‘මහින්ද, ජාතිවාදය වපුරා අගමැති වෙන්න හදනවා’

0
62

e05f49375ca56c20826471c2da983a17_Lහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම අගමැති සිහිනය මුදුන් පමුණුවා ගැනීම සඳහා යහමින් ජාතිවාදය වපුරවමින් සිටින බවත්, ඉතිහාසය සඟවමින් ඔහු මේවනවිට අමු අමුවේ බොරු ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා යාපනය කයිට්ස්හි සිසුවික සමූහ දූෂණය කර, ඇය ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරුවන් ඊයේ (20) උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම්කාරී තත්වය මත පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරයා කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

“අද උතුරේ උසාවිවලට පොලිස්ථානවලට ගල් ගහනවා. එදා එල්.ටි.ටි.ඊ. පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි එල්.ටි.ටි.ඊ. එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නීතිය එක ක්‍රමයටත් දකුනේ නීතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්ඩ බැහැ. රටේ එක නිතියක් පවතින්ඩ ඕනා. සාමය තියෙන්ඩ ඕනා. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕනා.” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා මහියංගනයේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණ.

හුදු සාපරාධී අපරාධයක් :

යාපනයේ පසුගියදා ඇතිවූ තත්වය, හුදු සාපරාධී අපරාධයක් සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වූ ප්‍රකෝපකාරී තත්වයක් වන බවත්, පසුගිය දසක දෙක තුළ උතුරේ හෝ නැගෙනහිර නොවන පළාත්වලද මෙවැනිම ප්‍රකොපකාරී තත්වයන් හට ගත් බවත් උපුල් කුමාරප්පෙරුම මහතා පැවසිය.

වැල්ලවත්ත පොලීසියට පහරදීම, මාධ්‍යවේදීන්ට පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් මහව පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරීම, කෝට්ටේ මහ නගර සභාවේ සභාපතිවරයාව පැහැරගැනීමට සුදු වෑන් රථයකින් පැමිණී පිරිස නිරුපද්ධිතව නිදහස් කර හැරීමට එරෙහිව එම ප්‍රදේෂයේ ජනතාව එම පොලීසියට එරෙහිව උද්ඝෝෂණය කිරිම, බොදු බල සේනා සංවිධානය අවස්ථා කිහිපයකදීම අමාත්‍යාංශ පොලීසි ආදියට කඩා වදිමින් එහි රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීම වැනි උදාහරණ බොහෝමයක් තිබෙන බවද ඔහු කියා සිටියේය.

උසාවිවලට පහරදීම වරදක් :

” පොලීසිවලට උසාවිවලට පහරදීම වරදක්. නමුත් එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරිමෙන් පසු උතුරේ උසාවිවලට පොලීසිවලට පහරදුන් පළමු අවස්ථාව මෙය නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සිතාමතාම අමතක කර ඇති බව පෙනෙන්නට තියනවා. රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බදුර්දීන් 2012 වසරේදී ඔහුගේ ආධාරකරුවන් යොදවා මන්නාරම උසාවියට පහරදීම සිදු කළා. එදා තමන් ජනාධිපතිව සිටි සමයේ සිදු වූ ‍මෙම සිදුවීම ගැන මහින්ද මහත්තය අද මොකද කියන්නේ..

රාජපක්ෂ පාලන සමයේදී කයිට්ස් වැනි ප්‍රදේශවල රාජ්‍ය මැර කල්ලි පොලීසි පවා නිහඬ කරමින් කටයුතු කරගෙන ගියා. අද ඔවුන්ගේ විනාශකාරී සාපරාධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙද්දී එය වැලැක්වීමේ අරමුණෙන් කලකෝලාහල ඇති කිරීමටත් එය ජාතිවාදී ස්වරූපයකට ගෙන ඒමටත් දඟලන පිරිසට මහින්ද රාජපක්ෂගේ උක්ත ප්‍රකාශය උඩගෙඩි දීමක්. රාජපක්ෂ කල්ලියටම අද අවශ්‍යව වෙලා තියන්නේ උතුරෙත් දකුනෙත් ජාතිවාදය වපුරා සිංහල ජාතිවාදීන්ගේ කර මතින් බලයට පැමිණීම ” යයි ද කුමාරප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.
උපුටාගැනීම –  http://www.sinhala.srilankamirror.com