුට බැරිවී තිබෙනවා. එය ඒ තරමට සංකීර්ණයි. තම වගකීම කාර්ය කාර්යක්ෂමව ඵලදායක ලෙස කර ගැනීමට මඟපෙන්වීම මේ වැඩමුළුවේ අරමුණයි.
මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කාරක සභා නියෝජ්‍ය සභාපති එස්. අඩෙයිකලනාදන්, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් නීල් ඉද්දවෙල, සහකාර ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්පත් දායකත්වය ලබා තිබුණි.
උපුටා ගැනිම – දිණමිණ වෙබ් අඩවිය