යනඑන ගමන් උණු උණුවේ තම්බන ලද බඩඉරිඟු කරලක රස බැලීමේ පුරුද්දක් අපි කා තුළත් තිබින. මේනිසා සමහරු සුළු වෙළඳාමක් ලෙස පාරක් අයිනක සිට තැනින් තැන මෙකී වෙළඳාම කරන ආකාරය ද සුලබ දසුනක් විය. ඉතා අඩු උපකරණ ප්‍රමාණයකින් මෙම කටයුත්ත කළ හැකි නිසා වැඩි වියදමකින් තොරව සුළු ආදායමක් ලැබීමට මේ අයට හැකියාවක් ලැබින. හිටි ගමන් මතුවූ සේනා නමින් හඳුන්වන දලඹු වසංගතය නිසා බඩ ඉරිඟු වගාකරුවන්ට මෙන්ම ඒ ආශ්‍රිතව විවිධ කටයුතු වල නියැලී සිටි සියළු දෙනාටම එය මරු පහරක් විය. මෙම උවදුර පැමිණීමට පෙර අප විසින් එවැනි බඩ ඉරිඟු විකුණා තම ජීවිතය ගැටගසා ගත් අයෙකු සමඟ කරන ලද කථාබහ මෙසේ පළකරමු.
අඟුරුකාරමුල්ල පංසල පාරේ පංසල ආසන්නයේ පාර අයිනේ සිය බඩ ඉරිඟු වෙළඳාම කරගෙන යන ඔහු නමින් ඩිලාන් මහේශ් ද සිල්වාය. බැරලයකට ලීකුඩු දමා එහි ලීයකින් සිදුරක් තනා අවුළුවා ගන්නා ගින්නේ ලොකු භාජනයකට දමා තම්බන බඩ ඉරිඟු උණු උණුවේ දුම් දමමින් කුඩා ලී මේසයක් මත තබා ඇත. මේ පෝෂ්‍යදායී ආහාරයකි. ඒනිසා කව්රුත් මේවා කෑමට වැඩි කැමැත්තක් දක්වති. ඔහු තම බිරිඳ සමඟ ලහි ලහියේ මේ සූදානම් වන්නේ දවසේ වෙළඳාම සඳහාය. තවමත් කිසිවෙකු පැමිණ නොසිටි හෙයින් මා ඔවුන් අතරට පැමිණියේ මේ රස්සාව ගැන විස්තර ටිකක් අසා දැනගැනීමේ වුවමනාව මතය. ඉරිඟු වෙළඳාම පිළිබඳ තම කථාව ඔහු වචනයට නැගුවේ මෙසේය.
මගෙ නම ඩිලාන් . මගෙ වයස අවුරුදු 38ක්. දැනට වසර 7ක් තිස්සේ මේ ස්ථානයේ ඉරිඟු තම්බල විකුණනවා. මේ රස්සාවෙන් තමයි මගෙ පවුල නඩත්තු කළේ. දරුවො 4දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් තවම ඉස්කෝලෙ යනවා. 9,5 වසරවල ඉන්නෙ. අනික් දෙන්න ඉස්කෝලෙ ගිහින් නතරවෙල ඉන්නෙ. 4දෙනාම පිරිමි දරුවො. අපේ තාත්ත රූපවංශ ද සිල්වා. එයා සුරතල් සත්තුන්ට සාත්තු කරන රස්සාව කළේ. ගෙයක් ගානෙ ගිහිල්ල බල්ලන්, පූසන් වගේ සත්තුන්ව නාවල , කවලපොවල සාත්තු කරල සල්ලි හොයාගෙන තමයි එයා අපේ පවුල නඩත්තු කළේ. දැන් අම්මත් ගෙදරකට ගිහිල්ල ඒ රස්සාවම කරනව. අම්මත් මාසෙකට රු. 1500 ක් විතර හොයාගන්නව.
මේ රස්සාවට කලින් මොනවද කළේ?
මම ඉස්කෝලෙ ගියෙ මුරුතෑන විද්‍යාලෙට. 8 පන්තියට විතරයි මට යන්න පුළුවන්වුනේ. ආර්ථික ප්‍රශ්ණ නිසා නතරවුනා. ඊට පස්සෙ ගඩොල් කැපීම, ලොරිවල යෑම, වෙනත් කුළීවැඩ කරමින් ඉන්න අතරතුර තමයි මේ රස්සාවට යොමුවුනේ. යාළුවෙක් මට මගපෙන්නුව මේ වගේ දෙයක් කළොත් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් කියල. බඩ ඉරිඟු අපිවගේ විකුණන අයට බෙදාහරින වැඩේ කරන්නෙ ඒ යාළුව.
දැන් වෙළඳාම මොනවගේ මට්ටමකද තියෙන්නෙ?
ලීකුඩු ගන්න සල්ලි වියදම් වෙන්නෙ නෑ. සතියකට ඉරිඟු කරල් 600ක් විතර ගන්නවා. අපි එක කරලකට දෙන්නෙ රු. 16 යි. දවසකට කරල් 100ක් වගේ විකිණෙනවා. මේකට අමතරව තැඹිලිත් විකුණනවා. මගෙ බිරිඳත්, දරුවොත් මේ වැඩේට උදව් කරනවා. මේ නිසා කිසි ගැටළුවක් නැතිව රස්සාව කරගෙන යනවා. මොනරාගල පැත්තෙ අක්කර 300ක් 400ක් වගේ බිම්වල වගාකරන බඩඉරිඟු ගෙනැල්ල කලින් කිව්ව යාළුව බෙදාහරිනව, මම ගිහිල්ල ඉරිඟු ගන්නෙ එයාගෙන්. මීගමුවෙ ඉරිඟු විකුණන වෙළෙන්දො 4දෙනෙක් විතර ඉන්නවා. මේ වගේ තම්බල විකුණන්නෙ මමයි පිටිපන ඉන්න එක්කෙනයි.
මේ රස්සාවෙදි මතුවෙච්ච ප්‍රශ්ණ එහෙම තියෙනවද?
කිසිම ප්‍රශ්ණයක් මතුවුනේ නෑ. කව්රුත් මගෙත් එක්ක හොඳයි. වෙළඳාම අවසන් වුනාට පස්සෙ කිසිම අඩුවක් නොවන විදිහට මෙතන සුද්ධපවිත්‍ර කරනවා. ඒ නිසා මේකෙන් කාටවත් කරදරයක් නෑ. අනික කව්රුත් දන්නවා මම වැරැද්දක් නොකරන බව. මොකද මේක කරන්නෙ ජීවිතේ ගැටගහගන්නනෙ.
ඔබේ ජීවිතේ බලාපොරොත්තු සහ මේ රස්සාව ගැන මොකද කියන්නෙ?
මම හිටපු තත්වෙ හැටියට දැන් ගොඩක් හොඳයි. හුඟක් සතුටින් තමයි ජීවිතේ ගෙවන්නෙ. කලින් කරපු රස්සාවල් වලට වඩා මේක පහසු එකක්. කාටවත් කරදරයක් නොකර හොඳ දෙයක් කරන නිසා ඒක මම සතුටු වෙන්න තවත් හේතුවක්. බඩ ඉරිඟු කියන්නෙ පෝෂ්‍යදායී ආහාරයක්. මේව ලොකු කුඩා හැමෝටම ගුණදායකයි. ජීවිතේ ලොකු බලාපොරොත්තුවකට තියෙන්නෙ කවදහරි ඩිමෝ බට්ටෙක් වගේ වාහනයක් අරගෙන මේ වැඩේ මීට වඩා ටිකක් දියුණු කරගන්නයි.
ඩිලාන්ගේ කථාව තුළින් කියවෙන්නේ උත්සාහය මත ජීවිත අරගලය ජයගන්නා සැබෑ මිනිසෙකුගේ කථාවයි. ගඩොල් පෝරණු තුළ වෙහෙසී වැඩකළ ඔහුට මහන්සිවී වැඩ කිරිම අමුතු දෙයක් නොවීය. ජීවත්වීම උදෙසා සිහින මවමින් කාලය ගතකරන කම්මැළියන්ට ඔහු කදිම ආදර්ශයකි. අටේ පන්තියට පමණක් ගිය නමුත් හිතේ හයියෙන් සියළු දේ කලමණාකරණය කරගැනීමට ඔහු සමත්වී ඇත.
සේනා දලඹු වසංගතය නිසා මෙම සුළු වෙළඳාම ටික දිනකට නතර කරන ලෙස මීගමු නගර සභාව දැනුම්දෙන ලදී. මේ තත්වය මත ඔහු අද තම ජීවිත පැවැත්ම සඳහා කුමන පියවරක් ගෙන ඇත්දැයි අපි නොදනිමු. ඉරිඟු තම්බන බැරලය පමණක් පාර අයිනේ තවමත් ඇත. වෙනදා මෙන් සිනහවෙන් පිරුනු ඩිලාන්ගේ මුහුණ දකින්නට නැත. මෙම රස්සාව තුළින් ඔහු මැවූ සිහිනයට කුමක් සිදුවේදැයි අප නොදනිමු. නමුත් මෙවැනි දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත වල ඉරණම රැඳී ඇත්තේ දේශය පාලනය කරන අයගේ නිවැරදි කල්පනාව සහ මගපෙන්වීම මත බව පමණක් අප අවධාරණය කරන්නෙමු.