බස්නාහිර ඇඳිරිනීතිය ඉවත් කිරීමට යයි – ජනපති ගෙන් හමුදාපතිට නියෝගයක්!

0
43
ලබන 09 වන සඳුදායින් පසු බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට
වැඩි ඉඩකඩක් පවතින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
හමුදාපතිවරයා මේ බව සදහන් කළේ අද (05) උදෑසන ටී.වී. දෙරණ නාලිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.
ජනාධිපතිවරයා රට විවෘත කිරීම පිළිබදව ඉතා පැහැදිලිව උපදෙස් දුන් බව හමුදාපතිවරයා කියාසිටියේය.
එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා මෙලෙස පැවසීය.
”මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා.
ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා.
ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න.
ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා.
මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්.”
ජනපතිගේ ස්ථාවරය :
”මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න.”-ජනාධිපති
කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා පවසන්නේ, තීන්දු තීරණ ගැනීමේදී සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කරමින් නිවරැදි තීරණ ගත යුතුව ඇති බවය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය.
“කොවිඩ් රෝගීන් සමග ඝෘජුව සම්බන්ධතා පවත්වන සෞඛ්‍ය අංශ නිලධාරීන් කොවිඩ් රෝගයට ගොදුරු නොවන්නේ ඇයි. ඒ අය හරියට මාස්ක් එක දානවා. නිවරැදිව අත් හෝදනවා. නිවරැදි ක්‍රම අනුගමනය කරනවා. මේක තමයි අපි සමාජයට දෙන්න ඕනේ. මේවා කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව රට දුවන්න පුළුවන්. ජනතාව අවධානයෙන් ඉන්නවා නම් රටක් දුවන්න හැකියි.
මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න.” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.