මට තියෙනවා දිෂ්ඨි බලයක්… කොරෝනා බෙහෙත සොයාගත් කපුමහතා කියයි!

0
187

තමාට දිෂ්ඨි බලයක් ඇති බවත් එයද උපයෝගී කර ගනිමින් කොරෝනා වෛරසය සුවකිරීමට දේශීය ප්‍රතිකාරයක් සොයාගත් බව කෑගල්ලේ ඩී.එම්. ධම්මික බණ්ඩාර වෙදමහතා පවසා තිබේ.

දිවයින පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකර තිබේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් හඳුන්වා දුන් ඖෂධය රාවනා රජු‍ගේ කාලයේ පටන් පැවත එන පාරම්පරික ඖෂධයක් බවයි. අතීතයේ සිටි මහ රහතුන් වහන්සේලා පවා වෛරස් රෝගවලින් ආරක්ෂා වීම සඳහා මෙම ඖෂධය භාවිතා කර තිබෙන බවත් එය නිෂ්පාදනය කිරීමට පාරම්පරික බෙහෙත් වර්ග 04 ක් භාවිතා කරන බවත් ප්‍රකාශ කර තිබේ. මී පැණි සහ සාදික්කා භාවිතා කරන බව හෙළි කර අනෙකුත් බෙහෙත් වර්ග දෙක මොනවාද යන්න සුදුසු වේලාවේදී හෙළිදරව් කරන බව ප්‍රකාශ කර ඇත.

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්‍රකාලී දේවාලයේ කපුමහතාද වන ඩී.එම්. ධම්මික බණ්ඩාර වෙදමහතා පවසා ඇත්තේ තමාට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් කොරෝනා රෝගය දින කිහිපයක් තුළදී ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකි බවයි.

පසුගියදා මෙම බෙහෙත අත්හදා බැලීම සඳහා පරීක්ෂණ සිදු කරන ලෙසට ජනාධිපතිවරයා කොරෝනා මර්දන කාර්යසාධක බලකායට දැනුම් දී තිබේ. පසුව සෞඛ්‍ය අමාත්‍යවරිය එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී  මෙම ඖෂධය පානය කරනු ලැබීය.

ඒ පිළිබඳව විමර්ශනය කර යෝජනා මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරිය විද්වත් කමිටුවක් පත් කරනු ලැබ ඇත. මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනි වනිගසූරිය යන මහත්ම මහත්මීහු පත්කර තිබේ.