බාරගත් දරුවන්ගේ ඉරණම ගැන “ජනපතිට හමුදාවෙන් අහන්න බැරි ඇයි?

0
183

රී ලංකා යුද හමුදාව බාරයේ සිටියදී අතුරුදහන් වූ තම ආදරණීයයන් දහස් ගණනකගේ ඉරණම හෙළි කරගැනීමට ජනාධිපතිවරයා හමුවීම සඳහා පස් මාසයක් තුල තුන්වැනි වතාවටත් කොළඹ පැමිණ සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලද ඥාතීන් බලාපොරොත්තු කඩවී ආපසු උතුර බලා ගොස් තිබේ.

යුද්ධාවසාන සමයේ බාරවූ තම ඥාතීන් සම්බන්ධයෙන් යුද හමුදාවෙන් විමසා තොරතුරු ලබා ගැනීමට බැරි ඇයිදැයි තමන් ජනාධිපතිවරයාගෙන් විමසූ බව ඥාතීහු පෙරළා යාමට මත්තෙන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියහ.

මව්වරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ බාරවූ සියලු දෙනාගේ විස්තර යුද හමුදාව විසින් ලියාපදිංචි කරගන්නා ලද බවයි.

“අපි ළමයි බාරදුන්නු 58 සේනාංකයේ ලොක්කා තාම ජීවතුන් අතර ඉන්නවා. එයාගෙන් අහන්නේ නැත්තේ ඇයි?” යනුවෙන් කන්දසාමි පූනම්මා ප්‍රශ්න කළාය.

අතදරුවන් පවා හමුදාව විසින් අල්ලා ගන්නා ලද බව කී ඇය යුද්ධ නොකළ ඔවුන් හෝ ආපසු බාරදෙන ලෙස හැඟීම්බරව ඉල්ලා සිටියාය.

යුද්ධයේ අවසන් දින කීපය තුළ බරපතල ලෙස මානව හිමිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටින 58 සේනාංකයේ එකල අණදෙන නිලධාරියා වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  අධිකරණයට කැඳවා භාරවුවන් පිලිබඳ විමසීමට රජය විරුද්ධ විය.

අධිකරණය නොමග යැවීම

තමන් බාරගත් දෙමළ අයගේ විස්තර සහිත ලේඛනයක් වෙනුවට පුනරුත්ථාපනය කොට නිදහස් කළවුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමෙන් අධිකරණය නොමග යැවූ බවට දෙමළ අම්මාවරු යුද හමුදාවට චෝදනා කළහ.

ඒ ආකාරයෙන්ම තමන්ගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් තමන් රවටන බව ඒ හැම දෙනාම පාහේ කියා සිටියේ මහත් ශෝකයෙන් හා කෝපයෙනි.

ජනාධිපතිවරයා විසින් ඥාතීන්ගෙන් ඉල්ලා තිබුනේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය (OMP) සහ අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාව මගින් නැවත විමර්ශනය කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු දෙසැම්බර් 15 දාට පෙර ලබාදෙන මෙනි.

ජනාධිපතිවරයාගේ සැලසුම අභියෝගයට ලක් කරමින් ඥාතීන් පවසා ඇත්තේ OMP විමර්ශනයකට තොරතුරු ලබා දීමට පෙර අට අවුරුද්දකට ඉහතදී  බාර දුන් දරුමල්ලන් ට සිදුවූයේ කුමක් දැයි හෙළි කිරීම රජයේ වගකීම බවයි.

මීට පෙර ජනාධිපතිවරයා ඥාතීන් හමුවේ කොළඹදී සහතික කර සිටියේ අතුරුදහන් වුවන්ට සිදුවූ දෑ හෙළි කිරීමට කඩිනම් පියවර ගන්නා බවයි.

යුද්ධයේ අවසාන අදියරේදී යුද හමුදාවට භාරවුවන්ගේ ලැයිස්තුවක් ලබා දීමට ජාතික ආරක්ෂක මණ්ඩලයට උපදෙස් දෙන බව ඔහු පසුගිය ජූනි මාසයේදී පොරොන්දු වී තිබුනි.

දරුවන් මැරුවේ කවුද?

මෙවරද ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටු නොවීම ගැන ඥාතීන් කතා කළේ මහත් කලකිරීමෙනි.

“අපේ දරුවන් නැතිනම් මරලා වෙන්න ඕනේ. එහෙමනම්, ඒ හමුදා නිලධාරීන්ගෙන් අහලා කවුද කළේ කියලා හොයලා දෙන්න,” යි ලීලාදේවී ආනන්දරාජා මාතාව හැඟුම්බරව කියා සිටියාය.

කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ඉල්ලා ඇති OMP කාර්යාලයට පුද්ගලිකව  කරුනු දක්වනු වෙනුවට රජය එක තොරතුරු ගොනුවක් ඉදිරිපත් කරන්නේ නම් වැඩකටයුතු ඉක්මන් වන බව ඇය අවධාරණය කරයි.

“එහෙම නැතිව 16,000 ක නඩු වෙන වෙනම අහන්න ගියොත් අපිත් මැරිලා යාවි,” යි ලීලාදේවී කියා සිටියාය.

තම නෑසියන් සොයාදෙන මෙන් ඉල්ලා සත්‍යග්‍රහ දියත් කළ අම්මාවරුන් අතරින් හත් දෙනකු වත් මේ වනවිට මිය ගොසිනි.

දෙමළ ජාතික සන්ධානය

අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම ගැන ඥාතීන්ගේ කෝපය රජය වෙත මෙන්ම දෙමළ ජාතික සන්ධානය වෙතද එල්ල වී තිබුනි.

තමන්ගේ අනවරත අරගලය සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඥාතීන් මුණගැසීමට බලකෙරුනා විනා ජනාධිපතිවරයාට යුක්තිය ඉටු කිරීමේ කිසිම උවමනාවක් නැති බව ඔවුන්ගේ අදහස විය.

“ජනාධිපතිතුමාට ඕනේ කරන්නේ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යමින්, හමුදාවත් ගලවාගෙන, මහජාතිය රැකගන්නයි,”   යනුවෙන් තංගරාජා චිත්‍රදේවී මාතාව පැවසුවාය.

OMP කාර්යාලයට දෙනු පිණිස දෙසැම්බර් 15ට පෙර සපයන ලෙස ඉල්ලා සිටි තොරතුරු  විවිධාකාර කොමිසම් වලට කිහිප වර ලබා දීත් කිසිදු යුක්තියක් ඉටු නොවූ බව පෙන්වා දුන් මව්වරුන් පැවසුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකර සාධාරණයක් සිදු නොවනු ඇති බවයි.

“අපේ අරගලය අපිම කරලා විසඳුමක් හොයාගන්න වෙන්නෙත් අපිටමයි,” තංගරාජා චිත්‍රදේවී මාතාව අධිෂ්ඨාන සහගතව කියා සිටියාය.

(ජනාධිපතිවරයා සහ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අතර නොවැම්බර් 16 හමුව පටිගත කොට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය වෙත සපයා ඇති වීඩියෝවේ හඬ පටයක් නොමැත)