”බදු සහන ජනතාවට ලැබී නැහැ”: වහාම සොයා බලනු!- ජනපති නියෝගයක්

0
92
වත්මන් රජය බලයට පත්ව ඉතා කෙටි කළත් ඇතුළත බදු සහන රැසක් ලබාදුන්න ද එහි වාසිය තවමත් මහජනතාවට ලැබී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු එබව සඳහන් කළේ පුවත්පත් කතුවරුන්, විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ මාධ්‍යවේදීන් සමඟ ඊයේ (16) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

“බදු සහන නිසා බොහෝ සමාගම්වලට විශාල ලාභයක් හිමිව තිබෙනවා. එහෙත් ඒ සහන ජනතාව අතට පත්වී නැහැ. රජයදුන් සහන යටතේ යකඩ ඇණයේ පවා මිල අඩුවිය යුතුයි” ජනාධිපතිවරයා එහිදී පැවසිය.

බදුසහන ප්‍රතිලාභ ජනතාවට ලබා නොදෙන මහා පරිමාණ සමාගම් සහ සුළු පරිමාණ ව්‍යපාරිකයන් පිළිබඳ තොරතුරු රටට හෙළිකරන්නැයි ද ජනාධිපතිවරයා මාධ්‍යවේදින්ගෙන් ඉල්ලීමක් ද කළේය.

 

ජනපති, මාධ්‍යවලින් අපේක්ෂා කරන කාර්යය මෙන්න!

රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව පැවසු ජනාධිපතිවරයා, තමා විවේචන අපේක්ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බව කීය. මාධ්‍ය ද සෑමවිටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

වත්මන් රජය රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරමින් සිටිනබව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාව අතරට ආණ්ඩුවේ පණිවිඩ පමණක් රැගෙන යාම මඟින් රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වික වන අතර සමබර වාර්තාකරණය රාජ්‍ය මාධ්‍යයේ වගකීම යැයි ද හෙතෙම පැහැදිළි කළේය.

කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබදව  අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවය යහපත් රාජ්‍ය සේවයක් බිහිකිරීමට නම් ඒ පිළිබදව ජනතාව තුළ ඇති අසුබවාදී ආකල්ප ඉවත් කර සුබවාදී ආකල්පයක් ඇති කිරිමට මාධ්‍යයට කළ හැකි බලපැම ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
theleader.lk