මගේ ප්‍රථම සීසර් ශල්‍යකර්මය​

0
128

මීගමුව දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා සීසර් ශල්‍යකර්මයක් සඳහා සහායක වෛද්‍යවරයා ලෙස මාව කැඳවාගෙන ශල්‍යාගාරයට ගියේය​. අත් හොඳින් සෝදා අත්වැසුම් සහිතව ශල්‍ය ඇඳුම් ඇඳගත් අප ගැබිනි මාතාව සීසර් ශල්‍යකර්මයට ලක් කිරීම ඇරඹුවෙමු. වෛද්‍ය අජිත් සේමසිංහ ශල්‍ය සැතෙන් නිර්වින්දනයට ලක් කරන ලද ගැබිනියගේ බඩෙහි කැපුමක් කලේය​. මම රුධිරය ගැලීම නවතනු වස් ගෝස් කෑල්ලකින් රුධිර නාලිකා තද කලෙමි. එසේම කැපුණු රුධිර නාලිකා ශල්‍ය නූල් වලින් ගැට ගැසීමට උදව් කලෙමි.

ගර්භාශය දක්වා කැපුම් යෙදූ වෛද්‍ය සේමසිංහ සෙමෙන් සෙමෙන් ගර්භාශය පාදා එමතින් සුළු කැපුමක් දමා ගර්භාශය ආංශිකව විවෘත කොට භූණ හිස ගර්භාශයෙන් පිටතට ගත්තේය​. ඉන්පසු ගර්භාශ කැපුම තවත් දිගු කොට නවජ බිළිඳා ඉවතට ගත්තේය​. හේ නිරෝගී පිරිමි දරුවෙකි. පෙකනි වැල කැපීමෙන් පසුව නවජ බිළිඳා ස්වාධීන ජීවියෙකු බවට පත් විය​. බිළිඳාව වින්නඹු නිලධාරිනියගේ අතට දෙන ලදි. ඒ සමගම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා තමන්ට වෙනත් රෝගියෙකු බැලීමට තිබෙන බව පවසා මට ගර්භාශය මසා ශල්‍යකර්මය නිම කරන ලෙස පවසා ඉවතට ගියේය​.

ශල්‍ය හෙදියත් සමග මම තනිවූයෙමි. එය ගුවන් යානයක පාලනය සහය නියමුවා අතට දී ගුවන් නියමුවා පැරශූටයක ආධාරයෙන් යානයෙන් පැනීමක් බඳු විය​. මීට ඉහතදී විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ජී ඒ රණතුංග මහතා සමග බොහෝ සීසර් ශල්‍යකර්ම වලට සහයකයා ලෙස සහභාගි වී ඇතත් මම තනිවම සීසර් ශල්‍යකර්මයක් අධීක්‍ෂණයකින් තොරව සිදු කොට නොමැත​. මගේ නලල මතට දාඩිය බිඳු ගැළුවේය​. එහෙත් මම චිත්ත ධෛර්‍යය වඩවාගෙන ශල්‍යකර්මය කරගෙන ගියෙමි. වෙහෙස ගෙන ගර්භාශයෙන් ගලන ලද රුධිරය නවතා ගර්භාශ කැට්ගට් නූල් වලින් මැසුවෙමි . ඉන් පසු කැපී ගිය පේශි සහ පටකද මසා අවසානයේදී චර්මයද මසා ශල්‍යකර්මය නිම කලෙමි.

ශල්‍යගාරයේදී සිහිය ලැබූ මාතාව වාට්ටුවට ගෙන යන ලදි. ශල්‍ය අත්වැසුම් ගැලවූ මම වෛද්‍ය විවේකාගාරයේ හාන්සි පුටුවේ ඇල වූයෙමි. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා කිසිම සංඥාවකින් තොරව මාව ගැබිණිය සමග තනි කොට ශල්‍යකර්මය මැද ඉවතට යාම ගැන මට ඇතිවූයේ කේන්තියකි. නමුත් පසුව හෙළි වූයේ වෛද්‍ය සේමසිංහ ශල්‍යාගාරයෙන් ඉවතට නොගොස් දොර අසල රැඳී මා ශල්‍යකර්මය අවසන් කරන තෙක් සිටි බවයි . එසේම එතුමා වරින් වර වෙනත් හෙදියකගේ මාර්ගයෙන් ශල්‍යකර්මයේ තත්වය විමසා තිබේ. වෛද්‍ය සේමසිංහ එලෙස මාව තනි කොට යන ලද්දේ මට ප්‍රතිහානය ( confidence) ලබා දීමටය​. මෙයින් ලත් අාත්ම විශ්වාසය නිසා පසු දින මම තනිවම සීසර් ශල්‍යකර්මයක් කලෙමි. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා මගේ සහයකයා විය​. මම ඉතා පරිස්සමෙන් සීසර් ශල්‍යකර්මය කොට ස්ව දක්‍ෂතාවය එතුමා ඉදිරියේ පෙන්වූයෙමි. ඉන් පසු සීමාවාසික වෛද්‍යවරයෙකු සහයට ගෙන තනිවම සීසර් ශල්‍යකර්ම කිරීම මට පවරන ලදි.

මෙලෙස මීගමුව දිස්ත්‍රික් රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස මම බොහෝ සීසර් ශල්‍යකර්ම කලෙමි. ඒ අතර සංකූලතා තිබූ ගැබිණි මාතාවන් ද වූහ​. එක් දිනක් මම සීසර් ශල්‍යකර්ම 13 උදේ නවයේ සිට පස්වරු පහ දක්වා එක දිගට කලෙමි. පසු කාලයක නෝත් යෝක් ජෙනරල් රෝහලේ කැනේඩියානු නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුට මෙම අත් දැකීම කියූ විට මම අසත්‍යක් පවසනවා කියා ඔහු සමච්චලයට සිනාසුනේය​. ” කිසි කෙනෙකුට එක් දිනකදී සීසර් ශල්‍යකර්ම 13 කිරීමට නොහැකියි” ඔහු කෙටියෙන් කීවේය​. එහෙත් මීගමුව රෝහලේ මසකට දරු උපත් 400- 450 අතර සංඛ්‍යාවක් වන බවත් එක් විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුත් එක් ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකුත් සහ සීමාවාසී වෛද්‍යවරුන් හතර දෙනෙකුත් විසින් වාට්ටු දෙකක් සහ සූතිකාගාරයක් බලා කියා ගත් බව ඔහු නොදැන සිටියේය​.

මෙලෙස් කාලයත් සමගම මගේ සීසර් ශල්‍යකර්ම කිරීමේ වේගය වැඩි විය​. වරක් මම නිර්වින්දන වෛද්‍ය නිලධාරී එච් ජී සුබසිංහ නිර්වින්දන වෛද්‍ය නිලධාරී මාංජේෂ්ඨ පීරිස් යන වෛද්‍යවරුන් ඉදිරියේ විනාඩි 20 තුල සීසර් ශල්‍යකර්මයක් සිදු කලෙමි. එහෙත් සෑම විටම සුපරික්‍ෂාකාරී වීම මම අත් නොහැරියෙමි.

මෙසේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස එක් මාතෘ මරණයක්වත් නොමැතිව මම සීසර් ශල්‍යකර්ම 723 කලෙමි. මට පෙර සිටි ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී අතින් මාතෘ මරණ දෙකක් සිදුවී තිබුණි. මේ නිසා මීගමුව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පී. සිවරාජා විසින් මට සහතිකයක්ද දෙන ලදි.

මා විසින් සීසර් ශල්‍යකර්ම කොට එළියට ගත් දරුවන් දැන් අවුරුදු 17-18-19 වයසේ පුද්ගලයෝ වෙති. මීගමුව රෝහලේ ගිලන් රථ රියැදුරු ජෝතිපාලගේ නැගනියගේ සීසර් ශල්‍යකර්මය කරන ලද්දේද මා විසිනි. මාව දකින විට ජෝතිපාල ” සර් එලියට ගත්ත කොල්ල දැන් නියමට ඉන්නවා ” කියයි. එය මට සතුටකි. සීසර් ශල්‍යකර්ම කිරීම මගින් මම දළ වශයෙන් මිනිස් ජීවිත 1446 බේරාගෙන තිබේ. එය සිහිපත් වන විට මට නිරාමිශ සතුටක් දැනේ.

වෛද්‍යවරයෙකු ලෙස බොහෝ යහපත් දේ කල හැකිය එසේම එම බලපත්‍රය යොදාගෙන බෝහෝ අවැඩද කල හැකිය​. මට මීගමුව රෝහලේ සිටි වෛද්‍ය සුදර්ශන බාලගේ මතක් වේ. තරුණියක දූෂණය කොට ගොඩනැගිල්ලකින් බිමට දමා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට මරණීය දණ්ඩනයට ලක්ව සිපිරි ගෙයක කාලය ගත කරයි.

අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Home