කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ. 2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් ප්රමුඛ සියලු ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. “මුස්ලිම් ආගමික අයිතියට ගරු කරනු, අපේ සිරුරු පුළුස්සන්න එපා – භුමදානය අපේ අයිතියකි, ලෝක සෞඛ්‍ය සංවිධානය බොරු කියනවාද? මළ සිරුරු මත ජාතිවාදයද?” ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ මන්නාරමේ පුරවැසි කමිටුව, සිවිල් සංවිධාන එකමුතුව හා හා කාන්තා සංවිධානවල එකතුවෙනි.
එම විරෝධතාවය සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති. මළ සිරුරුක් ආදාහනය කිරීම ඉස්ලාම් ආගමේ ප්‍රතිපත්තිවලට පටහැනි බව පෙන්වා දෙන උද්ඝෝෂකයන් එහිදී රජයට අවධාරණය කර ඇත්තේ කොරෝනාබාධිතව මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සා දැමීමට රජය කටයුතු කිරීම නිසා එම ජනතාව දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. ජනාධිපතිවරයා වෙත බාරදීම සදහා සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් නන්දනී ස්ටැන්ලී ද මෙල් වෙත භාරදීමටත් පෙළපාලියෙන් ගිය උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.