මහාරාජා සංවිධානයේ අනුග්‍රහයෙන් පැවැත්වූ සිරස පාද යාත්‍රාව හබක්-මංගල සමරවීර

0
44

380(1)386(1)එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් පක්‍ෂය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පාක්‍ෂිකයන්ම කියා ගන්නා පිරිසක් විසින් ක්‍රියාත්මක කරන බවට දිගින් දිගටම පසුගිය කාලයේ අප විසින් චෝදනා කළා.

සෑම මැතිවරණයක් සමයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාන්තුව රජය වෙනුවෙන් භාර ගෙන ඇත්තේ මහාරාජා නමැති ව්‍යාපාරිකයෙක් බවත්, ඔහුගේ අනුග්‍රහයෙන් අද එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන්වත් නොවන පළාත් සභා මන්ත්‍රිවරු දෙපළක් මගින් රාජපක්‍ෂ රෙජිමයේ න්‍යාය පත්‍රිය ක්‍රියාත්මක වන බවද මම මීට පෙරද ප්‍රකාශ කර ඇත.

මේ බව අද දෙවිනුවර සිට ආරම්භ කරන ලද පාගමනින් පසු ඇතිවූ සිද්ධීන් තුළින් මුලූ රටටම හෙළිදරව් වී ඇත. විපක්‍ෂ නායකතුමා පක්‍ෂයෙන් නෙරපීම සඳහා සාමකාමී පා ගමනක් ලෙස හඳුන්වා දුන් මේ විරෝධතාවයට මහරාජා නොහොත් කිලී රාජ මහේන්ද්‍රන් නමැති සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා විසින් කෝටි ගණනක් වටිනා දැන්වීම් නොමිලේ ලබාදී තිබුණද, මෙයට සැබෑ එක්සත් ජාතික පාක්‍ෂිකයන් අතළොස්සකට වඩා සහභාගි වී නැත.

අද දෙවිනුවරින් ආරම්භ කරන ලද්දේ සාමකාමී පා ගමනක් නොව, ආයුධ සන්නද්ධ පා ගමනක් බව මාතර නගරයේදී මුලූ රටටම හෙළිදරව් විය. මේ පා ගමනේ ඉදිරියෙන්ම ගිය හර්මන් ගුණරත්න නමැති ජනාධිපති උපදේශකවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ ලේකම්වරයාගේ කිට්ටුම හිතවතෙකු යැයි කියා ගන්නා ඔහු විසින් අප පාක්‍ෂිකයන් කිහිපදෙනෙකුට වෙඩි තබා ඇත. මෙහිදී තවත් ආයුධ සන්නද්ධ මැරවරයන් කිහිපදෙනෙක් සිටි බවට ඇසින් දුටු සාක්‍ෂි ඇති අතර, හමුදාවේ සිටින කිහිපදෙනෙක්ද සිවිල් ඇඳුමින් පක්‍ෂය දෙකඩ කිරීමේ මෙම උත්සාහයට ආරක්‍ෂාව ලබා දී ඇත. මෙහිදී එක්සත් ජාතික පාක්‍ෂිකයන් කිහිපදෙනෙකුටම වෙඩි වැඞී ඇත.

දකුණු පළාතේ සුප්‍රසිද්ධ කපුමහත්තයෙක් වන ඒ වගේම දකුණු පළාත් සභාවේ මන්තී‍්‍ර ධූරයක් දරන පුෂ්ප කුමාර මහතාට වෙඩි තැබීමෙන් මේ වන විටත් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. ඔහු දිගින් දිගටම මෛත්‍රි ගුණරත්න මන්ත්‍රිවරයාගේ පක්‍ෂද්‍රෝහී ක්‍රියාවන් ප්‍රසිද්ධියේම විවේචනය කරපු කෙනෙකි.
එමෙන්ම, පසුගිය පළාත් සභා මැතිවරණයේදී මෛත්‍රි ගුණරත්න මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද 15,000 ක් පමණ ලබා ගත් විට, පුෂ්ප කුමාර මන්ත්‍රිවරයා 54,000 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව මෛත්‍රි ගුණරත්න මන්ත්‍රිවරයාට මෙතුමා සම්බන්ධයෙන් විශේෂ වෛරයක් සහ ඊර්ෂියාවක් තිබූ බවද පළාත් සභාවේ රහසක් නොවේ.

ඊට අමතරව, පළාත් සභා මන්ත්‍රි ගයාන් සංජීවගේ බාලසහෝදරයා වන ජානක සංජීවටද වෙඩි වැදී ඇත.

මාතර එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලයේ උප සභාපති, ඒ වගේම හිටපු ප්‍රධාන ලේකම් ජාලිය ජයවර්ධන මහතාද බරපතළ තුවාල ලබා ඇත.

තවද, මෙහිදී පාරේ ගමන් කරමින් සිටි අහිංසක තරුණයෙකුටද වෙඩි වැදී ඇති අතර, අද ඔහුට මාතර රෝහලේදී හදිසි සැත්කමක් කිරීමටද නියමිතය.

මෙහිදී තුවාල ලැබූ හර්ෂ කුමාර, ප්‍රින්ත ජයවර්ධන, ඩබ්.ඒ. දිලූම් හා ඉන්දික ද සිල්වා යන අය ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

දැන්වත් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටිමින්, රාජපක්‍ෂ රෙජිමයේ න්‍යාය පත්‍රය මහරාජා සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ හඳුනා ගත යුතු අතර, පක්‍ෂයට ආදරය ඇති සියලූ දෙනා එක්සත්ව, එක්සිත්ව රාජපක්‍ෂ රෙජිමයත් ඔවුන්ට කඬේ යන කොන්ත්‍රාත්කරුවනුත් පරාජය කිරීමේ මොහොත උදා වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානී සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා 2013-10-05 වන දින මාතර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වීය
ජායාරූප – ලංකාදිප වෙබ් අඩවියෙනි