බරපතල දේශපාලන පිපිරීමක් අතළඟ ! – හිටපු අගමැති

0
79

‘IMF නොයනවා නම් විකල්පය ඉදිරිපත් කරන්න’ – රනිල්

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.


නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බවත් රටේ ජනතාව බලවත් කෝපයෙන් පසුවන බවත් ඔහු පවසා සිටියි.

හිටපු අගමැතිවරයා එබව කියා සිටියේ, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.

ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්වයකට පත්ව තිබෙන බව පැවසු හිටපු අගමැතිවරයා, විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්, රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවින් අතරමන් වී ඇති බවත්, මේවාට විසඳුම් අවශ්‍ය බවත් කියා සිටියේය. කොවිඩ් වසංගතය පැවතියද 2020/ 2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මිට අමතරව රට තුල ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප්‍රශ්නයක් බවද පැවසු හිටපු අගමැතිවරයා, ලැබී තිබෙන ආරංචි මාර්ග වලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුල ආහාර හිගයක් ඇතිවන බවට අනතුරු අඟවා සිටියේය.

බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ප්‍රමාණයක් බව ඔහු පැවසිය.


ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන අර්බුදයක් !


මෙවැනි තත්වයක් ඇති වුවහොත් මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැනද සිතිය යුතු බව ඔහු පෙන්වා දුන් හිටපු අගමැතිවරයා, මේ තත්වය මත කෝපයට පත් ජනතාව අතර බරපතල පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් අවධාරණය කළේය.

ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු බව වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා මෙහිදී රජයට දැනුම් දී සිටියේය.

ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්වය නොවිසදෙන බව පැවසු හිටපු අගමැතිවරයා, නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යැයි ආණ්ඩුවට දැනුම් දෙන බව අවසන් වශයෙන් කියා සිටියේය.
theleader.lk