බස් වර්ජනය කරන අයගේ බලපත්‍ර අහෝසි!

0
34

 පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දඩය අවලංගු කරන්න එපා :

ශ්‍රී ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන්ට පැන වූ රුපියල් 25,000 දඩ මුදල අවලංගු නොකරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසන අමාත්‍යවරයා, මාර්ග නීති උල්ලංඝනය කරන රථවාහනවලට එවැනි දඩයක් නියම කරන මෙන් ආණ්ඩුවට මුලින්ම යෝජනා කළේ තමන් බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ 25,000කට ආසන්න පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් වසරක් ඇතුලත මරුමුවට පත්වන බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාව තරම් මාර්ග නීති උල්ලංඝනය කරන තවත් රටක් ලෝකයේ නොමැති බවයි.
ගල් මුල් ප්‍රහාර :

ඇතැම් පුද්ගලික බස් රථ සහ ත්‍රිරෝද රියදුරන්ගේ එක් දින වර්ජනය හේතුවෙන් රට පුරාම බස් මගීන් බරපතල දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින අතර රට පුරා විවිධ ස්ථානවලදී ධාවනයේ යෙදුනු ලංගම බස් රථවලට ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබේ.

මේ හේතුව නිසා ලංගම බස් සදහා පොලිස් ආරක්‍ෂාව ලබා දෙන ලෙස ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

පුද්ගලික බස් සංගම් කිහිපයක් එක්ව පවත්වන වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විටත් මගී ප්‍රවාහනය දැවැන්ත ලෙස බිද වැටී වී තිබේ.

(බීබීසී)