( 12.30 pm ) අදින් දහසය වසරකට පෙර ඇනීමෙන් මිනිසුන් මරා දැමීමට තැනූ ආයුධයක් බාවිතා කර දෙනෝදාහක් යනෙන පාරකදී මරා දැමුනු පත්තර සගයෙකුගේ මිනීවලක් මත ඉටිපන්දමක් පත්තු කරන්නට එකතු වූ කුඩා හිතවතුන් පිරිසකට මමද අද එකතු වුනෙමි. මට බොරැල්ල කනත්ත නුහුරු නුපුරුදු තැනක් නොවේය. එහෙත් අද මට එය සම්පූර්ණයෙන්ම, මා මීට කාලෙකට පෙර ආ බොරැල්ල කනත්ත මෙන් නොහැඟවේ. එය මට අද දැනෙන්නේ අනේක විද රහස් කන්දාරවක් සඟවා ගෙන සිටින භූමියක් ලෙසය. මේ භූමියට කතා කල හැකිනම් කෙබඳු කතාවක් කියනු ඇත්දැයි මට සිතේ. ඒ බිම අනන්ත අප්රමාණ වචන සහිත වූවද, නිහඬ බව එහි ව්යාකරණ බව මම දනිමි.
ඒ කෙසේ වෙතත්, මා සොහොන් කොත් අතරින් පිය නගමින්, එතෙක් නොදුටු කුඩා සොහොන් බිමක් සොයා පියවර මැන්නේ දුරදීම දැකිය හැකි විශාල සෙනගකගේ දර්ශණයක් දැකීමේ අපේක්ෂාවෙන්ය. එහෙත් මරණය දක්වා තමන් ළඟ සිටිනු ඇතැයි කාලයකට පෙර ලසන්ත වික්රමතුංග සිතා සිටින්නට ඇති, කුඩා පිරිසක් ඔහු පොලොවට දිරාපත්ව ඇති ඒ කුඩා බිම් කඩ අසල හිස් බිමට බරකරගන සිටියේය. ඔහු වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කර පත්තර සගයන් ලෙස අප දෙදෙනා වෙත වූ මතකයන් මම මොහොතකට ආවර්ජනය කර පසෙකට වූවෙමි. එහි සිටි ඇතැම් පැරණි සගයන්ව මට හඳුනා ගත නොහැකි වුවත්, වසර ගනණකට පසුව මා දුටු දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහෝදරිය කණට කොඳුරා කීවේ “තව ටිකෙන් ඔයාගෙ සොහොනත් ඔය එහා පැත්තෙන් තියෙන්න තිබුනා” කියාය.
මා රටින් බැහැරව ගොස්, දින පහලොවකට පසු, ලසන්ත වික්රමතුංගව මරා දමමින් එතෙක් සීතල යුද්ධයක් පමණක්ව තිබූ ශ්රී ලංකාවේ ජනාමාධ්යට එරෙහි දැවැන්ත යුද්ධ පෙරමුණ විවෘත විය. එක් පසෙක පෑනත් කැමරාවත් ගත් මිනිසුන් සහ අනෙක් පසින් දැවැන්ත රාජ්ය යාන්ත්රණයක අඳුරු සෙවනැළි අතර හොඳින් පුහුණු වූ සන්නද්ධ කණ්ඩායම් විය. බලය විසින් උන්මත්තකයෙක් බවට පත් කල බෙලහීන මිනිහෙක් එම කණ්ඩායමේ අවසාන අණදෙන්නා බව සිවිල් සමාජයේ නොපිළිගන්නා අයෙකු නැත. එහෙත් නීතිය සහ එහි ක්රියාත්මක බව පිළිබඳ බරපතල සැක සංකා ඉතිරි කරමින් අදද, ලසන්තගේ මරණය පිළිබඳ ඔහුගේ හිතවතුන් සහ මානව ක්රියාධරයන් එම සොහොන් වල ළඟ සිටගෙන මෙනෙහි කරන්නේ, ලසන්තව මරා දැමීමට අණ දුන් අය විත්ති කූඩුවට නංවන දිනය කවදාදැයි මිසක් අනෙකක් නොවේය.
චෞර ග්රහණයෙන් මිදුනු මේ දේශපාලන වට පිටාව තුල, ප්රජාතන්ත්රවාදී රාජ්යයක් තුල අදහස් ප්රකාශ කිරීම නිසා මිනිසුන් ඝාතනය කර දැමීම නවතා දැමීමේ පරම උත්සාහය සඳහා පූර්වාදර්ශ සැපයීමට ලසන්තගේ ඝාතකයා පිටුපස සිටි අණදෙන්නා විත්ති කූඩුවට ගෙන ඒම අනිවාර්යය සාධකයක් බව සියළු මානව හිතවාදීන් සහ මාධ්ය සහෝදරවරු පිළිගන්නා බවට සැක නැත. මරාදැමූ අපගේ මාධ්ය සගයන් ඔවුන් ඝාතනයට ලක් වූ දින අනු පිළිවෙලින් ගත් විට, ලසන්ත වික්රමතුංග පලවෙනියා නොවන්නේය.
ලසන්තගේ වික්රමතුංග’ගේ නමින් පසුව මෙම ලැයිස්තුව නිම කිරීමේ ඓතිහාසික වගකීම ඇත්තේ ජනතාව විසින් පරමාධිපත්යය පවරා දුන් රාජ්ය අධිකාරියට බව ප්රතික්ශේප කල නොහැක. ඒ සඳහා ඇති උත්තරීතර ක්රියාමාර්ගය ඇත්තේ මෙතෙක් නීතිය නිසියාකරව ක්රියාත්මක වීම සඳහා බදා කරන පැරණි දේශපාලනයේ බලපෑම් ඉවත් කිරීමය. එය ලසන්තටත්, එයට පෙර මිය ගිය අපගේ සහෝදරවරුන්ටත් දැක්විය හැකි එම අවසාන ගෞරවයයි.