බෝම්බ හොයන මුවාවෙන් කැලෑ එලි පෙහෙලි කරන කැලෑ පාලුවන් කව්ද?

0
193

DSC_0579

මීගමුව,  කටුවපිටිය  දේවස්ථානයට  යන  පාර  අසල බෙලිඅත්ත  ඇල   නමින්  හඳුන්වන ඇල  අසල    පිහිටා  ඇති  අක්කර  දෙකහමාරක  පමණ   ප්‍රදේශයක  පැතිරී  යන  කැලෑවක්  මේවනවිට   එලි පෙහෙළි  කර  ගිනි තබා  තිබෙනු  දුටු  හෙයින්  අප  ඒ ගැන  කටුවපිටිය  ප්‍රදේශවාසියෙකුගෙන්  විමසා  සිටියේ  ඒ  තුළ  සිදුවන  පරිසර  හානිය  පිළිබඳවද  සළකාගෙනය. මේ  ගැන  අපසමඟ  කථාකළ  අයෙකු   ප්‍රකාශ  කළේ  මේ  ගැන  වැඩි  විස්තරයක්  නොදන්නා  බවත්,  ඉඩම  ගොඩ කරන්නට  යන්නේ  නම්  අපි  එයට  කොහෙත්ම  ඉඩ  නොතබන  බවත්ය. කෙසේ  නමුත්  කැලෑව  සුද්ධ  කිරීම  සඳහා  ඇල  අයිනේ  ජීවත්වන  අයගේ  කැමැත්ත  දෙන  බවට  සඳහන්  කෙරෙන  ලිපියකට  අත්සන්ද  ලබාගෙන  ඇත.  ඔවුන්  පවසන්නේ  බොරුවට  බෝම්බ  ඇතැයි  කියන සැකයක්  මවා පෙන්වා  මෙම  සුද්ධ  කිරීමට  ඉඩකඩ  හදා ගත් බවයි.  මේ  වනවිට  කටුවපිටිය  දේවස්ථානයේ  පිපිරීමෙන්  සුන්බුන්වූ  කොටස්  මෙම  ඉඩමට  දමා  සකසන  අයුරුත්,  දෙතුන්දෙනෙකු  ඉඩමේ  වැඩකරමින්  සිටින අයුරුත්  අප  දැක්කෙමු.   එසේම  තොරතුරු  සොයා  බැලීමේ දී  පැහැදිළිවූයේ  මෙකී  ඉඩම  සඳහා දැනට  අයිතිකරු  ලෙස  පෙනී  සිටින්නේ   මීගමුවේ   ප්‍රබල දේශපාලකයෙකුගේ   මිතුරෙකු  වන බවය.

ප්‍රදේශයේ වගකිවයුත්තන්ගෙන්   මේ  ගැන  විමසීමේදී  දැනගන්නට  ලැබුණේ  කටුවපිටිය  දේවස්ථානයේ  ඇතිවූ  සිදුවීමෙන්  පසුව  ප්‍රදේශයේ  ආරක්ෂාව  පතා  මෙම  ඉඩම  කැලෑව  කපා  සුද්ධ  කර  ඇති  බවය.

මෙම  බෙලිඅත්ත ඇල  වර්ෂාදිනවලදී  උතුරා  යාම  නිසා  කටුවපිටිය  පාර  වතුරෙන්  යටවන නමුත්    මෙම  ඉඩම  විසින්  විශාල  ජල කඳක්  දරාගෙන  සිටින  නිසා  එම  තත්වය  යම්තරමකට  හෝ  සමහන් වූ   බවත්,  ඒ  අනුව   ගොඩ  කළහොත්  කටුවපිටිය  පමණක්  නොව සාමාන්‍ය  වර්ෂාවකදී  පවා වතුරෙන්  යටවන   දළුපත  ඇති  රබර්වත්ත,  තැබෑරුම්  වත්ත  ,ගෝමස් වත්ත  වැනි  ප්‍රදේශ  ගනනාවකට  ප්‍රබල  තර්ජනයක්  වන  බවත්  ප්‍රදේශවාසීන්  පවසයි.

කැලෑව  සුද්ධ කිරීමේදී  එක්  අයෙකු   මෙම  පරිසරයේ  සිටි  විවිධ  වර්ගයේ  සතුන්  එනම්  ඉත්තෑවන්,  මොනරුන්, විවිධ  වර්ගයේ  කුරුල්ලන්  , කබරගොයින්,  ඉබ්බන්,  හාවුන් ,  වැනි  සතුන්ට  සිදුවන්නේ  කුමක්දැයි  විමසූ  විට  උන්  අල්ලපු  වත්තට  යාවි  යැයි  ඔවුන්  පිළිතුරු  දී  ඇත.  හානියක්  නොවන  අයුරින්  තාප්ප  බැඳ  සකසන  බවටද  යම්  අදහස්  ඉදිරිපත්  කර  ඇත. මෙම  සුද්ධ කිරීම  සහ  ‍ඉඩම  ගැන  ක්‍රියාත්මක  වන  ආකාරය  දෙස  බැලූවිට   මෙය   කල දුටු කළ  වල  ඉහගැනීමේ  වැඩපිළිවෙලක්දෝහෝයි    සැකයක්  මතුවන  බව  ප්‍රදේශවාසීන්  පවසයි.