ඔහුගේ සම්පූර්ණ නම කරීෆා මොහොමඩ් දරුවෙස්ය. මුස්ලිම් ජාතිකයෙකු වූ නමුත් එසේ කිව නොහැකි පෙනුමක් ඇති දරුවෙස් දක්ෂ පාපැදි කාර්මිකයෙකි. පෙරියමුල්ල සඥා පුවරුව අසලින් යන එන සෑම අවස්ථාවකදීම අපගේ සම්බන්ධතාවය කුළුපග සිනාවකට සහ වචනයක දෙකක කතාවකට සීමාවෙයි. නමුත් එක් නිදහස් අවස්ථාවක , සඥා පුවරුව අසල නතරවූ මොහොතක ඔහු සමඟ කෙටි කතාබහක යෙදීමට හැකි විය .එහිදී දරුවෙස් මා ඇසූ ප්‍රශ්ණ වලට අනුව එක දිගට තමන්ගේ ජීවිත කතාව වමාරන ලද්දේ මෙසේය .
“මම පොඩිකාලෙ අපේ තාත්ත කොළඹ , මට්ටක්කුලියෙ මුට්ට කර ගහල තමයි අපිව ජීවත් කළේ. අපේ පවුලේ අම්ම , තාත්ත එක්ක 9 ක් හිටිය. අම්ම නැති වෙනකොට මට අවුරුදු 14 ක් විතර ඇති . ලමයි 7 ක් බලාගන්නව කිව්වහම අමාරු වැඩක්. පවුල් බර නිසා මට ඉගෙන ගන්න බැරිවුනා .
කොහොමද මේ රස්සාවට යොමුවුනේ?
“අපේ අයිය තමයි මේ බයිසිකල් හදන වැඩේ මුලින්ම පටන් ගත්තෙ. එයා බයිසිකල් හදන විදිහ බලාගෙන ඉඳල මමත් ඉගෙන ගත්ත. එයා කෑමට ගියහම මම බයිසිකල් ගලවන වැඩ කරනව , එහෙම තමයි මේ රස්සාවට වැටුනෙ.
ඊට පස්සෙ මොකද වුනේ?
” අයියගෙ බයිසිකල් වැඩපල තිබුනෙ කාමච්චෝඩෙ. ඉතින් හැමදාම අපි එතනට යනව. යතුරක් අරගෙන අපිත් බයිසිකල් ගලවල පුරුදු වූනා. කාලයක් ගියාට පස්සෙ අයිය බැඳල මල්වාන පැත්තට ගියා. ඊට පස්සෙ මමයි පොඩි අයියයි තමයි මේ රස්සාව කළේ. අපි දෙන්න නිතරම පොඩි පොඩි රණ්ඩුත් වෙනව.
ඊලඟට මොකද කළේ?
“ඉන්පස්සෙ ඒ කඩේ පොඩි අයියටම දීල මම මාරි අම්මන් කෝවිල ලඟ රු. 300/ ක කුලියට කඩයක් අරගෙන පටන් ගත්ත. ඒක කරගෙන ඉන්න කොට පාර පලල් කරන්න නගරසභාවෙන් කඩේ කඩල දැම්ම. පස්සෙ මට තැනක් ගන්න සල්ලි තිබුනෙ නෑ. ඒනිසා ඒ ලඟම ලකු ගෙයක් ලඟ තාප්පයක් අයිනෙ ආයුධ පෙට්ටිය තියාගෙන හිටිය . ඒ මිනිහ නිතරම මට ලෙඩේ දානව එතනින් අයින් වෙන්න කියල. අව්ව තියෙන වෙලාවට මම ඩොලර් ස්ටුඩියෝ කාරයගෙ ගේ ලඟට යනව. එයත් මට කියනව එන්න එපා කියල. අවුරුදු 2ක් එහෙම ඉඳල වැල්ලවීදියට ගියා. එතන රු . 500/ ට කඩයක් අරගෙන අවුරුදු 13 ක් හිටිය. ඒ කාලෙ BBC එකෙන් ඇවිත් මගෙන් විස්තර අහගෙන ගියා මැගසින් එකකට. පස්සෙ එතනත් අයිතිකාරය විකුණුව. පස්සෙ මම ඒ කිට්ටුව තිබුනු ට්‍රාන්ස් පෝමරය ලඟ පෙට්ටිය තියාගෙන අවුරුදු 10 ක් හිටිය . ඊට පස්සෙ 2004 සුනාමි වෙලාවෙ මම ගෙදර ඉන්න කොට මගෙ ආයුධ සේරම කව්ද අරගෙන ගිහිල්ල . හෙව්වට හම්බ වුනේ නෑ.”
“දෙවියො එක දොරක් වහන කොට තව දොරක් අරිනව කියල කතාවක් තියෙනවනෙ” ඒකට අනුව මම මෙතෙන්ට ආව රු. 500/ ක කුලියට . අයිතිකාරය මාස 6 ක කුලිය ඉල්ලුව. මම කිව්ව මාස 4ක දෙන්නම්. මට දැන් යතුරු එහෙමත් ගන්න තියෙනව කියල. ඉන් පස්සෙ රු. 12000/ හොයල දීල මෙතන ඉන්නවා. දැන් අවුරුදු 15 මේ ගත වෙන්නෙ .තවම කිසිම දියුණුවක් නෑ.
දරුවෙස් අවුරුදු 50 ක පමණ කාලයක් දිය කරමින් තම පවුල නඩත්තු කළත් තවම දියුණුවක් නෑ කියල තමයි කියන්නෙ . වරෙක පාපැදි හදන්නට ළමයින්ට උගන්වන්න නගරසභාව ඔහුට ආරාධනා කළත් , ඔහු ගියෙ නෑ.
දරුවෙස්ගේ ජීවිත කතාව තුළින් කියැවෙන්නේ මේ සමාජය තුළ මිනිස් ජීවිතය පවත්වා ගැනීමේදී කොතරම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වන්නේද යන පනිවිඩයයි. දරුණු අපහාසයන්ට ,උපහාසයන්ට මුහුණ දෙමින් අවධාමක් දරමින් නොසැලී සිටිය නමුත් මේ පුද්ගලයා තම හැකියාව නිසිලෙස යොදා ගැනීමට ඉඩක් නොලැබුනු බැවින් , තවමත් මේ සමාජය ගැන කලකිරීමෙන් සිටින බවයි ප්‍රකාශ වෙන්නෙ .
ඒනිසා පෙරියමුල්ල ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක සිටින යම්කිසි දානපතියකු ඉදිරිපත් වී ඔහුගේ තත්වය වෙනස් කිරීමට යොමුවේ නම් එය මහඟු සමාජ මෙහෙවරක් වේවි.
ඔහුගේ දුරකතන අංකය – 0779871308