මරණයට අත වනන පෝලිම සහ ජීවිතයට පණ පොවන අරගලය …

0
311

මේ වනවිට ⁣ගෑස් , ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දෑ ලබාගැනීම සඳහා පවතින පෝලිමේ මියගිය සංඛ්‍යාව 14 ක් බවට නිල තොරතුරු සඳහන් කරයි. මුල් අවධියේ පෝලිම පිළිබඳව පවසන විට කතා බහට ලක්වූයේ පැය ගණන් පෝලිමේ සිට හෙම්බත්වූ ආකාරය ගැනය. නමුත් මේවනවිට එය දින ගණන් දක්වා වෙනස්වී ඇත. එය දැන් ජීවන ක්‍රමය බවට පත්වී ඒනිසාම ජන ජීවිතය විකෘති තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත . තම තමන් ගැන හිතන සහ ඒ අනුව හැසිරෙන මිනිස්සු මිස අනෙකා ගැන හිතා කටයුතු කරන මිනිස්සු මේ පෝලිම් වල දැකීමට නැති තරම්ය. මේ තුළ මිනිස්සු එකිනෙකාට එරෙහිව ඇනකොටා ගන්නා තත්ත්වයකට පත්වී ඇත .

ජනතා ආරක්ෂාවට සිටින පොලීසියේ සමහර නිලධාරීන් මෙම තත්ත්වයන්ට මැදිහත් වන්නේ ඒවා විසඳීමට නොව ඒවා වර්ධනය කෙරෙන ආකාරයටය. සමහර අවස්ථාවල ඔවුන් ගෑස් හෝ ඉන්ධන පෝලිමේ මෙම තත්ත්වයන් මතුකරන ප්‍රධාන සාධකය බවටද පත්වී ඇති බව මාධ්‍ය තොරතුරු වළින් ප්‍රකාශවේ. අද මේ ආකාරයට අව්ව , වැස්ස නොතකා තම රෝගී තත්ත්වයන් නොතකා කිලෝමීටර් ගණන් දගු පෝලිම් වල සිය කැමැත්තෙන් වඳ විඳින්නට ජනතාවට බලකෙරී ඇත . නැතහොත් පත්කර ඇත .ඉන්ධන හෝ ගෑස් නැති බව ප්‍රකාශ කළද ඔවුන් පෝලිම අත්හැර නොයති.

ජීවිතය ජීවත් කිරීම සඳහා කරන අරගලය ප්‍රධාන වන බව අපි කව්රුත් පිළිගත යුතුය .

නමුත් ගෑස් සහ ඉන්ධන පෝලිම් වලට ජනතාව කැඳවීමට හේතුව මෙම දුෂිත පාලකයින් මිස අසරණවූ, පීඩාවට ලක්වන ජනතාව නොවන බව කිවයුතුය . අද ජනතා විරෝධය වෙනතක හැරවීමේ ප්‍රබල අවශ්‍යතාවය ඇත්තේ මෙම දුර්දාන්ත පාලකයින්ටය. එනිසා සාමුහික අරගලය දියකර හැරීමට ඔවුන් නොගන්නා උත්සාහයක් නැත . පසුගිය දිනවල සිදුවූ ව්‍යසනයේ සැබෑ අපරාධ කරුවන් සඟවා ගනිමින් , අරගලයේ යෙදෙන තරුණයින් අත්අඩංගුවට ⁣ගන්නේ එම ආණ්ඩුවේ අරමුණ සනාථ කරමිනි.

මෙකී තත්ත්වය මත මෙම ආණ්ඩුවේ අරමුණ ඉටුකර ගැනීමට ඉඩකඩ ලබාදීම මුළු මහත් ජනතාවගේ නිදහස වලපල්ලට යැවීමට කරන උත්සාහයක් බව නිද්‍රාශීලීව සිටින සහ පෝලිමේ සිටින සියළු ජනතාවට අපි අනතුරු අඟවමු.


එබැවින්

ජනතාවෙනි!


මෙම ගෑස් , ඉන්ධන , විදුලිය නැතිකම, අහස උසට බඩුමිල ඉහළ යාම මෙම දූෂිත පාලනය නිසා සිදුවන්නක් වන බැවින් ඊට එරෙහිව සියළු පක්ෂ පාඨ ආදී සියළු භේද අමතක කර එකතුවිය යුතු බව සඳහන් කරන අතර
ඔබේ අසරණ කම දඩමීමා කරගනිමින් කටයුතු කරන මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට ඇති එකම මග ඊට එරෙහිව කරන සැබෑ අරගලය බවද අවධාරණය කරමු.

සැම්සන් ඥානසිරි