පොලිසිය යාපනය මාධ්‍යවේදීන් පසුපස පන්නයි

0
75
මරණ තර්ජන එල්ලවූ මාධ්‍යවේදීන් තිදෙනා අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ. මරණ තර්ජන එල්ලවූ මාධ්‍යවේදීන් තිදෙනා අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ.

පොලීසිය විසින් යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිදු කරනු ලබන තර්ජන, බියවැද්දීම් සහ අත්අඩංගුවට ගැනීම් නිසා ඔවුන්ට නිදහසේ සිය වෘත්තිය ඉටු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ යාපනය ලේකම් එස්.දයාබරන් මහතා පවසයි.

යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන ලෝහා දයානන්දන් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිද්ධියෙන් පසුව යාපනයේ සෙසු මාධ්‍යවේදීන් බියට පත්ව සිටින බව දයාබරන් මහතා කියා සිටි බව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ මහතා කියා සිටියි.

ලෝහා දයානන්දන් මේ වනවිට ඇප මත මුදා හරිනු ලැබ සිටින අතර ඔහුට යළිත් තර්ජන එල්ල වනු ඇතැයි බියෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මාධ්‍ය වෙත ලබා දීම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

වැරදි පුවතක් කියා අත්අඩංගුවට :

එසේ වුවද, යාපනයේ නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරියෙකු විසින් පළාතේ දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් තම පුවත්පතට ලිවීමෙන් පසුව එය වැරදි යැයි කියමින් පොලිසිය තමා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ලෝහා දයානන්දන් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් මේ පිළිබදව විමසූවිට ඔහු කියා සිටියේ, අදාළ මාධ්‍යවේදියා එක්තරා වෙබ් අඩවියක සදහන්ව තිබූ අසත්‍ය ප්‍රවෘත්තියක් සත්‍යය වූවක් හැටියට පළ කිරීම නිසා ඔහු පොලිසියට කැඳවා ප්‍රශ්න කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.

අදාළ ප්‍රවෘත්තියේ දැක්වෙන ආකාරයට නෙල්ලිඅඩි පොලිසියේ නිලධාරියකු දැරියක් දූෂණය කොට නොමැති අතර එය අසත්‍ය ප්‍රවෘත්තියක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් ලාංඡනය ඇඳගත් පුද්ගලයින් :

මේ අතර, යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පුවතක් ආවරණය කොට මාධ්‍ය කාර්යාලය වෙත එමින් සිටි මාධ්‍යවේදීන් තිදෙනෙකුට පහරදීමේ අරමුණින් පොලිස් ලාංඡනය සහිත කමිස ඇඳගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ඇතැයි ‘රාවය’ පුවත්පත වාර්තා කරයි.

චුන්නායගම් විදුලි බලාගාරය නිසා ජලය අපවිත්‍රවීම නිසා අසරණභාවට පත්වූ පිරිසක් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් ආවරණය කොට ආපසු පැමිණෙමින් සිටින අතරතුර BAL 2172 අංක දරණ යතුරුපැදියකින් පොලිසි දෙපාර්තමේන්තුවේ ලාංඡන සහිත කමිස ඇඳගත් දෙදෙනෙකු විසින් ඔවුන්ව ලුහුබැඳි බව සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදියකු විසින් පවසා ඇත.

තියුණු පිහි අතැතිව එම පුද්ගලයින් දෙදෙනා බීමතින් සිටි බවත් ඔවුන්ගේ ඡායාරූප ලබාගත් බවත් අදහස් දක්වමින් තිනක්කූරල් පුවත්පතේ සහ ආසියානු ගුවන්විදුලියේ මධ්‍යවේදීන් දෙදෙනා පවසා ඇත.

මාධ්‍ය හැඳුනුම්පත ප්‍රතික්ෂේප කරයි :

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ අදාළ යතුරුපැදිය නවතා තිබූ ඇති බවත් පොලීසිය විසින් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හැඳුනුම්පත් භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී පොලිස් මාධ්‍ය කාර්යාලය පවසා ඇත්තේ තමන්ට මේ පිළිබඳ කිසිවක් වාර්තා නොවූණු බවයි