” මම තමයි මීගමුවට පළමුවෙන්ම පොටෝ කොපි සේවාව හඳුන්වා දුන්නේ ”

0
199

අද අපගේ පිළිසඳර වෙන් වන්නේ මීගමුව ප්‍රදේශයට පළමුවෙන්ම ඡායා පිටපත් හෙවත් පොටෝ කොපි සේවාව හඳුන්වා දුන් පුරෝගාමී ව්‍යාපාරිකයෙකු සදහායි. ඔහු  ජයකොඩි ආරච්චිගේ බෙනඩික් ක්‍රිස්ටෝපර්  මහතායි. මීට දශක පහකට පමණ පෙර එනම් 1979 වසරේ මීගමුව “මී මැඩුම” ගොඩනැගිල්ලේ  ස්ථාපිත ” ස්ටැට් පොටෝ (STAT PHOTO) ආයතනයේ  අධිපතිවරයා වන්නේද ඔහුයි. ඒ අනුව දශක පහකට ආසන්න කාලයක සිට මීගමුව ස්ටැට් පොටෝ ආයතනයයෙන් සිය පාරිභෝගික ජනතාව  වෙත සලසන ෆොටෝ කොපි සේවාව ඇතුළු මුද්‍රණ සේවාවන් සම්බන්ධව සහ ඒ සඳහා උපයෝගී කරගන්නා නව තාක්ෂණය පිළිබඳව ද එමෙන්ම එදා සහ අද මුද්‍රණ කර්මාන්තය  තුල  සිදු වූ වෙනස්කම් පිළිබඳව ද ඔහු මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළේය. ඔහු සමගින් කල එම කෙටි පිළිසඳර  පහතින් පල වේ.

බෙනඩික් ක්‍රිස්ටෝපර් මහතා

මුලින්ම ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි?

1957 මාර්තු 21 දින තමයි  මම උපන්නේ. අපේ ගම, පමුණුගම .  මගේ තාත්තා හෙනරි ජෝන් ජයකොඩි ,ඔහු ව්‍යාපාරිකයෙක්, අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කෙරුවා. ඒක තමයි එයා නිරත වෙලා හිටිය ව්‍යාපාරය. මගේ අම්මා නම් රැකියාවක් කෙරුවේ නෑ. මගේ පවුලේ පිරිමි තුන්දෙනයි.මට වැඩිමල් අයියලා දෙන්නෙක් ඉන්නවා.මම තමයි පවුලේ බාලයා.මගේ වැඩිමල් අය්යා නම් මේ වෙද්දී මිය ගිහින්. මගේ දෙවැනි අයියා තමයි ,මගේ තාත්තා කරපු, ඒ අවිස්සාවේල්ලේ ඉන්ධන පිරුවුම්හල දැන් කරගෙන යන්නේ.

මම පාසල් ගියේ  කඳානේ මැසනඩ් කොලෙජ් එකට. මට අධ්‍යාපනය හමාර කරලා,  වෙනත් රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.මගේ අම්මයි තාත්තයි එකතුවෙලා මේ ස්ටැටි පොටෝ කියන මගේ ව්‍යාපාරය මට ආරම්භ කරල දුන්නා.

මට ඉන්නේ දුවයි පුතයි . ඒ දෙන්නම මේ වෙද්දි විවාහකයි. මගේ බිරිඳ නම් රැකියාවක් කරන්නේ නෑ. පුතා තමයි වැඩිමල් , එයාට තමයි ස්ටැට් පෙටෝ කියන මගේ ව්‍යාපාරික ආයතනයේ සියලු කටයුතු ඉදිරියට කරගෙන යාමට පවරලා තියෙන්නේ. ඉතින් එයා හොඳින් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. මම ඉතින් පැත්තකින් ඉඳලා එයාට මේ ව්‍යාපාරය හොඳන් කරගෙන යන්න උපදෙස් වගේම අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.. මගේ දුවත් එයාගේ සැමියත් එක්ක ,එයාලගේම ටිකක් ලොකු ව්‍යාපාරයක් මේ වෙද්දි කරගෙන යනවා.

ඔබේ මවුපියන් මුද්‍රණ සේවාවන් සපයන මෙවැනි ව්‍යාපාරයක් ඔබට ආරම්භ කරලා දෙන්න විශේෂ හේතුවක් තිබුණද ?

එහෙම කියන්න තරම් විශේෂ හේතුවක් තිබුණේ නෑ. නමුත් මගේ අම්මටයි තාත්තටයි උවමනාව තිබුනා, මාව රැකියාවකට යොමු කරන්නේ නැතුව, මොකක් හරි හොඳ ව්‍යාපාරයක් මට ආරම්භ කරලා දෙන්න. ඒ අනුව තමයි මගේ තාත්තාගේ හොඳ යාලුවෙක් හිටියා ගැබී ගෝමස් කියලා, එයා තමයි ලංකාවට පළමුවෙන්ම ෆොටෝ කොපි මැෂින් ගෙන්වලා බෙදා හැරියේ .එයා  කිව්වා ,අපි මීගමුවේ පොටෝ කොපි මැෂින් දාලා මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරමු කියලා.
මට මෙතනදි තව කාරණයක් කියන්න ඕනේ, මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වෙන්න කලින්,තරුණ කොල්ල කාලේ හිතවත් ව්‍යාපාරිකයෙක් ගාව රැකියාවකට ගිහිල්ලා තියෙනවා. ඒ අවිස්සාවේල්ලේ. එයාට අපි කියන්නේ ගෝමස් මහත්තයා කියලා. එයාට අවිස්සාවේල්ල, නගරයේ ඇතුළු ගොඩක් තැන්වල ව්‍යාපාර ගණනාවක් තිබිලා තියෙනවා.   ඉතින් ඔහොම ඉන්නකොට එයාට ප්‍රශ්න ඇති වෙලා, ඒ ව්‍යාපාර සේරම වාගේ එයා විකුණලා තියෙනවා. එහෙම විකුණගෙන යනකොට තමයි ,ඒ ගෝමස් මහත්මයා ඒ කියන්නේ මගේ තාත්තාගේ හාම් පුතා එයාට අවිස්සාවේල්ලේ තිබුණ ඉන්ධන පිරවුම් හල අරගෙන කරගෙන යන්න කියලා,මගේ තාත්තා ට දීලා තියෙන්නේ. ඒ අනුව තමයි මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් වුණේ. අන්න ඒ ගෝමස් මහත්තයාගේ  පුතෙක් තමයි මේ ගැබී ගෝමස් කියන්නේ. ඔහු මගේ තාත්තා එක්ක හොඳ හිතවත්කමක් තිබුණා. එයා තමයි මුලින්ම  මගේ අම්මටයි තාත්තටයි මේ ෆොටෝ කොපි සේවාව එක්ක මුද්‍රණ කටයුතු කරන ව්‍යාපාරයක් ආරම්භ කරන අදහස දීලා තියෙන්නේ.

මම අහල තියෙන විදිහට මේ  ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ පෙබරවාරි මාසෙක. පෙබරවාරි මාසෙක කවුරුත් වාගේ  ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ නෑ, දින අඩු මාසයක් නිසා. ඇයි ඔබේ ව්‍යාපාරය පෙබරවාරි මාසෙම ආරම්භ කරන්න හිතුනේ ?

ඒකටත් හේතුව වුනේ ව්‍යාපාරය ආරම්භ කරන්න අදහස දීපු ගැබී ⁣ගෝමස් මහත්තයම තමයි. එයා මේක ආරම්භ කරන්න අදහස දීලා, ඉක්මනින්ම මේක පටන් ගන්න කියලා කිව්වා. ඒ කාලේ අපේ අයිය කෙනෙක් හිටියා හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරු වෙලා , එයා තමයි මේ තැන හොයලා දුන්නේ. ඉතිං අපේ තාත්තා, ගැබී ගෝමස් මහත්තයට කියලා තියෙනවා, දැන් බිල්ඩින් එකත් හරි ගස්සලා තියෙන්නේ කියලා. එතකොට තමයි ගැබී ගෝමස්  මහත්තයා කියලා තියෙන්නේ  අපි කතෝලික අයනේ, අපිට ආයේ වෙන දේවල් ගැන බලන්න දෙයක් නෑ. සේරම ලෑස්ති නම් පෙබරවාරි මාසේ මේක ආරම්භ කරමු කියලා. ඒ අනුව 1979 පෙබරවාරී මාසේ පළමුවැනිදා මේ ව්‍යාපාරය අපි ආරම්භ කළා. මේ වෙද්දි අපි මේ ව්‍යාපාරය ආරම්භ කරලා ගෙවී යන්නේ 45 වැනි වසර.

මේ ආයතනය ආරම්භ කරපු කාලයේ ෆොටෝ කොපි සේවාව ඇතුළු ඔබේ ව්‍යාපාරික ආයතනයෙන් සැපයපු මුද්‍රණ සේවාවන්  ගැන කෙටියෙන් විස්තර කළොත් ?

දැන් අපි  1979 වසරේ මේක ආරම්භ කරද්දි අපි කෙරුවේ, ෆොටෝකොපි සේවාව සහ රෝනියෝ සේවාව පමණයි. මට මතකයි මුලින්ම අපිට ගැබී ගෝමස් මහත්තයා ගෙනත් දුන්නේ ඇමෙරිකාවේ හදපු ෆොටෝ කොපි මැෂින් එකක්. මට මතක විදිහට ඒකේ නම “නැෂුවා” . .ඒක රුපියල් 50000/= ක් විතර වුණා ඒ කාලේ .ඒක අපි ගත්තේ බැංකු ලෝන් එකකින්. අපි ෆොටෝ කොපි සේවාව මෙතන ආරම්භ කරන්න කලින් ගැබි ගොමස් මහත්තයා මාවයි, තව මෙතන වැඩට ගත්තු කෙනෙක්වයි කොළඹ, බ්‍රිස්ටල්  පටුමගේ තිබුණු එයාගෙ තැනකට අරන් ගිහින් මේ ෆොටෝ කොපි මැෂින් වැඩ කරන හැටි ඒ තාක්ෂණය සම්බන්ධව අපි දෙන්නටම හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ කාලේ ෆොටෝ කොයි මැෂින් දැන් තියෙන ඒවා වලට වඩා ලොකුයි. ඒ මැෂින් එක අමාරුවෙන් තමයි අපි ඒ කාලේ මේක උඩට ගත්තෙත් . ඒ මැෂින් එකේ ලික්යුඩ්  එකක් ඒ කියන්නේ තීන්ත වගේ දියරයකින් තමයි ෆොටෝ කොපි මුද්‍රණය වුණේ. ඒ කියන්නේ මේ පෙට්‍රෝලියම් හොඳට සුද්ද කරලා තමයිලු ඒ ලික්යුඩ් එක හදන්නේ. ඒකට තව කෙමිකල් එකකුත් දාන්න ඕනේ. දැන් අද කාලේ වගේ පව්ඩර් එකකින් නෙමෙයි ඒ කාලේ පොටෝ කොපි මුද්‍රණය වුණේ. මට මතක විදිහට අපි ෆොටෝ කොපියක් ඒ කියන්නේ ඒ-4 කොපියක් අපි මුද්‍රණය කෙරුවේ රු.3.00 කට.ඒ කාලේ තමයි මීගමුවේ උපකාරක පන්ති සේවාව ඒ කියන්නේ මේ ටියුෂන් පිල්ඩ් එක පටන් ගත්තු කාලේ. ඉතින් ටියුෂන් සර්ලා.ගේ වැඩත් අපිට ආවා.ඒත් එක්කම මේ මීගමුවේ තියෙන සංචාරක හෝටල් වල වැඩත් අපිට ආවා.තව නීතිඥවරුන් ගේ වැඩත් අපිට ආවා.

ඔහොම යනකොට අපි  ඒ කාලේ තිබුණේ ටයිප්රයිටර් නේ, ඉතින් අපි මෙතන ටයිපින් වැඩත් පටන් ගත්තා. ඒකට අපි ටයිපින් දන්න මීගමුවේම ගෑනු ළමයෙකුත් වැඩට ගත්තා. ඉන්පස්සේ විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ ඔප්පු තිරප්පු වැඩ, තව ලියුම් ටයිප් කරන වැඩ වැඩි වුණා.

ශානක ජයකොඩි

ඉතිං අපේ මේ ස්ටැට් පොටෝ ආයතනය ආරම්භ කරලා,1984, 85 අවුරුදු ගෙවිලා යද්දී අපිට තවත් වැඩ වැඩි වුණා. මොකද ඔය කාලේ වෙද්දි ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව තිබුණා ඒ කාලේ.ලංකාව යම් දියුණු පැත්තකට යොමු වෙලා තිබුණේ ඒ වෙද්දි. ඒත් එක්කම ගාමන්ට්  පැක්ටරි  වාගේ අලුත් ව්‍යාපාරික ආයතන ආරම්භ වීම වැඩි වුණා කටුනායක පැත්තේ.  කටුනායක තිබුණු කොරියන් ලංකා වගේ   ගාමන්ට් පැක්ටරි වල  බිල් පොත් සහ වෙනත් ලිය කියවිලි වගේ දේවල් මුද්‍රණ කටයුතු අපිට කරන්න වුණා. ඒත් එක්කම ප්‍රේමදාස මහත්තයාගේ නිවාස දසලක්ෂය වැඩසටහන පටන් ගත්තා. ඒ⁣කෙන් ඔය සාමාන්‍ය ගෙවල් ඒ නිවාස දශලක්ෂයේ වැඩසටහන යටතේ හදන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් ආධාර ලබාගන්න නිවාස සැලසුම් මුද්‍රණ කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ අනුව අපි ගෙනාවා මීගමුවට පළමුවැනි වතාවට ලෑන්ඩ් ප්‍රින්ටින් මැෂින් එකක් ඒකට බ්ලූ ප්‍රින්ට් කියලත් කියනවා.ඕව තිබුනේ කොළඹ විතරයි.1985 විතර වෙද්දී අපි ඒ මැෂින් මීගමුවට අරගෙන ඇවිල්ලා මීගමුවේ බ්ලු ප්‍රන්ටින්  වැඩේ පටන් ගත්තා. ඒත් එක්කම අපි ලැමිනේටින් සේවාව සහ බයින්ඩින් සේවාවත් මේ ස්ථානයේ කරන්න පටන් ගත්තා. මේ වෙද්දි ටයිපින් වැඩත් වැඩිවෙලා තිබුනා අපිට. ඒක නිසා ටයිප් රයිට්න් වැඩ වලටත් හතර පස් දෙනෙක්ම අපි වැඩට බඳවා ගත්තා. ඔහොම යද්දි තමයි කොම්පියුටර් හෙවත් පරිඝනක තාක්ෂණය ලංකාවට ආවේ.

එතකොට කොහොමද ස්ටැට් පොටෝ ආයතනය අද තියෙන දියුණු පරිගණක තාක්ෂණය මේ මුද්‍රණ සේවාවන්වලට යොදාගත්තේ ?

සාමාන්‍යයෙන් මගේ සිරිතක් තියෙනවා, මං කොහේ හරි ගියත්, පත්තරයක් අතට ගත්තත්, මම සොයලා බලනවා  මේ වෙද්දි මුද්‍රණ සහ සන්නිවේදන සේවා සඳහා හඳුන්වලා දීලා තියෙන අලුත් තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද මොනවද කියලා.ඒත් එක්කම අපි ළඟට එන තාක්ෂණික ශිල්පීන්.ඒ කියන්නේ මේ ටෙක්නිශියන්ලා, එයාලාගෙනුත් මම බොහෝ අලුත් අලුත් දේ දැනගන්නවා. ඉතින් පරිඝණක තාක්ෂණය ගැන මම  එච්චර දන්නේ නැතත්, ඒ  තාක්ෂණය ගැන දන්න අයව මම මෙතනට රැකියාවට බඳවා ගත්තා. සමහර වෙලාවට එයාලට ඒ තාක්ෂණය ගැන වැඩිපුර දැනුමක් අවශ්‍ය වුණොත් මම ඒ අදාල තැන් වලට එයාලව යොමු කරලා ඒ තාක්ෂණය ගැන එයාලට වැඩි දැනුමක් ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ විදිහට තමයි අපේ ආයතනයට අලුත් පරිඝණක  තාක්ෂණය වගේ දේවල්  ලබාගත්තේ. ඔය විදිහට වැඩ කටයුතු කෙරෙද්දි, මගේ පුතා.  ශානක, උසස් පෙළ සමත් වුණාට පස්සේ  ඒ දැනුම ලබාගන්න මම එයාවත් ඒ සඳහා අවශ්‍ය තැන් වලට යොමු කෙරුවා.  මුලින්ම මම ඔහුව මෝටර් මැකෑනික් පාඨමාලාවකට යොමු කලා. ඉන් පසුව ඔහුව රජයේ මුද්‍රණාලය විසින් මෙහෙයවන මුද්‍රණ තාක්ෂණය සම්බන්ධ පාඨමාලාවකට ඔහුව යොමු කෙරුවා. ඊට පස්සේ මම ඔහුව අඳුනන කෙනෙක් මාර්ගයෙන් ඩුබායි වල රැකියාවකට පවා යොමු කෙරුවා.
පසුකාලීනව  පරිගණක තාක්ෂණය ගැන, ඒ තාක්ෂණයේ සොෆ්ට්වෙයාර්  (Software) සහ හාර්ඩ්වෙයාර් (Hardware) ගැන  ඔහු ඉතාමත් හොඳට පුරුදු පුහුණු වුනා. ඉතින් ඔහුට මේ පරිගණක සම්බන්ධ තාක්ෂණය  සහ පරිගණක මෙවලම් ගැන ඉතාම ඉහල දැනුමක් සහ අවබෝධයක් තියෙනවා . ඔහුට ඒවා අලුත් වැඩියා කරගන්න එහෙම පුළුවන් විශේෂ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක අපේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යාමට විශාල රුකුලක් කියලයි මම හිතන්නේ . මේ වෙද්දී මේ ආයතනයේ සියලු කටයුතු ඔහු ඉතා හොඳින් කරගෙන යනවා. ඔහුට දැන් තනියම මම ඇතත්, නැතත් මේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් දැනුමක් සහ හැකියාවක් තියෙනවා.

මේ වෙද්දී ස්ටැට් පොටෝ ආයතනයෙන්  සලසන  සන්නිවේදන සහ මුද්‍රණ සේවා කටයුතු මොනවද ?

මෙතනින් සලසා ගන්න පුළුවන් සේවා කීපයක්ම තියෙනවා. ටයිප් සෙටින් වර්ණ සහ කලු සුදු ෆොටෝ කොපි සේවාව සහ ඩුප්ලෝ සෙවාව, ප්ලෑන්  ප්‍රින්ටින්, බයින්ඩින්,  ලැමිනේටින්.  ඇතුළු සේවාවන් මේ ආයතනයේදී සිදු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි ඔප්සෙට් ප්‍රින්ටන් ආරම්භ කරලා තියෙනවා. ඒ අවශ්‍ය යන්ත්‍ර වෙනමම අපේ ගොඩනැගිල්ලක් තියෙනවා ඔය කෲස් කොන්වන්ට් එක ගාව, එතන අපි මේ වෙද්දි ඒ  ඔප්සෙට් මුද්‍රණ කටයුතු කරගෙන යනවා. අපි ළඟට එන අයට අවශ්‍ය විශාල ප්‍රමාණ වලට ඒ මුද්‍රණ කටයුතු දැන්  කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගාව තියෙනවා ලේසර් ප්‍රින්ටින් එකත්.ඒ එක්කම  නෝමල් ඉන්ක් එක භාවිතා කරලා කරන පින්ටිනුත් අපි ගාව තියෙනවා. නෝමල් ඉන්ක් එක භාවිතා කරලා කරන ප්‍රින්ටින් වලට යන වියදම ටිකක් අඩුයි. හැබැයි ලේසර් ප්‍රින්ටින් කරනවා නම් හොඳ කොලිටියක්  ලැබෙනවා. හැබැයි වියදමට ටිකක්  වැඩි වෙනවා. ඉතින් ඒක අපෙන් සේවාව ලබාගන්න එන පාරිභෝගිකයාගේ අදහස අනුව තමයි ,ඒක තීරණය වෙන්නේ .
ඉතින් මේ වෙද්දි අපි ළඟට හුඟක්ම එන්නේ මේ උපකාරක පන්ති සේවාවේ යෙදෙන ටියුෂන් ගුරුවරු තමයි.ඒත් එක්කම හෝටල්, බැංකු, මූල්‍ය ආයතන සහ විවිධ  ආයතන සහ කර්මාන්තශාලා වලිනුත් එනවා. මේ වෙද්දි අපි ළඟ 15 දෙනෙක් පමන වැඩ කරනවා   

එදා සහ අද මේ ආයතනයෙන් සේවාවන් සලසා ගන්න එන පාරිභෝගිකයින් ගැන ඔබට මොකද හිතන්නේ ?.

ඒ කාලේ නම් අපෙන් සේවාවන් ලබා ගන්න ආපු පිරිස ඒ කියන්නේ කස්ටමර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් හිටියා. නමුත් අපි දැන් එහෙම වැඩි පිරිසකගේ වැඩ කරන්න තියාගන්නේ නැහැ. මොකද අද වෙද්දි  පොලු තියෙන අය වැඩියි. ඉස්සර නම් අපි එන අය හැමදෙනෙකුගේම වැඩ කරලා දුන්නා, ඇඩ්වාන්ස් ගත්තෙත් නෑ. නමුත් දැන් අපි එහෙම එන හැම කෙනෙකුගේම වැඩ කරන්නෙත් නෑ. දැන් නම් ඇඩ්වාන්ස් එකක් අරගෙන තමයි වැඩ භාරගන්නේ. මොකද හැම කෙනෙකුගේම වැඩ අරගෙන මුදල් හිර කරගන්නවට වඩා වාසියි, අර හැමදාම එන විශ්වාසවන්ත අයගේ වැඩ කරලා දීලා මුදලක් ගන්න එක.දැන් නම් අපි ඉස්සර වගේ නෙමෙයි, ඇඩ්වාන්ස් එකක් අරගෙනම තමයි වැඩ භාරගන්නේ.
අනිත් එක දැන් මේ වගේ වැඩ කරන තැන් ගණනාවක්ම තියෙනවා. අපි බොහෝ විට බලන්නේ වැඩ ගොඩක් ගන්නවට වඩා අපේ කොලිටි එක තියාගෙන කරන්න පුළුවන් වැඩ පමනක් භාරගන්න  සේරම වැඩ බදාගෙන මුදල් හිර කරගන්නවාට වඩා අපිට විශ්වාසවන්ත  අයගේ වැඩ  අරගෙන ඒක කොලිටියට කරලා දීලා ඒ මුදල් ටික ලබාගන්න එක, ඇත්තටම අපිට වාසියි . ඒවගේම ඒක අපේ ව්‍යාපාරයටත් හොඳයි කියලා තමයි මගේ පුතා ශානකත් නිතරම කියන්නේ

ස්ටෙට් පොටෝ ආයතනයට තව එකතු විය යුතු සේවාවන් සහ නවාංග මොනවාද ?

නව තාක්ෂණික අංශයෙන් නම් දැන් ඇවිල්ලා තියෙන ඩිජිටල් කියන තාක්ෂණය තමයි තියෙන්නේ. ඒක අපේ ව්‍යාපාරය තුළ කරන්න ගියොත් ඒක විශාල කාර්යභාරයක්.මේ ව්‍යාපාරය තුල ඒක කරන්න ඇත්තටම අමාරුයි. අනික ඒක වෙනමම තාක්ෂණික ක්‍රමවේදයක්. ඒක මෙතන කරන්න ඇත්තටම අමාරුයි.ඒක වෙනමම පරිපාලනයක් වෙනමම කාර්ය මණ්ඩලයක් වගේ දේවල් අවශ්‍යයි.අනික තමයි ඒකට භාවිතා කරන කෙමිකල්ස් ඒ කියන්නේ මේ රසායන ද්‍රව්‍ය වකුගඩු වලට එහෙම එතරම් හිතකර නැති බව තමයි, දැනගන්න ලැබුණේ. ඉතින් ඒක නිසා ඒ තාක්ෂණය අපි මේ ආයතනයට සම්බන්ධ කරන්න කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ.

අනික තමයි ලෝකයේ ඉතා ඉක්මනට අලුත් අලුත් දේවල් එකතුවෙලා දියුණු වන ක්ෂේත්‍ර දෙකක් තමයි, සන්නිවේදන ක්ෂේත්‍රය සහ මුද්‍රණ ක්ෂේත්‍රය කියලා කියන්නේ. අද හඳුන්වා දුන්නු තාක්ෂණය සහ මෙවලම් යන්ත්‍ර සූත්‍ර, හෙට දව⁣ස වෙද්දි වෙනස් වෙලා ,වැඩිදියුණු වෙනවා. අද තියෙන පරිඝණකය නෙමෙයි හෙට වෙද්දි වෙළඳපොළට එන්නේ මේ සන්නිවේදන සහ මුද්‍රණ කියන ක්ෂේත්‍රවල භාවිතා කරන තාක්ෂණය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් එන අලුත් අලුත් තාක්ෂණික ක්‍රමවේද වලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න අපිට සිදුවෙනවා.හැමදාම එකම තාක්ෂණයෙන්, සුපුරුදු  යන්ත්‍ර සූත්‍ර සූත්‍ර වලින් හැමදාම වැඩ කරන්න බෑ. ඉතින් මේ ක්ෂේත්‍ර තුළ ඉන්නවනම් නව තාක්ෂණය දිනෙන් දින අපේ මේ ව්‍යාපාර වලට එකතු කරගන්න සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඒක ඉතින් අපි දැනටමත්  කරගෙන යනවා.

ඔබ මේ වෙද්දි වසර 45 ක කාලයක් මීගමුව නගරයේ ව්‍යාපාරික කටයුතු කරන අත්දැකීම් සහිත ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මීගමුව ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි ?

මීගමුව කියලා කියන්නේ ඉතාමත්ම සීග්‍රයෙන් දියුණු වෙන නගරයක්.මේ නගරයේ යම් කෙනෙක් බුලත් විට කඩයක් දැම්මත්,  ඒ කෙනාට දියුණු වෙන්න පුළුවන් නගරයක්.එක පැත්තකින් මහා මුහුද, අනෙක් පැත්තෙන් කලපුව, මේ දෙපැත්තෙන්ම මීගමුව වට වුණත්,මීගමුව කියලා කියන්නෙම ව්‍යාපාරික මර්මස්ථානයක්. ඒ කියන්නේ බිස්නස් පොයින්ට් එකක්.උදාහරණයක් විදිහට කිව්වොත් මහජන බැංකුව,  ලංකා බැංකුව එතකොට හැටන් නැෂනල් බැංකුව වගේ බැංකු දෙක ගානේ තියෙනවා, අනික යුනියන් බැංකුව,  සම්පත් බැංකුව මේ වගේ ලංකාවෙ තියෙන හැම බැංකුවක්ම මේ නගරයේ තියෙනවා. ඉතින් එහෙම බැංකු තියෙන්නේ ඇත්තටම මේක විශාල ව්‍යාපාරික නගරයක් නිසා..පහුගිය කාලේ අලුතින් මෝටර්  සයිකල් වැඩිපුරම ගෙන්නලා තියෙන්නෙ මීගමුව නගරයට කියලා,  හෙළිදරව් වෙලා තියෙනවා. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ නගරයේ තියෙන කඩ සාප්පු නිසා විශාල වශයෙන් මේ නගරයේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙනවා. ඒ එක්කම කතෝලික ජනතාව වැඩිපුරම පිටරට ගිහිල්ලා එවන සල්ලි නිසාත් මේ නගරයේ ව්‍යාපාර දියුණු වෙනවා. ඉතින් මේ නගරයේ ව්‍යාපාරයක් කරලා පාඩු ලබනවා කියලා කිව්වොත් ඒක කලාතුරකින් සිදුවෙන දෙයක්. හරි විදිහට මේ නගරයේ ව්‍යාපාරයක් කෙරුවොත් ඉතා ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන්. ඒ තරමටම ව්‍යාපාරවලට හොඳම නගරයක් තමයි මීගමුව කියලා කියන්නේම

ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න  අලුත් අයට, ඔබට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද ?

ව්‍යාපාරයකට අත්‍යවශ්‍යම දේ තමයි කැපවීම, වැඩක් කරන්න ගත්තාම රෑ වෙයිද කියන එක වාගේ  ප්‍රශ්න කවදාවත් ඇති කර ගන්න හොඳ නැහැ.අවශ්‍ය වෙන්නේ ඒ වැඩේට කැපවීම.එහෙම කැප වුණොත්  ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන්. අපි වැඩ කරන වෙලාවට වැඩ කරන්න ඕන. දැන් මගේ තාත්තා කියපු දෙයක් තමයි, ඉරිදා දවස් වලට ඒවගේම මර්කන්ටයිල් නිවාඩු දවස්වලට වැඩ කරන්නෙ නෑ. අනෙක් හැම දවසකම අපි වැඩ කරනවා. ව්‍යාපාරිකයෙකුට තියෙන්නෙම ඕන දෙයක් තමයි ටයිම් ටේබල් එකක්  ඒ කියන්නේ මේ කාලසටහනක්. ඒක අත්‍යවශ්‍යමයි.ඒ වගේම හොඳ ප්ලෑන් එකක් එහෙම නැත්නම් සැලසුමකුත් අත්‍යවශ්‍යයි. ඉතින හොඳ සැලසුමක් හදාගෙන කාලසටහනක් අනුව කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් කරලා, ඒක සාර්ථක කරගන්න පුළුවන් කියන එකයි මගේ උපදේශනය.