බුලත්ගේ ගවේෂණාත්මක නිර්මාණ එකතුව තිමිරය විනිවිද නමින් එලි දකී.

0
213

FB_IMG_1550979553809

පවතින  සමාජය  විග්‍රහ  කරමින්   ලියනලද  මෙම  ග්‍රන්තයේ  කතෘ  වින්සන්ට්  බුලත්සිංහල  මහතාය.සමාජ  මෙහෙවර  ජීවිතයේ  ප්‍රධාන අංගය  ලෙස  සලකා  කටයුතු  කරන  ඔහු  නීතීඥයෙකු  වන  නමුත්  එය  ප්‍රධාන කොට  නොසළකා  කටයුතු  කරන  නීතීඥයෙකි. එනම්  ඔහු  වෘතියක්  වශයෙන්  එහි නියැලී  කටයුතු  නොකළ  අයෙකි.   එසේම  දක්ෂ  ලේකඛයෙකි,  කවියෙකි,  ගීත  රචකයෙකි.  ඔහු තම නිර්මාණ  තුළින් මේ  පවතින  සමාජය  විනිවිද  දකින්නට  උත්සාහ  කරයි.  ඒ  අනුව   තම  පෑන  හසුරුවා  විවිධ  පැතිකඩයන්  ඔස්සේ  ලේඛණයේ  යෙදෙයි. එසේ  නිර්මාණය  කරන ලද  ලිපි  රාශියකි.  මෙම ලිපි  අතර ඔහු  කලක්  තිස්සේ  සාධාරණය  නම්වූ  සඟරාවට  ලියනලද  ලිපි  පොතක්  ලෙස  සකසන ලදී.  එවැනි  පොතක් සකසන   ලෙස  මිතුරෙකු  නිතර   කළ  ඉල්ලීමට පිටුපෑමට  ඔහුට  නොහැකිවිය. ඒ  මිතුරා  නම්  ප්‍රෑන්ක්ලින්  සනත්  ප්‍රනාන්දු  මහතාය.  එසේම  මේ  සඳහා  දායකත්වය දුන්  අනෙක්  මිතුරා  වූයේ අරුණශාන්ත නෝනිස්  මහතාය. මේ අනුව   සමාජ  හා  සාමයික  කේන්ද්‍රය  සහ Born to  win Relationsship  පුහුණු  කිරීමේ  ආයතනයත්  ජනාවබෝධ  කේන්ද්‍රයත්  මැදිහත්වීමෙන්  පොත  එලිදැක්වීම  සඳහාවූ   කටයුතු  සම්පාදනය කර  ඇත.  මීට  අමතරව  තවත්  අය මේ   සඳහා  දායකත්වය  දුන්බව  බුලත්සිංහල  මහතා  තමන්ගේ  පොතෙහි  සඳහන්  කරයි.

සමාජ  හා  සාමයික  කේන්ද්‍රය මෙම  පොත  එලිදැක්වීමේ  උත්සවය   සඳහා ස්ථානය ලෙස  තෝරාගෙන  තිබින. ගරු සරත් ඉද්දමල්ගොඩ  පියතුමා,   ගරු  ක්‍රිස්පීන්  ලියෝ  පියතුමා,  ගරු ඇලෝයි  පීරිස්  පියතුමා  ,  ගරු  රොහාන්  සිල්වා  පියතුමා ,  ගරු  ෂෙරාඩ්  පියතුමා , නීතීඥ ගරු අශෝක්  ස්ටීවන්  පියතුමා,  නීතීඥ  නොයෙල්  ඩයස්  පියතුමා, ගරු  සත්‍යවේල් පියතුමා, ගරු ලියෝ පෙරේරා  පියතුමා  වැනි  පියතුමන්ලා  කිහිපදෙනෙක්ද , නීතිඥ  එස් .ජී .පුංචිහේවා, මහාචාර්්‍ය  සුමනසිරි ලියනගේ  වැනි  විද්වතුන්  කිහිපදෙනෙක්ද මෙම  කටයුත්තට  සහභාගී  විය.  ප්‍රධාන  දේශනය  පැවැත්වීමේ  කාර්්‍ය  පැවරී  තිබුනේ  මාධ්‍යෙවේදී   දොඩාවත්ත  මහතාටය.  ඔහු  මෙම  ග්‍රන්තය  පුරා අන්තර්ගතවන  ලිපි  9යේ  කරුණු  එකින් එක  මතුකරමින්  සමස්ත  ග්‍රන්තයේ   හුයක්  මෙන්  දිවෙන  හරය මතුකර  ගැනීමට  උත්සාහ  කරනලදී.  මේ අනුව  පවතින  තත්වය  තුළ  පුද්ගලයා  හට  සතුට  ලඟා කරගත  නොහැකි බවත්,  ඒ නිසා  සැබෑ  වෙනසක්  ඇතිකර ගතයුතු  බවත්, එම  වෙනස  ඇතිකර  ගැනීම  උදෙසා පළමුව  තමන්තුළ  වෙනසක්  ඇතිකර ගතයුතු  බවත්  පොතේ  කියවෙන  කාරණය  නැවත  අවධාරණය  කරමින්  බුලත්ගේ  ජීවන  භාවිතාව  සහ  ලිපියේ  ප්‍රකාශනය  අතර  පරස්පරයක්  නැතිබවත්  පැහැදිළි  කරන ලදී.

සතුට  සහ  දුක  පිළිබඳව  කතුවරයාගේ  අදහස  මෙම  ලිපිපෙළේ  එක  තැනක  මෙසේ  සඳහන්  වෙයි. “ දිවියේ  අප  සැමගේ  පැවැත්ම  සතුටයි. එහෙත්  සතුටෙන්  ජීවත්වන  අය  අපට  හමුවේද?   ජිවිතය  සරල  වන  තරමට  අපේක්ෂාවන්  අඩුවන  තරමට  දුකද  අඩුබව  අපි  ප්‍රත්‍යක්ෂයෙන්  දනිමු.  ලාභය  අරමුණු  කරගත්  ධනවාදී  සමාජ  ක්‍රමය  පරිභෝජනවාදය  දිරිගන්වයි.  එම  පරිභෝජන වාදයේ  ප්‍රතිඵල  ලෙස  ආශාවන්  වර්ධනය  කෙරේ. ආශාවන්  සපුරාගැනීමට  යාමේදී  අප  වේගයෙන්  දිවයන  දුම්රියක්  පසුපස  හතිදමමින්  හඹා  යන්නන්  බවට  පත්ව  ඇත. එවිට  අපතුළ  රැඳෙනුයේ  සතුට  නොව  දුකය”     ඒනිසා  ජීවිතයේ  සතුට  ලබාගත හැක්කේ    අපව  වෙනස්කර  ගැනීමෙන්  බව  කතුවරයා  දක්වයි.

අදහස්  දැක්වූ  දේශකයින්  අතර  ඇලෝයි පීරිස්  පියතුමා  අධ්‍යාපනය  යන  වචනය  තමන්  බැහැර  කළ  බවත්,  ඒ වෙනුවට  තෝරා  ගත්තේ  ශික්ෂණය  නම්  වචනය  බවත් ,  අධ්‍යාපනය  තුළ  පවතින  විෂම   ස්වභාවය   ශික්ෂණය  නම්  වචනය තුළ  නැතිබව  පෙන්වාදුන්  අතර .එකී  වචනය  මත  තම  ජීවිතය  ගොඩ  නගා ගැනීමට  සමත්වීමේ  භාග්‍ය  බුලත්ට  ලැබී  ඇති බවත්  පෙන්වා  දෙන  ලදී. එමෙන්ම   බුලත්ගේ  ලිපියේ  සඳහන්වන  සතුට  ගැන  අදහස්  දැක්වූ  පියතුමා  සතුට  සහ  තෘප්තිය  යන  වචන තුළින්  අදහස්  දෙකක්  මතුවන බව  පෙන්වා  දෙන ලදී. තෘප්තිය  යන්න  තමන්ගේ ආශාවන්  සඳහා යොමුවීම මත සැකසෙන  එකක්  වන  අතර  සතුට  යනු   අනුන්  වෙනුවෙන්  වැඩකිරීම  මත  සැකසෙන  වචනයක්  බව  පැහැදිළි  කරන  ලදී.

වෙනස්   සහ නව  අදහස්  ඉදිරිපත්  කරන  විද්වතෙකු වන  එස්.  ජී  පුංචිහේවා  මහතා  බුලත්ගේ  ලිපි  මාලාවේ  සම්බන්ධතාවය  මත  හිඳිමින්    දක්වන  ලද  අදහස්  ඉතා  වැදගත් විය.   එම  අදහස්  අනුව  වැඩකරන  මිනිසාට  සියල්ල  අහිමිවී   ඔහු  අනෙකෙකු  වී  ඇතැයි  පැහැදිළි  කරයි.  ගොවියා  වැඩකළ  නමුත්  ණය  කාරයා, කඩහිමියා,  ඉඩම් හිමියා  ආදී  වශයෙන්වූ   සියළු  දෙනා  ඔහු  සතු දේ  පැහැර ගන්නා  බැවින්  ඔහු  අන්‍යෙකු  බවට  පත්වන  බවයි.  අධ්‍යාපනය  තුළ   මිනිසා  අන්‍යෙයෙකු  බවට  පත්වේ. ඡන්දය  දීම  තුළත්  සිදුවන්නේද  එයමය.‍ එසේම   සාහිත්‍ය  ,  කලාව,  සංගීතය  මේ  ආදී  සෑම  අංශයකින්ම  සිදුවන්නේ   මිනිසා  අනේ‍යයෙකු  වීම  පමණක්  බව  පෙන්වා  දෙන  ලදී.  ඒ නිසා  අන්‍යෙයෙකු  නොවී  තිමිර පට  ඉරාදමා දැඩි  අධිෂ්ඨාන  ශක්තියකින්  යුතුව  මේ  ගමන  යායුතු බව  ඔහු  පෙන්වා  දෙයි.  නමුත්  මේ  ගමන  දුෂ්කරය.  ඒ  ගමනතුළ  පෙළපාලි,  උද්ගෝෂණ  ආදිය  හරහා  යායුතුව  ඇත. අවසානයේ   ඔහු  පැහැදිළි  කළේ   බුලත්  තෝරා  ගත්තේ  එකී  දුෂ්කර  මාවත  බවය.

වැඩසටහන  අතරතුර  බුලත්සිංහල  මහතා  විසින්  රචනා කරනලද  ගීත  කිහිපයක්  ගායනා  කරන ලද  අතර  කුවින්ටස්  කොළඹගේ  මහතා  විසින්  නිර්මාණය  කළ “ බුලත් නම්වූ  ඔහු”  යන  කෙටි  වාර්ථාමය  වීඩියෝ  පටය නැරඹීමට  හැකිවිය.  අවසානයේදී  කැමති  අයට අදහස්  දැක්වීම සඳහා ඉඩකඩක්  විවර  වූයෙන් විවිධ  අයගේ  ප්‍රතිචාරයන්  ඒ තුළ ප්‍රකාශ විය. එකී  ප්‍රතිචාරයන්  තුළින්ද   ප්‍රකාශයට  පත්වූයේ  මෙම පුද්ගල  චරිතය  සමාජයට  බද්ධවී  සිටි  ආකාරය  පිළිබඳවයි.

සමාජයක්  වෙනස් කිරීම  ඉතා  අපහසුය. එය  කෙතරම්  අපහසුදැයි  බුලත්ගේ  මෙම  පොතේ  හැම  ලිපියකම  අන්තර්ගත  කරුණු  වලින්  මනාව  පැහැදිළිවේ. අපහසු  නමුත් එය  අත්හැර  පසෙකටවී  බලාසිටිය  නොහැක.  ඒ සඳහා  භාවිතාවේ  යෙදීමත්,  එම  භාවිතාව  උදෙසා ජනතාවට  කරුණු  වටහා දීම  වගකීමක්  බවත්,  මේ  මගින්  අවධාරණය  කරයි. මෙහිදී  තිමිර  විනිවිද   කියවා  එහි  දැක්වෙන කරුණු   පිළිබඳව  යම්  විවේචනයක්  ඇත්නම්  ඉදිරිපත්  කරන  ලෙස  බුලත්  කරන  ඉල්ලීම  පිළිගෙන  ඔහුට  ඉදිරි  නිර්මාණ  කටයුතු  සඳහා  සහාය  වනමෙන්   පොත  පරිහරණය  කරන සියළුදෙනාගෙන්ම  අපි ඉල්ලා  සිටිමු.
සටහන  – සැම්සන් ඥාානසිරි