මගේ අකුරු හොරකම් කළැයි පැමිණිලි කළාම පොලීසිය එදා අන්දමන්ද වුණා

0
583

අකුරුවලින් විප්ලවයක් කළ පුෂ්පානන්ද ඒකනායක, පරිගණක අකුරු විකුණන ව්‍යාපාරිකයකු වූ පළමුවැන්නා ද වෙයි.උපන් හැකියාවට වෙනසක් එක් කරමින් ඊට මාකට් එකක් හැදූ ඔහු, ලේඛන සාහිත්‍යයේදී ද නැතිවම බැරි චරිතයක් බවට පත්වී හමාරය.සිංහල අකුරේ ලාලිත්‍යය මතු කරන අතර ම ව්‍යාපාරික ලෝකයේ ඔහු ඔසවා තැබුයේ ද මේ අකුරු විප්ලවයයි.

‘The Font Master’ සමාගමේ නිර්මාතෘ… සභාපති, ඔබ ගැන දැන ගන්න කැමැතියි…

මං සරල මනුෂ්‍යයෙක්. නිර්මාණාත්මක කාර්යයක් කරන ව්‍යාපාරිකයෙක්.

• ඔබ විකුණන්නෙ සිංහල අකුරු ටික….

ඔව්. මං විසින් ම නිර්මාණය කරපු සිංහල පරිගණක අකුරු මෝස්තර 37ක් මේ වෙන‍කොට මං විකුණලා තිබෙනවා. තවත් අලුත් අකුරු නිර්මාණය කරමින් ඉන්නවා.

• මොනවද ඔය කියන අකුරු මෝස්තර….

අභය, මලිති, ගංගානි, රශ්මි, ඉමානි, ගැමුණු, අර්ජුන්, බාසුරු, බින්දුමතී, දෙරණ, අග්නි, දවස, කේතුමතී, ගගන්, අමාවතුර… ඔය වගේ අකුරු හැඩ 37ක්.

• මොනවද මේ නම්…. කොහොමද අකුරකට නමක් තියන්නේ….

මං පරිගණක අකුරු නිර්මාණය කරන්න කලින් යුගයේත් ගැහැනු නම් තිබුණු අකුරු, මුද්‍රණ ක්ෂේත්‍රයේ භාවිත වුණා. මගේ පළමු අකුරු මෝස්තරය ‘මලිති’. ඒ මගේ දූගේ නම. ‘ඉමානි’ කියන්නේ දූගේ ඒ කාලෙ යාළුවා. ඒ හැරෙන්න අනෙක් නම් තැබුවේ, මෝස්තරයේ හැඩය සහ අකුරේ ගාම්භීරත්වය ගැන හිතලා.

• කොහොමද ඔබට මේ තරම් අකුරුත් එක්ක බැඳීමක් ඇතිවුණේ….

ඒක මගේ ජානවලින් ම එන දෙයක්. මගේ තාත්තගෙ අකුරු ලස්සනයි. අම්මගෙ අකුරුත් රවුම්, හුඟක් ලස්සනයි. තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්.

• අකුරක් හදන්න ඔබට කොයිතරම් වෙලාවක් යනවද….

මගේ පළමු අකුරු මෝස්තර ටික හදන්න අවුරුදු හතරක් ගියා. අදත් මං දවසේ වැඩි වෙලාවක් මේසෙ උඩ තියෙන කොළේක අකුරු හැඩ කුරුටු ගානවා. හිතෙන හිතෙන හැඩ අඳිනවා. ඒ මෝස්තර දිහා හොඳට බලපුවම මට තේරෙනවා, මේක Font එකක් විදියට Develop කරන්න පුළුවන් කියලා. මුළු හෝඩියම මේ මෝස්තරයෙන් අඳින්න පුළුවන් කියලා. ඊට පස්සෙයි, මං ඒ මෝස්තරය පරිගණකයට දාලා Scan කරලා වැඩ පටන්ගන්නේ.

• පත්තරයක් අතට ගත්තත් ඔබේ හිත යන්නෙ ඇහැ යන්නෙ අකුරුවල හැඩවලටද…

නැහැ. කියන්න හදන පණිවුඩයට, යොදලා තියෙන අකුරු ගැළපෙනවද කියන කාරණයට. සමහර මරණ දැන්වීම්වලට යොදන්නෙ ‘අර්ජුන්’ අකුරු මෝස්තරය. ඒක බොහොම ෆැන්සි අකුරක්. ඒක ගැළපෙන්නෙ වෙඩින් කාඩ්ස්වලට. කලා රස තොරතුරු ඇතුළත් මැගසින්වලට. තියෙන පලියට අකුරු මෝස්තර මේ විදියට යොදන එක වැරැදියි.

• එය නිවැරැදි කරගන්න මොකක්ද ඔබ කරන යෝජනාව…

පරිගණක නිර්මාණ කරන අය, අකුරක ප්‍රකාශන ශක්තිය සහ භාවිත ගුණය වටහා ගත යුතුයි. හාඩ්වෙයාර් එකකට පාවිච්චි කරන අකුරයි බියුටි සැලෝන් එකකට යොදන අකුරයි එකක් වෙන්න බැහැ. මොකද, ඒ අකුරෙන් අපි කියන්න හදන විෂය ප්‍රකාශ වෙනවා.

• ‘අක්ෂර නිර්මාණ ශිල්පී’ ජීවිතයේ කවුද ඔබේ ගුරුතුමා…

ෆීනික්ස් ඇඩ්වර්ටයිසින් හිමිකරු අර්වින් වීරක්කොඩි මහතාගෙන් සහ ඒ වෙලාවෙ එහි අකුරු අඳිමින් සිටි ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙන් මං බොහෝ ‍දේ ඉගෙන ගත්තා. ඒ අයගේ භාවිතය මං අධ්‍යයනය කළා. අකුරක සොඳුරු බව, බරපතළකම, එහි බලය ගාම්භීරත්වය හැම දේම වෘත්තීය මට්ටමෙන් ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්.

• 1981 කියන්නෙ මේ රටේ පුවත්පත්වලට හොඳ කලක් තිබූ යුගයක්…

ඔව්. පත්තරවල බොහෝ දැන්වීම් පළ වුණේ අතින් අඳින අකුරු වලින්. ඒ කාලෙ කම්පියුටර් කියල ජාතියක් තිබුණෙ නැහැ. හැබැයි 1982 රූපවාහිනිය පටන් ගනිද්දි මං එතැනට ගියා. දවසේ වැඩසටහන් නාමාවලිය දිග පැදුරක් වගේ. ඒක හැමදාම අඳින්න වුණේ මට. ඊට අමතරව අධ්‍යාපනික වැඩසටහන් නාමාවලි අඳින්න වුණා.

• කෙනකුට දියුණු වෙන්න ඕනෙ නම් මේ සමාජෙ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා… මේ කතාවට ඔබ එකඟයි ද…

ඔව්. මං ඇඩ්වර්ටයිසින් වලට ආවේ අකුරු අඳින්න පුළුවන් නිසා. ඊළඟට රූපවාහිනියේ. ඊටත් පස්සෙ වර්ල්ඩ වීව් ආයතනයේ…. එතැනින් පස්සේ ‘Freelance’ වැඩ…. ඔය වගේ දිග ගමනක් ආවේ, මේ සමාජයෙන් මංම හොයාගත් අවස්ථාවන් එක්ක. අන්තිමේ 1993 මට පුළුවන් වුණා ‍මගේ ම කියලා Office එකක් අරින්න.

• ඔබටම කියලා කම්පියුටරයක් මිලදී ගත්තේ කවදද….

1994. රුපියල් අනූ දහකට ‘ඇපල්’ කම්පියුටරයක් ගත්තා. එච්චර කාලයක් තැන් තැන් වලට ගිහින් ටයිප් සෙටින් කරගත්තු මං, මගේම කම්පියුටරයකින් වැඩකරන්න ගත්තා. හැබැයි මට ඕනේ සිංහල අකුරු ඒකෙ නැහැ. තිබුණු අකුරු හැඩ එක දෙකෙත් හුඟක් දෝෂ. මට ඕන වුණා හොඳ සිංහල අකුරු ටිකක් මේකට දාගන්න.

• ඔබ මොකද කළේ….

Software කියලා ජාතියක් එතකොට වැඩිය කවුරුත් දන්නෑ. ටයිප් සෙටින් කළ තැන් කිහිපයක තිබුණට ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලත් කම්පියුටර් අරන් තිබුණෙ නැහැ. මං ගියා DMS ආයතනයට. ගිහින් මගේ අවශ්‍යතාව කිව්ව ම ඒ අය අදහසක් දුන්නා. ඉන්ටර්නෙට් කියලා ජාතියක් තිබුණෙත් නැහැ. ඉතින් Fontographer කියන මෘදුකාංගය Floppy Disc එකක දාගෙන ඇවිත් ඒක කම්පියුටරයට දාලා මං ඇඳපු ‘මලිති’ අකුර පරිගණක ගත කළා. ඒකෙන් හෝඩියක් හැදුවා. ඕක තමයි ආරම්භය.

• එහෙම පටන් ගත්තු ඔබ දැන් අකුරු ‘පැකේජ්’ හදනවා…

ඔව්. පත්තර කන්තෝරු…. කාර්යාල, කමියුනිකේෂන්…. සහ සිංහල අකුරු ඕනෙ වන කවුරුත් මගේ අකුරු පැකේජ් අරගන්නවා. නමුත් මගේ පළමු අකුරු සෙට් එක මට රැකගන්න බැරි වුණා. ඒක නිදැල්ලෙ ගියා.

මොකක්ද ඒ කතාව…

FM අකුරු කියලා අද කවුරුත් භාවිත කරන අභය, අභය බෝල්ඩ්, මලිති, ගංගානි, රශ්මි, සන්ධ්‍යානි, ඉමානි, ගැමුණු, අර්ජුන්, බාසුරු, බින්දුමති, දෙරණ, රජන්තා සහ සමන්තා කියන මගේ පළමු අකුරු දාහතරම එළියට ගියා. එහෙම වුණේ 1996 ම‍ෙග් කම්පියුටරේ කැඩිච්ච වෙලාවක හදන්න දීපු නිසා. ඒ වෙලාවෙ ඔවුන් ගත් Backup වල මගේ අකුරුත් තිබුණා. එතැනින් තමයි අකුරු එළියට ගියේ. අන්තිමේ මං CID එකටත් ගියා.

• අකුරු හොරකම් කළා කියලා පොලිසි ගිය පළමු කෙනා ඔබ වෙන්න ඇති…

බුද්ධිමය දේපළ යටතේ පරිගණක වංචා ගණයට අයත් වූ පළමු කේස් එක තමයි මගේ මේ අකුරු හොරකම. පරිගණක වංචා හදාරන අයට මේ කේස් එක අද ඉගෙන ගන්නත් තියෙනවා. 1996 මං නාරාහේන්පිට පොලිසියට ගිහින් අකුරු හොරකම් කළා කියලා පැමිණිල්ල දාන කොට ඒ අයටත් තේරුණෙ නැහැ, මොකක්ද මේ කියන්නෙ කියන එක.

CID එකෙන් ඔබට සාධාරණය ඉටුවුණාද…

CID එකේ ලොක්කා මගෙන් ඇහුවා, ‘අකුරු කොහොමද ඔයාගෙ වෙන්නෙ… අකුරු කාටත් අයිතිනේ…. ‘කියලා. මට සිද්ධ වුණා ඒවා ඇඳපු හැටි තිත් සහ අංක වලින් ම ඔප්පු කරන්න. මට ඕනෙ වුණේ අයිතිය තහවුරු කරගන්න විතරයි. අන්තිමේ අනවසරයෙන් පත්තර කන්තෝරු භාවිත කරන එකත් නතර කළා. හැබැයි රටපුරා පොඩි පොඩි කමියුනිකේෂන් නම් අදත් පාවිච්චි කරනවා.

• ඒ වුණාට ඔබේ වැඩිම සබඳතාව තියෙන්නෙ පත්තර එක්ක….

ඒ අය පස්සෙ මගෙන් නීත්‍ය‍යානුකූලව ගෙවලා අකුරු මිලට ගත්තා. මං වන්දිවලට ගියේ නැහැ. මට ඕන වුණේ අයිතිය රැකගන්න විතරයි. හැබැයි ඉතින් තෝරු මෝරුන්ගෙන් ඒක වුණා. හාල්මැස්සො අල්ලන්න බැරිවුණා.

• ව්‍යාපාරයක් විදියට තව තවත් ව්‍යාප්ත වෙන්න හිතන්නෙ නැද්ද…

මං අලුත් අකුරක් නිර්මාණය කරන්නෙ හුඟක් වෙලාව අරන්. හැඩය ලාලිත්‍ය මුලින්ම ඇ‍ඳෙන්නෙ කොළේක. ඉතින් ඒක දුලභයි. ගාන ටිකත් සැරයි. රැ‍ඳෙන්නෙ අතළොස්සක් අතර විතරයි. ඒකම තමයි වටිනාකමත්. ඒ නිසා මං ඒ මත්තෙම හඹා යන්නෑ. දැනටමත් රටටම පාවිච්චි කරන්න පුළුවන් හොඳම අකුරු 14 ක් මං රටට නොමිලයේ දීලා තියෙනවා. ඒ නිසා මට ව්‍යාප්ත වෙන්න දෙයක් නැහැ.

• ඔබේ ළමා කාලය ගෙවුණේ කොහේද…

හයේ පන්තියේ ඉඳලා මං හිටියේ ගෙදරින් පිට. නුවර ධර්මරාජ හොස්ටල් එකේ, මල්ලිත් එහෙමයි. නංගි මාතලේ BMS එකේ. ධර්මරාජෙට යන්න කලින් තාත්තා මුල් ගුරු වෙලා හිටි, අනුරාධපුර පහළ මාරගහවැව රජයේ පාසලට සහ මාවතගම මහා විද්‍යාලයට ගියා.

• හොස්ටල් ජීවිතයක් ගත කරපු ළමයකු තුළ නිදහස් සිතිවිලි උපදින්න ඉඩක් තිබෙනව ද…

හැම දේම ටයිම් ටේබල් එකකට කරන්න පුරුදු වුණාට ධර්මරාජේ ගතකරපු කාලේ තමයි මගේ සුන්දරම කාලේ. ඒක ගමක්. ධර්මරාජ කන්ද ඇතුළුව අක්කර 37 ක භූමියක්. අපිට සෙල්ලම් කරන්න තැන් ඕනෙ තරම් තිබුණා. සිකුරාදා හවස හොරා පොලිස් කරන්න ගත්තම ඉරිදටවත් හොරු අල්ලන්න බැහැ. මානා කැලේ… කොකෝ කැලේ… වරකා කැලේ… හැංගෙන්න තැන් ඕනෙ තරම්.

• පන්තියේ ලස්සනටම අකුරු ලියපු ළමයෙක් දවසක ඒ අකුරුම ව්‍යාපාරයක් කරගත්තා…

ඒ දවස්වල මාව ඉස්කෝලෙ ප්‍රසිද්ධ වෙලා තිබුණෙ අකුරු නිසා. බිත්ති පුවත්පතට කවි, චිත්‍ර ඇන්දා. අකුරුවලින් හැඩ කළා. ගුරුවරු මං ලවා රිපෝට්ස් ලියවා ගත්තා. ඒත් කවදාවත් හිතුණෙ නැහැ, මේක මගේ ජීවන වෘත්තිය වෙයි කියලා.

• ජීවිතයේ අධිෂ්ඨානය – ඉලක්ක කියන දේ ඔළුවට වැටුණෙ ඒ ළමා කාලයෙමද…

මං කලාවට මොන තරම් කැමැති වුණත් පාසලින් මාව දැම්මෙ Science කරන්න. ඒ කාලෙ හතේ පන්තියෙන් ශිෂ්‍යත්වෙ කළේ. මං ශිෂ්‍යත්වෙත් පාස්. ඒ හැරෙන්න පන්තියෙ වැඩිම ලකුණු ගත් ළමයි අතරෙ මාත් හිටියා. ඒ නිසා Science කිරීම අනිවාර්ය වුණා. නමුත් වැඩිම ලකුණු තියාගෙන කැමැත්තෙන්ම Arts කරපු කෙනෙක් තමයි මහාචාර්ය ධම්මික ගංගානාත්. එයා එකේ පන්තියේ ඉඳලා ධර්මරාජ හොස්ටල් හිටියේ. අපි කරන දේ හොඳටම කළා. අනාගත ඉලක්ක කියලා විශේෂයෙන් හිතුවෙ නැහැ.

• ඔබට විශ්ව විද්‍යාලෙ යන්න බැරිවුණෙත්, ඔබෙ අමතර වැඩ නිසා වෙන්න ඇති…

ඇත්තටම ඔව්. Science කළාට, මං වැඩිපුර යෙදිලා හිටියෙ කලා සංගම්වල වැඩ වලට. අන්තිමේ උසස් පෙළ හරියට කරගන්න බැරිවුණා. විභාගෙ ඉවර වෙලා මං වෙනත් මඟක් හොයා ගත්තා.

• මොකක්ද ඒ වෙනත් මඟ…

ඒ පාසල් කාලෙම සිනමා සම්මන්ත්‍රණ – කතිකා සංවිධානය කරලා, මං සිනමා කරුවෝ කිහිප දෙනෙක් දැන හඳුනාගෙන තිබුණා. මගේ දක්ෂතා ගැන ඔවුන් දැනගෙන හිටියා. පරාක්‍රම ද සිල්වා, සිනමාවේදියා හරහා තමයි 1981 ‘ෆීනික්ස් ඇඩ්වර්ටයිසින්’ එකේ ‘අක්ෂර නිර්මාණ ශිල්පී’ කියන රස්සාව හොයාගත්තේ.

• එය ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය…

උපන් හැකියාවකට වෘත්තීමය වටිනාකමක් ලැබුණෙ එතැනදි. දැනුමක් තේරුමක් නැතිව හිතේ ආසාවට කළ දේ, වෘත්තියක් බවට පත් වෙද්දි ඊට එකතු විය යුතු වටිනාකම්, සියුම් වෙනස්කම් ඉගෙන ගත්තෙ එතැනදී.

• කෝ ඔබ තුළ හිටි චිත්‍ර ශිල්පියා…

මං ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියෙක්. මං චිත්‍ර අඳින්නෙ පින්සලෙන් නෙවෙයි. පැන්සලෙන්. දැන් නම් චිත්‍රයක් ඇඳපු කාලයක් මතක නැහැ. චිත්‍රම නොවුණත් මං අකුරු අඳින්නෙත් කලාවකට. ඒ නිසා කලාව තුළ මං හැමදාම ජීවත් වෙනවා.

• භාෂාව – ව්‍යාකරණ දැනුම නැතිව, චිත්‍ර අඳින්න පුළුවන් වූ පමණින් කෙනකුට මේ වැඩේ කරන්න පුළුවන් ද…

ඒ පසුබිම අත්‍යවශ්‍යයි. මට ඒ දේ ලැබුණෙ තාත්තා සිංහල භාෂාව ඉගැන්වූ මුල් ගුරුවරයෙක් නිසා. සිංහල භාෂාව පිළිබඳ පතපොත ඉතා හොඳින් පරිශීලනය කළ කෙනෙක් මං.

• අද කාලේ ‘හැකර්ස්’ලා කරන වැඩවල හැටියට ඔබේ මේ අකුරු පැකේජ් එක බේරිලා තියෙයි කියලා හිතනව ද…

මං ලක්ෂ ගානක් වියදම් කරලා ආරක්ෂිත Software යොදලා තියෙන්නෙ ඒ නිසාම තමයි. අකුරු ගන්න පුළුවන් මගෙන් විතරමයි.

• ඔබ හැදූ අකුරුවලින් ඔබ කැමැතිම අකුර මොකක්ද…

අවුරුදු 200 ක් විතර පැරැණි අපේ මුද්‍රණ අකුර දියුණු වෙලා වෙලා ඇවිත් නැවතුණ තැනින් මං අරන් ඩිවලොප් කරපු ‘අභය’ අකුර. මේ අකුර ඇහැට කිසි වෙහෙසක් නැහැ. ඒ නිසා මේ අකුරු සහිත පොතක පිටු 300 ක් වුණත් එක දිගට කියවාගෙන ගිය හැකියි.

• ඔබ ළඟ කී දෙනෙක් වැඩ කරනව ද…

මීට අවුරුදු 10 – 15 කට ඉස්සර ටයිප් සෙටින් සර්විස් එක කරන කාලේ දහ දෙනෙක් විතර වැඩ කළා. ‘අභය’ අකුර හඳුන්වා දුන්නෙ එහෙමයි. පස්සෙ ප්‍රකාශකයෝ අභය අකුර මගෙන් අරන් ඒ අයම කරන්න ගත්තා. දැන් එක සේවකයයි වැඩ. මොකද මං කරන මේ දේට පිරිසක් හෝ Store කරන්න ගබඩා පහසුකම් අවශ්‍ය නැහැ.

• ඒ කියන්නෙ, දැනුමයි කම්පියුටරයකුයි තියෙනවා නම් ඒකත් රස්සාවක්…

ඇත්තටම. ‘Font Creation’ කියන්නෙ පුළුල් විෂයක්. මොරටුවෙ යුනිවර්සිටියේ දේශකවරු පවා අද මගේ ළඟට එනවා ප්‍රායෝගික දැනුම ලබා ගන්න. මේක බොහොම වින්දනාත්මක රැකියාවක්. කම්පියුටරයයි මමයි වුණාම හැම වෙලාවෙම අලුත් නිර්මාණයක් ඉපදෙනවා. කෙනෙක් හරියට වැඩ කරනවා නම් දියුණු වෙන්න මහ දේවල් ඕනෙ නැහැ. තමන්ගෙ හැකියාවට පොඩි වෙනසක් කරන්න විතරයි අවශ්‍ය.

• ව්‍යාපාරිකයෙක් විදියට ඔබ ඉන්නෙ කොහොම තැනෙකද…

මහා ලොකු තැනෙක මම නැහැ. මට තියෙන්නෙ පොඩි මාකට් එකක්. නමුත් මගේ ක්ෂේත්‍රයේ නිර්මාණකරුවත් මම. රජත් මම.

• මොනවද ඔබට තිබෙන වෙනත් ව්‍යාපාර…

ප්‍රින්ටින් ෆීල්ඩ් එකේ වැඩ, පොත් කවර හා පොත් ඩිසයිනින්, වෙළෙඳ දැන්වීම් වගේ හුඟක් දේ කරනවා. මං ග්‍රැෆික් ඩිසයිනර් කෙනකුත් නිසා වැඩ ඕනෙ තරම් තිබෙනවා.

• අකුරුත් එක්ක බැ‍ඳෙන අනෙක් දේ පාට. ඔබ කැමැතිම පාට…

හිතට සෞම්‍ය බවක් ගේන ළා පාටවලට කැමැතියි. ඒත් Contrast colours වලින් මං හුඟක් වැඩ කරනවා. ඒ නිසා පාට කොයිකත් මගේ ජීවිතය හා බැඳිලා තිබෙනවා.

• ඔබෙන් පස්සෙ ඔබේ දරුවො මේ ව්‍යාපාරය කරගෙන යයි ද…

මගේ ලොකු දූ මලිති, ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. එයා මේ ගැන උනන්දු නැහැ. තේජානි දෙවැනි දූට තවම දහතුනයි. එයා අටේ පන්තියේ. එයත් මේ ගැන උනන්දු වෙයි කියලා හිතන්න බැහැ. බිරියත් එහෙමයි. හැබැයි ඉතින් කවද හරි මං මේ කරන නිර්මාණ නවතියි. නමුත් කරපු නිර්මාණ ටික නැවත නැවත විකුණගන්න දරුවන්ට පුළුවන්. මොකද අලුතින් අරින ඕනෑම තැනෙකට සිංහල අකුරු ඕනෙ වෙනවමයි.

• අකුරු විකුණලා හරිහම්බ කරගත් වත්කම් දේපළ මොනවද…

කොළඹින් පර්චස් දහනවයක් අරන් ගෙයක් හදපු එක වෙන්න ඇති. මං පාවිච්චි කරන මේ හැම දේම අකුරු සහ මගේ වෙනත් නිර්මාණවලින් උපයා ගත් දේ තමයි.

• ඔබ කැමැතිම ව්‍යවසායකයා කවුද…

ස්ටීව් ජොබ්ස්. ඔහු යුනිවර්සිටියෙ ඉස්සර වෙලාම කළෙත් ‘calligraphy’ හෙවත් අකුරු ඇඳීමේ විෂය. ඔහු තමන් නිර්මාණය කළ ඇපල් ෆෝන් එකේ Display එක වරින් වර අලුත් කළා. ඒ වෙනුවෙන් හරියට වෙහෙසුණා.

ඔහුගේ ජීවිතය චරිත ලක්ෂණ මට හුඟක් ප්‍රියයි. අකුරු නිර්මාණය පිළිබඳ ස්ටිව් ජොබ්ස් විශේෂඥයෙක්. මං ඇපල් රසිකයෙක් වුණේ ඔහුගේ මේ විශිෂ්ටත්වය නිසා. 1994 ත් මං ගත්තෙ ඇපල් කම්පියුටරයක්. අදත් එහෙමයි.

Boss කෙනෙක් වෙන්න තිබුණු හීනය ඉටු කරගත්තා කියල හිතනවද…

මං කවදත් කැමැති වුණේ නායකයෙක් වෙන්න විතරයි. එහෙමයි කියලා මං පැත්තකට වෙලා බලා ඉන්නෙ නැහැ. මගේ ඔෆිස් එක මමම අතුගානවා. ගෙදරදි වුණත් උයන්න පිහන්න උදව් වෙනවා. ඒවා මට සුළු දේවල්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here