”මම මිනීමැරුවේ නැහැ” වෛද්‍ය සුදර්ශන බාලගේ -චමිලාව බිම දිගේ ඇදගෙන ගියේ වෛද්‍ය බාලගේමයි- බියට්‍රිස්

0
1030
වෛද්‍ය සුදර්ශන බාලගේ සහ බිරිඳ

 

මීගමුව රෝහලේ 6 වන මහලේ කාමරයක තිබි හමුවු චමිලාගේ අත්බෑගය
මීගමුව රෝහලේ 6 වන මහලේ කාමරයක තිබි හමුවු චමිලාගේ අත්බෑගය
වෛද්‍ය සුදර්ශන බාලගේ සහ බිරිඳ
වෛද්‍ය සුදර්ශන බාලගේ සහ බිරිඳ
නඩුවේ ප්‍රධාන සාක්ෂිය සැපයු බියට්‍රිස් මහත්මිය
නඩුවේ ප්‍රධාන සාක්ෂිය සැපයු බියට්‍රිස් මහත්මිය

වසර 2007 නොවැ 12 වනදා මීගමුවරෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්වු චමිලා දිසානායකගේ ඝාතන සැකකරු වන වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් පසුගිය මාර්තු 26 වනදා අධිකරණයේදි ලබාදුන් සාක්ෂිය මේ නඩුව වඩාත් විවාදාත්මක තත්වයක් ජනිත කර තිබේ.
එනම් මෙතෙක් ගරු අධිකරණයට වරන් වර කැදවා තිබුණ සාක්ෂි වලින් කියැවනු කරුණු වලට එහෙම පිටින්ම පටහැනි විස්තරයක් මෙම සැකකාර වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කර සිටිමයි.
කෙසේ වෙතත් මේ සියල්ල ඉදිරියේදි විවාදයට ගැනෙනු ඇත.
මේ නඩුව අරඹයා මීගමුව තුල මහත් පිළිකුලෙන් යුතුව කථා බහට ලක්ව තවත් එක් වැදගත් කරුණක් වෙයි.
එනම් දුපපත් අසරණ වෙළද කලාප යුවතියක් ඝාතනය කරන ලද නඩුවක  සැකකරු වෙනුවෙන් පෙනි සිටින මීගමුවේ එක්තරා නිතිඥයෙකු පිළිබදවය.
ඔහු ජනතා සේවය සදහා දේශපාලනය පමණක් නොව ඒ වෙනුවෙන්  වු ප්‍රධාන වගකිමකටද හිමිකම් කියන්නෙකි.
කෙසේ වෙතත් චමිලාගේ ඝාතකයාට දඩුවම් දිම සහ ඒ ඝාතකයා නිදහස් කරගැනිම යන ද්වන්ධ සටන දැන් අධිකරණය තුල විවාදයට බදුන් වෙමින් තිබේ.
යුක්තිය සහ ඒ වෙනුවෙන් සැබැවින්ම පෙනි සිටියෝ කව්රුන්දැයි තීන්දු කෙරෙන දිනය වැඩි ඈතක නැත.

මම මිනීමැරුවේ නැහැ. නිර්දෝෂි පුද්ගලයෙක් වන මට මේ කර ඇති චෝදනා නිසා මගේ මුළු ජීවිතයම විනාශ වී ඇතැයි මීගමුව රෝහ‍ලේදී තරුණියක් දූෂණය කර 6 වෙනි මහලෙන් බිමට තල්ලු කර මරා දමන ලදැයි කියන සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා 26 දා පැවැති නඩු විභාගයේදී විවෘත අධිකරණයේදී පැවැසීය. මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගපූර් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
මීගමුව මහ රෝහ‍ලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු වශයෙන් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඉන්දික සුදර්ශනබාලගේ නමැති වෛද්‍යවරයා මෙම සිද්ධියට චෝදනා ලබා සිටියේය.
දඹගල්ල කටුකරුමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ චමිලා දිසානායක නම් (එවකට) 22 වියේ පසු වූ ඇඟලුම් සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කර මීගමුව රෝහලින් බිමට තල්ලු කර මරා දමන ලදැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්‍ලේ සඳහන්ය.
සැකකාර වෛද්‍යවරයා විවෘත අධිකරණයේදි තවදුරටත් මෙසේ පැවැසීය.
මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම  5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහ‍ලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා.
මීගමුව රෝහ‍ලේ 6 වෙනි මහ‍ලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා. බිරිඳ හෙදියක් ලෙස රාගම රෝහ‍ලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකථන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
පෙ.ව. 8.20ට පමණ වෛද්‍ය ඉන්දික ආව. 9.30ට පමණ මම 6 වෙනි මහ‍ලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිඳ කාමරයේ සිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිඳ ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාරා කියන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා ඊට පසු මම එම රෝගියාව පරික්ෂා කළා. ඇය හයිපතයිරොයිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. නැවත එම රෝග මතුවෙලා. මම ඒ ගැන ඇගේ සායන ‍පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බිලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා.
විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියව ඊ4 ඊ.ඉ.ඩ්. පරීක්ෂණය කරන්නට කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මේක කොහෙන්ද කරන්න පුළුවන් පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනා නම් රු. 170ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයට දුන්නා. පුළුවන් කමක් තියෙනවා නම් කරන්ඩ කියලා.
මම 6 බි වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ මම ශල්‍ය කාමරයට එන්න කිව්වා.
මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා.
මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.26 වෛද්‍ය ධම්මික මහතාට ‍පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා.
කාමරය අසල ‍පොලීසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා ‍පොලීසිය කිව්වා. ‍පොලීසිය කිව්වා මගේ කාමරය පරික්ෂා කිරීමට අවශ්‍ය බව මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරී ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කීවා ‍පොලිස් පරික්ෂණවලට සහය දෙන්න කියලා. ‍පොලීසිය කාමරය පරික්ෂා කළා. මට රෝහල් ‍පොලීසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්තා.
මට මුකුත් අදහගන්ඩ බැරි වුණා. මුළු රෝහ‍ලේම අය බලන් සිටින විට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිඳ ජීප් එක ළඟට ඇවිත් කිව්වා ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව ‍පොලීසියට ගෙනියලා අත් දෙක බැඳලා ඇඟිලි තුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වන තුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා.
මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුණේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා ‍පොලීසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ  බියට්‍රිස්ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා.
මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍ය වරයෙක් අනේ  මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා. සැකකාර වෛද්‍ය වරයා අවසාන වශයෙන් පැවැසීය.
විත්තිය වෙනුවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා සමග ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා හා තනුජ හතුරුසිංහ මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් හා නීතිඥ තුසිර මැලෙව්වෙ තන්ත්‍රි යන මහත්වරු ඉදිරිපත් වූහ. රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂී හේරත් මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.

රේමන් අ‍පෝන්සු මීගමුව ලක්බිම

සැකකාර සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඩ්බෝඩ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත්‍රතා අංශයේ බ්‍රියට්‍රිස් මහත්මිය විස්තර කළේ මෙලෙසිනි……

මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියටී්‍රස්.          මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි.
මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා.
මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ.
ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා.

එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්.  අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ.  ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා.
අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්.
මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා.
නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ.  ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ.
ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා.
ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට  මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා.

ඝාතනයට ලක්වු චමිලා

බ්‍රියට්‍රිස්  ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ.
ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා. මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ.
ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන්ගියා කියලා. එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග)  ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේ්ෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා.
මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන්ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා.
මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු  චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.