බස්නාහිර – දකුණ ජනවාරි 12 විසුරුවයි….

0
176

බස්නාහිර හා දකුණ පළාත් සභා ලබන ජනවාරි මාසයේ 12 වැනි ඉරිදා විසුරුවා හැරීමට නියමිතය. මැතිවරණය පැවැත්වීමට යෝජනා වී තිබෙන්නේ ලබන මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මේ පළාත් සභා දෙක දෙසැම්බර් 23 දා විසුරුවා හැර මාර්තු 08 වැනිදා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව මීට කලින් තීරණය කර තිබිණ.

එහෙත්, මාර්තු 08 වැනිදා තලවිල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන නිසා, ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික බැතිමතුන් ලක්‍ෂ 4ක් පමණ දෙනා තලවිල මංගල්‍යයට යන බැවින්, එදින කතෝලික ජනතාවට ඡන්දය දීමේ අවස්ථාව අහිමිවන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ජනාධිපතිවරයාට පෙන්වා දීම සැලකිල්ලට ගෙන පළාත් සභා දෙක විසුරුවා හැරීම හා ඡන්දය පැවැත්වීමේ දිනය මෙසේ වෙනස් කර තිබෙන බව ආණ්ඩුව ප්‍රචාරය කරමින් සිටියි.

ඡන්දය කල්දම්මේ ජිනීවා නිසා :

කෙසේවුවද ආණ්ඩුවේ ඉතා විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් ‘ශ්‍රී ලංකා මිරර්’ වාර්තා වන්නේ, මාර්තු මාසයේදී ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරේ අවසන් දිනට පසුදා (මාර්තු 29) ඡන්දය යොදාගන්න ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබු බවයි.

ජිනීවා මානව හිමිකම් සැසිවාරය මාර්තු 03 ඇරඹෙන අතර එය අවසන් වන්නේ මාර්තු 28දාය.

මෙහිදී  ශ්‍රී ලංකා රජයට අවාසිදායක ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂාකරන එම ඇමතිවරු පිරිස, එවැනි තත්වයකදී පවා ජනතාව ඉන්නේ ආණ්ඩුව සමග බව රටට හා ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට සඳහා පසුදා ලබන ජයග්‍රහණය යොදාගත හැකි බව ජනාධිපතිවරයාට පැහැදිලිකර  දී ඇත.

දිස්‌ත්‍රික්‌ මැතිවරණ කොමසාරිස්‌වරුන් කොළඹට :

මේ අතර, මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් සියලුම දිස්‌ත්‍රික්‌ මැතිවරණ කොමසාරිස්‌වරුන් හෙට (26 දා) කොළඹට කැඳවා තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් කොමසාරිස්‌වරයා මෙහිදී පිරිස දැනුවත් කිරීමට නියමිතය.

www.srilankamirror.com