බටලන්ද ගැන ජවිපෙට රිදෙන්නම කරපු හොදම කථාව මුජිබර්ගේ !

0
87
පාර්ලිමේන්තුවේදී බටලන්ද සිහිකර නියෝජ්ය ඇමති සුනිල් වටගල කඳුළු සැලීය. ඇමති බිමල් රත්නායකට ඇඬුම් ආවේය. එහෙත් අවංක කඳුළු වැටීමකට කතාවක් කරනු ලැබුවේ සජබ මන්ත්රී Mujibur Rahman විසිනි.

තමන්ගේ ඇත්ත සතුරන් සිය වාසයේම තබා ගනිමින් හා ඔවුන් රකිමින් ආණ්ඩුවට අදාළ වැරදිකරුවන්ට නීතිය නිසි ලෙස ක්රියාත්මක කළ නොහැකි බව ඔහු පෙන්වාදුන්නේය. ජවිපෙ මන්ත්රීවරයෙකු කළ යුතු කතාවක් ඔහු කළ අතර හරි නම් ඔවුන් හදවතින්ම මුජුබර්ට ස්තුතිය පලකළ යුතුය.491356619 24120635527537571 5442936458646677718 n

වත්මන් ආණ්ඩුව පිළිබඳ ඇති උභතෝකෝටිකය ගැන මා මේ තබන දෙවන සටහනයි. මුජුබුර් රහ්මාන් මන්ත්රිවරයා එදින පෙන්වා දුන් එක් කරුණක් ගෙන මෙය පැහැදිලි කළ හැකිය.

“රණවීර නීතිය හා සාමය අමාත්යංශෙ උපදේශකයා. එයාට චෝදනා රාශියක් තියෙනවා. තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කරාය කියලා. එයා ළඟ තියාගෙන තමයි තාජුඩීන් ඝාතනය ගැන හොයන්නෙ. තමුන්නාන්සේලාගෙ නායකතුමාගේ විජේවීරගෙ ගෙදර වැඩ කරපු පක්ෂයේ පූර්ණකාලිකයෙක් සහෝදරිය. කවුද එයා. එයා තමයි කරුණක්කා. කරුණක්කා තමයි විජේවීරගෙ දරුවො බලාගත්තෙ. කරුණක්කගෙ අයිය වැලිපැන්න කඳවුරේ වදදීලා මරල දැම්මෙ රණවීර”

මේ කියන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්යාංශයේ උපදේශක හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ආර්.රණවීර පිළිබඳවයි. හිතවත් Sunanda Deshapriyaද මේ පිළිබඳ දිගු පැහැදිලි කිරීමක් කර තිබිණ.

මේ රණවීර යනු පොලීසියේ කළු පැල්ලමකි. පොලීසිය ඔහුගේ පැටිකිරිය ඉතා හොඳින් දනී. 1988/89 වකවානුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ ඔහු වධකයෙකි. ඉහත කියවුනු ලෙසම රෝහණ විජේවීර සමග උලපනේ නිවසේ සිටි අති විශ්වාසනීය යටිබිම්ගත ක්රියාකාරිනියක වු කේ.කේ. කරුණාගේ සොයුරු කේ.කේ. සයිමන් ඝාතනය කළා යැයි කියන්නේ මෙකී නිළධාරියායි. මතුගම අවිත්තාවේ පරෙයිගම ජීවත්වූ සයිමන් පක්ෂයේ සාමාන්ය ක්රියාකාරිකයෙකු පමණක් වුව කරුණා වෙනුවට ඔහු මහ දවල් ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණ.

එකල කැරළිකරුවන් මෙන්ම පොලීසිය සහ හමුදාවද අනීතික ලෙස ක්රියාකළ යුගයක් බව සැබැවි. එහෙත් එදා එහි ඇතැමුන්ගේ ක්රියා මගින් මානව ගරුත්වය දැඩි ලෙස කෙලෙසා දැමින. වැලිපැන්න, ගල්මත්ත වැනි ප්රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් පොලිස් ස්ථානයට හෝ රැගෙන නොගොස් මහ මග මරා දමා පුළුස්සා දැමූ බවට මෙකී නිළධාරියාට අදටත් එකී ප්රදේශවලින් චෝදනා නැගේ.

මතුගම ප්රදේශවාසියෙක්ම වන සුනිල් වටගලගෙන් මේ ගැන අසන පාක්ෂිකයන් සිටින බව මම දනිමි. “ඇයි සහෝදරයා මේ වගේ කෙනෙක් ඔයාගේ අමාත්යාංශයේ උපදේශකයා හැටියට තියාගෙන ඉන්නේ?” ඔහුගේ උත්තරය මෙබඳුය. “එයා, ඇමති විජේපාල සහෝදරයාගේ බැච්මේට්. මට ඒකට මැදිහත් වෙන්න බැහැ.”

රහස ඇත්තේ මෙතැනය. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්ය ආනන්ද විජේපාල සහ රණවීර යනු උප පොලිස් පරීක්ෂකයන් ලෙස පොලීසියට එක්වන අවස්ථාවේ එකම කණ්ඩායමේ සිටි දෙදෙනෙකි. මේ පවත්වාගෙන යන්නේ එකී මිත්රත්වයයි.

ඝාතන, දුෂණ වංචා සොයන ආණ්ඩුවක විෂයභාර වගකීම ඇති ආයතනයක එවැනි මිත්රත්වයක් නඩත්තු කිරීමෙන් අපේක්ෂිත ප්රතිඵල ලැබිය හැකිද? අනෙක් පසින් ඉමහත් කැපකිරීම් මතින් බලයට රැගෙන ආ තම ආණ්ඩුව පිළිබඳ පක්ෂ ආධ්යාත්මයේ හර්ද සාක්ෂිය කවරක් කියනු ඇත්ද?

ඩී.එල්.ආර්.රණවීර යනු පසුකාලයේ මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටු කඳවුරේ අවශ්යතා නොපිරිහෙලා ඉටු කළ පොලිස් නිළධාරියෙකි. ඔහු කුප්රකට හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායකගේ අන්තේවාසික හෙවත් අගසව් කෙනෙකි. සේනානායකගේ පොලිස් භාවිතාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. SSP රණ්වීර කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCDB) අධ්යක්ෂවරයා ලෙසත් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂවරයා ලෙසත් සේවය කළේය.

සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ 1972 දී කොළඹ අපරාධ කොට්ඨාශය (Colombo Detective Bureau) පිහිටවනු ලැබුවේ කොළඹ ආශ්රිතව වර්ධනය වෙමින් තිබූ අපරාධ මර්දනය කිරීම සඳහායි. එකල කීර්තිමත් පොලිස් නිළධාරියෙකු වූ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි රාමචන්ද්රන් සුංදරලිංගම් මේ සඳහා මූලික විය.

එහෙත් රාජපක්ෂ පාලන සමය වන විට CCDB ඉටුකළේ දේශපාලන අවශ්යතායි. වාස් ගුණවර්ධන, ඩී.එල්.ආර්.රණවීර වැන්නවුන් පොලිස් නාමයට කළු පැල්ලම් එක්කරමින් එකී ඕනෑ එපාකම් ඉටු කළේය. රණවීර අධ්යක්ෂවරයා අනුර සේනානායක සමග එක්වෙමින් තාජුඩීන් ඝාතනය ඇතුළු බරපතල සිදුවීම් වසා දැමීමට ක්රියාකළ අයෙකි.

CCDB කෙතරම් දේශපාලනීකරණය වුයේදැයි කීමට මෑත කාලීනව දිය හැකි තවත් උදාහරණයක් වන්නේ එහි අධ්යක්ෂවරයා ලෙස ටිරාන් අලස් අමාත්යවරයා විසින් නෙවිල් සිල්වා (මොහු W15 සිද්ධියට සම්බන්ධ කෙනායි) පත්කරනු ලැබීමයි. මෙතෙක් කලක් එම තනතුරෙට ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු (SSP) පත්කෙරුනද ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙකි (ASP).

ඒවගේම SSP රණවීර පොහොට්ටුවේ දේශපාලනය සමග සමීප සබඳතා ඇත්තෙකි. ඔහුගේ සහෝදරයා ගාමිණී ලොකුගේ ඇසුරෙහි සිටින දේශපාලකයෙකි.

වත්මන් ප්රශ්නය ඇත්තේ යාළු, නෑදෑ, හිත මිත්රකම් මත මෙන්ම වැරදි කළ කිසිවෙකුටත් තනතුරු නොදෙනවා යැයි කියූ ආණ්ඩුවක් එළිපිටම එසේ කිරීමයි. ආනන්ද විජේපාල අමාත්යවරයාගේ බලසම්පන්න බව රණවීරට එකී තනතුර ලැබීමට හේතුවී තිබිය හැකිය.

එහෙත් අතීතයට ගියහොත් මේ ප්රශ්නය තවත් ගැඹුරුය. ආනන්ද විජේපාල යනු එදා අනුර කුමාර දිසානායකගේ ලේකම්වරයායි. ඔහු එදා සිටම මෙකී මිත්රත්වය පවත්වාගෙන ඇත්තේ මහා ජනතා පීඩක දේශපාලනීකරණය වූ පොලිස්කාරයෙකු සමගද? මීට පෙර ලාල් කාන්ත පොලිස් ඇමතිකම ඉල්ලුවා මතකය. එසේ වූයේ නම් අද වන විට බොහෝ දේ වෙනස්වීමටද ඉඩ තිබිණ.

කෙසේවෙතත් කියූ දේ සහ කරන දෙය අතර ආණ්ඩුවේ මහත් පරස්පරයක් තිබේ. එක් පැත්තකින් බටලන්ද වෙනුවෙන් සාධාරණය ඉල්ලා කඳුළු සලමින්ම අනෙක් පසින් ඝාතකයින් ඔඩොක්කුවේ නලවමින් තිබේ. දතට දත, ලෙයට ලෙය නොව අඩුම තරමින් සිය පාක්ෂිකයන්ගේ සිත් බිඳවන පුද්ගලයින් තරමක් ඈතින් තැබීමටවත් ආණ්ඩුවට හැකිවිය යුතුය.

එසේ නොවන්නේ නම් මට නම් හැඟෙන්නේ දැන් සටන ඇත්තේ ජවිපෙ සහ ජවිපෙ අතරම (JVP Vs JVP) බවයි.

මහින්ද රූබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here