මහා සම්මේලනයේ යෝජනාව නිසා රනිල්ව එළවන්න කොහොමටත් බෑ !

0
90

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීම සඳහා සජිත් පිල කෙතරම් උත්සාහ කළ ද අවසන් වරට පැවති එජාප සම්මේලනයේදී ඔවුන් විසින්ම සම්මත කරදුන් යෝජනාවක් නිසා රනිල් වික්‍රමසිංහ මහතාව කිසිසේත්ම පක්ෂ නායකත්වයෙන් ඉවත් කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.අවසන් වරට එජාප මහා සම්මේලනයක් පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහාය. එහිදී සම්මත කරගැනුණු යෝජනා අතර සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීම පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතාටම දිගටම පක්ෂ නායකත්වය භාරදීම ද තිබිණි. ඒ අනුව පක්ෂ මහා සම්මේලනය විසින් රනිල්ව දිගටම පක්ෂ නායකයා ලෙස සම්මත කර ඇති නිසා ඔහුව කිසිසේත්ම එම තනතුරින් ඉවත් කිරීමට නොහැක. සජිත් පිලට හැක්කේ නිල නොවන ඡන්ද විමසීම් පවත්වා ඒවායෙහි ප්‍රතිඵල ෆේස්බුක් වෙත යොමු කිරීමට පමණි.

මේ තත්වය මත පක්ෂ නායකත්වය වෙනස් කළ හැකි එකම ක්‍රමය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමය. එහෙත් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් ඒ මහතාට නොමැති අතර ඔහු එය පැහැදිලිවම පසුගියදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබිණි.

රනිල්ගේ ගැටයට හසු වූ සජිත් පිල 

දේශපාලනය යනු බලය ලබාගැනීම වෙනුවෙන් සහ බලය පවත්වා ගැනීම වෙනුවෙන් කෙරෙන ක්‍රීඩාවකි. වඩාත් නිවැරදිව කිවහොත් සටනකි. එහිදී දිනන්නේ වඩාත් අත්දැකීම් සහිත, වඩාත් සූක්ෂම, වඩාත් සටකපට, වඩාත් දුරදිග බලන තැනැත්තාය.

රනිල්ගේ දේශපාලන සම්බන්ධයෙන් අපට ද කොතෙකුත් ප්‍රශ්න තිබේ. එහෙත් මෙහිදී එකක් නොකියා බැරිය. එනම් සජිත් පිල තවමත් සිටින්නේ රනිල්ගේ දේශපාලන දහං ගැට තේරුම් ගැනීමට හෝ නොහැකි තත්වයක යන්නය. සජිත්ට අපේක්ෂකත්වය ලබා ගැනීම මිස ඊට එහා අඟලක්වත් දකින්නට එදා සජිත් පිල අසමත් වූ අතර ඒ අවසරයෙන් රනිල් කළේ තමන්ගේ නායකත්වය 2025 දක්වාම තහවුරු කරවා ගැනීමය. සජිත්ගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය ද අතින්ම අල්ලාගෙන වේදිකාවට ගොඩකරගෙන රනිල් එදා සජිත් පිල ලවාම තමන්ගේ නායකත්වය ස්ථාවර කරවා ගත්තේය. සජිත් පිල ඔහුගේ ගැටයට නිකම්ම හසු විණි.

එහෙයින් රටක ප්‍රධාන විපක්ෂය වශයෙන් හෝ ආණ්ඩු පක්ෂය වශයෙන් කටයුතු කිරීමට නම් සජිත් පිල තව බොහෝ දෑ ඉගනගත යුතු බව පැහැදිලිය. අවම වශයෙන් තම නායකයා අභිබවා යාමට නොහැකි නම් ඔහුව තේරුම් ගැනීමට හෝ හැකිවන පරිදි පරිණත විය යුතුය.

සජිත් පිල මූලිකවම පිළිගත යුතු සත්‍යය මෙයයි. සජිත්ගේ දේශපාලන අනාගතය දීප්තිමත් වනු ඇත්තේ එවිටය. නැතිනම් හැමදාමත් කාට හෝ බැනවදිමින් වරද පටවමින් එකම තැන සිටින්නට ඔවුන්ට හැකිවනු ඇත.
LNW