මංගල 4 වෙනි තට්ටුවට..?

0
61

සියලු ජාතිවාදී ගැ‍ටුම් පිටුපස සිටින්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහු යටතේ සිටින බුද්ධි අංශ ප්‍රධානින් බවට එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා  ඊයේ (24) කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සුදානම් වන බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව සමරවීර මහතා රහස් පොලිසියේ හතර වන තට්ටුවට කැඳවීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පාර්ලිමේන්තුවේදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු හෙළි කිරීමට සැලසුමක් පවතින බවට යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ඊයේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර, පැය 6ක කාලයක් ගතවීමටත් මත්තෙන්, එ.ජා.ප. මන්ත්‍රී මංගල සමරවීර මහතා මාධ්‍ය සාකච්ජාවක් කැඳවා රාජ්‍ය බුද්ධි සේවාවට සම්බන්ධ ප්‍රධානීන් තිදෙනාගේ නම් හෙළිදරව් කරමින් ඔවුන් පසුගියදා සිදු වූ සිදුවීම් පිටුපස සිටින බවට දැඩි චෝදනාවක් එල්ල කළේය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා, මේ ජාතිවාදී සංවිධාන මෙහෙය වන්නේ ආරක්ෂ අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රවිතාන, මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සැලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ඨ යන තිදෙනා විසින් බව අවධාරණය කර සිටියේය.

මොවුන් තිදෙනා ඉදිරියේ පොලිස්පතිවරයා අසරණවී ඇති බවද ඔහු සදහන් කළේය.

15 වන දින අලුත්ගම ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ පොලීසිය නොවන බවත්, පොලීසිය මේ වන විට අක්‍රීය වී ඇති බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සදහන් කළ සමරවීර මන්ත්‍රීවරයා, මේ සදහා මූලිකව වගකිව යුත්තේ ආරක්ෂ අමාත්‍යංශය බව පවසා සිටියේ ය.

රාජ්‍ය බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව රටට හෙළි නොකළ යුතු වුවත්, රටේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් බුද්ධි අංශය විසින් නිවැරදි ලෙස කටයුතු නොකර, බොදුබල සේනාවට හා සිංහල රාවයට සහයෝගය දක්වමින් රට තුළ ජාතිවාදී ගිනිදැල් දැල්වීමට කටයුතු කරන සියලුම බුද්ධි අංශ නිලධාරීන් රටට හෙළිකිරීම මහජන නියෝජිතයෙකු වශයෙන් තමාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අලුත්ගමදී සිදුවූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනෙකු වහාම මුදාහැරීමට බලපෑම් කර තිබෙන්නේද මෙම නිලධාරීන් බවයි.

Srilankamirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here