මරණ දණ්ඩනය කිසිදා යුක්තිය සමග පෑහෙන්නේ නැත!

0
84

FB_IMG_1571222144378ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් පැවැසීය.

මෙම යෝජනාව වෙත කිසිදු ආකාරයකින් එකඟ වීමට මානුෂිය හා සදාචාරත්මක අයිතියක් කිසිවෙකුට නැති බව අප හැඟීමයි.

එල්ලුම් හෙවත් මරණ දඬුවම ලංකාවේ අහෝසි කොට නැත. සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ලබා දෙන ප්‍රකාශය අත්සන් නොකිරීමයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට ඇත්තේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ලබා දෙන බවයි.

මරණ දඩුවම ඉල්ලා සිටින බොහෝ දෙනෙක්ගේ තර්කය වන්නේ ඒ හරහා අපරාධ අධෛර්යමත් කෙරෙන බවයි. නමුත් ලෝකයේ කිසිඳු රටක එසේ වූ බවට පැහැදිලි සාධකයක් නැත. එසේම ලංකාව වැනි නීති පද්ධතියේ අඩුපාඩු බහුල රටක අහිංසකයෙකු මරණ දඬුවමට ලක්වීමේ දැඩි අවධානමක් පවති.

එසේම අහිංසකයෙකු වැරදිකරුවෙකු වීම ඉතා විරල ගනයේ සිදු වීමක් නොවේ. විශේෂයෙන් බොරු සාක්ෂි දීම සහ සාක්ෂි විකෘති කිරීම අතින් ලංකාව පොහොසත්ය. අනෙක් අතට ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ඇති චෝදනා ද සුළු පටු නොවේ. එපමනක් නොව කරුණු වරදවා වටහා ගැනීම නිසා ද අහිංසකයෙකු වැරදිකරුවෙකු විය හැක.

එසේම පසුගිය සමයේ විනිසුරුවරුන්ගේ අපක්ෂපතිභාවය සම්බන්ධ සිදුවීම් ගණනාවක් ද පවතී. හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක මහතා සම්බන්ධ සිදුවීම මිට ඇති ප්‍රකටම හා හොඳම උදාහරණයයි.

එසේම නීති වෘත්තියේ අසාර්ථකත්වයන් ද යුක්තිය පසිදලීමේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කරන්නකි. විශේෂයෙන් යම් විත්තිකරුවෙකුට නීතිඥයෙකු නැතොත් හෝ ඔහුට ඒ සඳහා ආර්ථික හැකියාවක් නැත්නම්, අධිකරණයෙන් අහඹු ලෙස තෝරාගන්නා නීතිඥයෙකු ඔහු සඳහා පත්කරනු ලැබේ. බොහෝවිට එම නීතිඥයන් නුපුහුණු වන අතර අත්දැකීම් විරල ය. එවන් නීතිඥයෙක්ගෙන් අදාළ විත්තිකරුට සාධාරණය බලාපොරොත්තු විය හැකි ද යන පැනය අප ඔබට ශේෂ කරනෙමු.

එපමණක් නොවේ, සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ දෙවැනි ප්‍රොටෝකෝලය, මරණ දඬුවම අහෝසි කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදයේ 11වන ව්‍යවස්ථාව සඳහන් වන්නේ “කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය.” යනුවෙන් ද සඳහන්ව තිබිය දී මරණ දඩුවම පැනවීමට උත්සහ දැරීම කෙතරම් සාධාරණ ද?

එසේම අවිහිංසාව පදනම් කරගත්, බෞද්ධ ජනතාව වැඩිවශයෙන් ජිවත් වන රටක් ලෙසත්, සදාචාරමකව මිනිස් ජීවිතයක් නැති කිරීම කොතරම් සාධාරණිකරණය කල හැකි දැයි යන්න ගැටලුවකි.

මේ අනුව බලන විට අපට මරණ දණ්ඩනය කෙරෙහි කිසිදු අයුරකින්වත් එකඟ වීමේ හැකියාවක් නැත. අනෙක් අතට මරණ දඬුවම, කිසි දවසක යුක්තිය සමග පෑහෙන්නේ නැති බවත් මෙහිලා සඳහන් කළ යුතුය.

ස්තුතියි!

#Vimukthi