බඩගෝස්තර වාදය පැරදූ රුවල් ඔරු ධීවරන්ට තමන්ගේම අලෙවි මධ්‍යස්ථානයක්

0
83

පසුගිය  සෙනසුරාදා  ( 15  දා)  මීගමුව    පාරම්පරික  රුවල්  ඔරු  ධීවරයින්ට  ඉතාමත්  සතුටු   දනවන  දිනයක් විය.  ඒ මීගමුව  මුන්නක්කරය  ප්‍රදේශයට  අදාලව  ඉස්සන්  සඳහා  අලෙවි  මධ්‍යස්ථානයක්  විවෘත  කර ගැනීමට  හැකිවීමයි. මේ  අනුව  මීගමුව  මහවීදිය  දේවස්ථානයේ  පියතුමා  සමඟ  සාකච්ඡාකොට  සැදැහැවතෙකු  විසින්  දේවස්ථානයට  පරිත්‍යාග  කළ  ඉඩම්  කැබැල්ල  මේ  සඳහා  යොදා  ගැනීම  සඳහා   අවසර  ලබාගැනීමට  හැකිවිය. නමුත්  එතෙක්   මෙම  ඉඩමේ  අයිතිය  කියමින්  එහි  පාලනය  ගෙනගොස්  ඇත්තේ  පොහොට්ටුවේ   දේශපාලන  හෙංචයියෙකු  විසිනි.  ඒනිසා  ඔහුගෙන්  මෙම  ඉඩම්  කැබැල්ල   ධීවර  ජනතාවට   ලබාගත  හැකිවූයේ    සෑහෙන  අරගලයකින්  පසුවය.   මේවනතෙක්   තමන්  මුහුද  සමඟ  පොර  බඳිමින්    අල්ලාගෙන  එන  ඉස්සන්  අලෙවි කිරීමට    නිසි  තැනක්  නැතිව  සිටි  ඔවුන්ට  ඒ සඳහා  තැනක්  ලැබීම  ගැන  මෙම  රුවල්  ඔරු  සමීතියේ  සභාපති  සහ  ලේකම්  අප  සමඟ  අදහස්  බෙදා  ගත්තේ  මෙසේය.

නිකුලස් මහතා
නිකුලස් මහතා

මේ  පිළිබඳව  අදහස්  දැක්වූ  රුවල්ඔරු   සමීතියේ  සභාපති  නිකුලස්  මහතා…..

අපිට   අපේ  ඉස්සන්  විකුණා  ගන්න  තැනක්  නැතිවීම  ලොකු  ප්‍රශ්ණයක් විදිහට  තිබුනා.  ඒ නිසා  අපේ  සමීතියේ  හැමෝම  එකතුවෙල  මහවීදිය  පල්ලියේ    පාදර්  හමුවෙල  මේ  ගැන  කථාකළා.  මේ  ඉඩම  ගැනත්  පාදර්  සමඟ  කථා කළා.  පාදර්  මේගැන  සාකච්ඡා  කරල  පස්සෙ  උත්තරයක්  දෙන  බව  අපිට  කිව්වා.    පස්සෙ  පාදර්  අපිට  ඒකට  කැමැත්ත  දුන්නා.  ඒ වුනත්  විරුද්ධකාරයෙක්  හිටිය  නිසා  සටනක්  කරන්න  සිද්ධ වුනා.  එයා  වෙරළ සංරක්ෂණය,  ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලය   වගේ  ආයතන  වල  නිළධාරීන්  එක්ක  එකතුවෙල  මේ  වැඩේට  බාධා  කළා.  ඒවුනාට  අපි  පස්සට  ගියෙ නෑ.

 

ලෙනාඩ් මහතා

මේ  ගැන  රුවල්ඔරු  සමීතියේ  ලෙනාඩ්  මහතා  තම  අදහස  පළකලේ  මෙහෙමයි.

ඉඩමේ  අයිතිය  පවරපු  මහත්මිය  අපිට  මේ  ලෙල්ලම  හදාගන්න  සෑහෙන්න  උදව්කළා.  සියල්ල  තීරණය  වුනාට  පස්සෙ  ඊලඟට  අපි  සමීතියේ  කට්ටිය  එකතුවෙල  ලී  ටිකක්  හොයාගෙන    තාවකාලිකව   මඩුවක්    හැදුව.  නමුත්  අර  දේශපාලන  හෙංචයිය  ඇවිත්  ඒක  කැඩුව.  පියතුමා  කිව්ව  පොලීසියේ  පැමිණිල්ලක්  දාන්න   කියල.  අපි  පැමිණිල්ලක්  දැම්ම.  පස්සෙ  පොලීසියේදි  ස්ථානාධිපති තුමා  ඉඩමෙ  අයිතිය  ඔහුට  නැතිබවත්,  ඒ නිසා  මේ  ධීවරයින්ට   කරදර  නොකරන  ලෙසත්  ඔහුට  කිව්ව.  ඊට  පස්සෙ  අපි  සමීතියේ  සල්ලි  වැය  කරල  මේ   ගොඩනැගිල්ල   හදල  වැඩ  කරගෙන  යනව.

අයි  මෙතනම  ලෙල්ලම  සඳහා  තෝර  ගත්තෙ?

මේක  අපිට  ලොකු  සහනයක්.  ධීවයින්ගේ  රුවල් ඔරු  නවත්න්නෙත්  මෙතනමනෙ.   අපිට  නිදහසේ  කාලවේලාවට  වැඩකරන්න  පුළුවන්.    ඔරු  රස්සාව  කරන  ධීවරයො  400  ක් විතර  ඉන්නවා.  අපේ  සමීතිය  මාස  දෙකකට  වාරයක්  රැස්වෙනවා.  අපි  සමීතියෙදිත්  සාකච්ඡා  කරල  තමයි  මේ  සියළු  තීරණ  ගන්නෙ.  ඒ  නිසා    මෙතන  ලෙල්ලමක්  හදාගැනීමට  ලැබීම  ලොකු  ජයග්‍රහණයක්.  ඉස්සරහදි  මෙතන  තව  දියුණු  තත්වයකට  ගොඩනගා ගන්න පුළුවන්.