බෙහෙත් බෙදාහැරීමේ ප්‍රමාදය ගැන සායනික රෝගීන්ගෙන් මීගමු රෝහලට චෝදනා…

0
75

කොරෝනා වසංගත තත්වය මත මෙතෙක් රෝහල්වල ප්‍රතිකාර ලැබූ රෝගීන්ට තම නිවෙස් වලටම බෙහෙත් බෙදා හැරීමට ගත් තීරණය යහපත් සෞඛ්‍ය තත්වයක් සඳහා ගත් යහපත් තීරණයකි. නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ඉතා දුර්වල මට්ටමක පවතින බවට විවිධ රෝගී තත්වයන්ට භාජනය වී සිටින මීගමු රෝහලේ සායනික රෝගීන්ගෙන් අපට දැනගන්නට ලැබී ඇත. සමහර රෝගීන් පවසන ආකාරයට මාස ගනනක් වන ප්‍රමාදය හේතුවෙන්
තමන්ට බාහිරව බෙහෙත් ගැනීම සඳහා විශාල මුදල් වියදම් වන බවයි. එක් හෘද රෝගියෙක් ප්‍රකාශ කළේ ඔක්තෝම්බර් මස තමන් බෙහෙත් සඳහා රෝහලේ ලියාපදිංචිවූ බවත් , පස් වතාවක් පමණ ගොස් විමසා බලා අදාල නිලධාරීන්ට නැවත සිහිකැඳවීමක් කළ බවත්, නමුත් තවමත් ප්‍රතිචාරයක් නැති බවත්ය. මේ නිසා බාහිරව බෙහෙත් ලබාගැනීම සඳහා තමන්ට රු. 4000/ කට අධික මුදලක් වැයවූ බවත් ඔහු පවසයි.
වසංගතයට ඇති බිය විසින් මෙම රෝගීන්ට රෝහල තුළට පැමිණ මේ සඳහා ලියාපදිංචි වීමට නොහැක. මේ සඳහා මෙන්ඩිස් මාවත පැත්තේ අත්තික්කා ගසක් යට තිබෙන තාප්පය උඩ මෙම කාර්‍ය සිදුකිරීමට කාර්‍යමණ්ඩලයට සිදුවී ඇත. රෝහල් කාර්‍ය මණ්ඩලයද මෙහිදී යම් කැපකිරීමක් කරන බව අපි දනිමු. නමුත් රෝගීන් පිළිබඳව වගකීමකින් කටයුතු කිරීමද මෙහිදී ප්‍රධාන වන බව කිවයුතුය.
මේ සඳහා තමන්ට අදාල කොටසේ ප්‍රශ්ණ මතුකරමින් විවිධ තර්කද ඉදිරිපත් කළ හැක. නමුත් අප කටයුතු කරන්නේ විවිධ ආකාරයේ රෝගී තත්වයන් නිසා පීඩාවට පත්ව සිටින රෝගීන් සමඟ බවද අමතක නොකළ යුතුය. එබැවින් අප්‍රමාදව මෙම රෝගීන්ට අදාල බෙහෙත් ටික ලබාදීම සඳහා කටයුතු කරන ලෙස අවධාරණය කර සිටිමු.

සැම්සන් ඥානසිරි