මහින්ද රාජපක්ෂගේ මිරිස්කුඩු දේශපාලනය හා ඔස්ටින් අයියා

0
138

MR and Austin
මහින්ද රාජපක්ෂගේ, පුද්ගලයකු හා දේශපාලන නායකයකු ලෙස මොන තරම් දරුණු වැරදි ඇතද, ඔහු රටේ හිටපු ජනාධිපතිවරයකු හා එපමණක් නොව වසර තිහක යුද්ධය නිමාකළ නායකයා හෙයින්ද, වත්මන් අර්බූදයේ ඔහු ක්‍රියා කරන්නේ අනෙකෙකුගෙ ඉත්තකු ලෙස පමණක් හෙයින්ද නිසා ඔහු දැනට ව්‍යවස්ථා විරෝධීව හා නීති විරෝධීව දරණ අග්‍රාමාත්‍ය ධුරයෙන් ගෞරවාන්විතව ඉවත් වන්නට අප විසින් ඉඩ සැලසිය යුතුයැයි දින කිහිපයකට පෙර සටහන් කළෙමි.

මා එවන් අදහසක් පළ කළේ අද අපට භූමියෙහි ඇති සටන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැන්ම උදෙසා මිසෙක මහින්ද රාජපක්ෂට හා ඔහුගේ ගෝල පිරිසට එරෙහිව කෙරෙන පෞද්ගලික එකක් නොවන බව මා විශ්වාස කරන නිසාය. ඇත්තටම මේ අනවශ්‍ය කුමන්ත්‍රණවලට මැදිහත් නොවී තමන්ගේ ගෞරවය රැක ගැනීමට මහින්ද රාජපක්ෂට ඇති තරම් අවස්ථාව තිබුණේය. යමක් කරන්නට පළමුව දුර දිග කල්පනා කිරීම කොහොමත් ඔහුගේ සිරිත නොවන හෙයින් වැටෙන්නට යන වළේ දිග පළල ගැන හැඟීමක් රාජපක්ෂට නොවීය. අනුන්ගේ බසෙකට රැවටී වැටුණු වළ කොයි තරම් ගැඹුරද ඔහුට අවබෝධ වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය.

දුරදිග සිතා නොබලා පැන්න වළෙන් ගොඩ ඒම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව දැන් දැන් මහින්ද රාජපක්ෂට අවබෝධ වෙමින් තියේ. අවසානාවකට එයින් ගොඩ එන්නට ඔහු විසින් භාවිතා කරන්නට පට ගෙන ඇත්තේද අන්ත අශිෂ්ඨ හා අසදාචාරාත්මක ක්‍රියා මාර්ගය. 1970 සිට පාර්ලිමේන්ති මන්ත්‍රීවරයකු සේ ක්‍රියා කර ඇති, වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයා වන මහින්ද රාජපක්ෂ අද තම ගෝල බාලයින් ලවා පාර්ලිමේන්තුව නාඩගම් මඬුවක් බවට පත් කොට ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කථානායකතුමන්ට අද සිය රාජකාරි ඉටු කිරීම පිණිස පැමිණෙන්නට සිදුව ඇත්තේ පොලිස් ආරක්ෂාව මැදය. කථානායකවරයාගේ ආසනය ඔහුට නොදෙමින් මැරකම් පාන්නේ රාජපක්ෂගේ එක් ගෝලයෙකි. කථානායකතුමන්ට පුටු, පොත්පත් ආදිය (තුවාල සිදුවිය හැකි ආකාරයෙන්) විසි කරමින් සිටින්නේ රාජපක්ෂගේ තවත් ගෝලයින් කිහිප දෙනෙකි. ඒ අතර කථානායකතුමන්ට ආරක්ෂාව සැපැයීමට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අතින් පයින් පමණක් නොව මිරිස් කුඩු වලින්ද සැලකුම් ලැබේ. වලිය ඇවිළවූ මිනිසා “කූඹියෝ” හි ඔස්ටින් අයියා සේ පසෙකට වී බලාගෙන සිටියි.

හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ඔස්ටින් අයියා බඳු මැර කල්ලියක නායකයකුගේ පහත්ත තත්වයට පත්විය යුතුය මම නොසිතමි. එනිසාය මේ කෙටි ඉල්ලීම:

හිටපු ජනාධිපති, වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමනි. ඔබ අද නිරතව ඉන්නේ ඔබට තරම් නොවන පහත් අශිෂ්ඨ දේශපාලනයකය. කරුණාකර ශිෂ්ඨ සමාජයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පිණිස ඔබේ වත්මන් “මිරිස්කුඩු දේශපාලනයෙන්” මිදෙන්න. ඔබේ දේශපාලන ප්‍රතිවාදීන්ට මිරිස්කුඩු වලින් නොව මතවාදයෙන් පිළිතුරු දෙන්න. පාර්ලිමේන්තු රැස්වීම් වලට මෙවන් අශිෂ්ඨ ආකාරයෙන් බාධා නොපමුණුවන්න. අඩු තරමින් එවිට ඔබට රට ගැන සුළු හෝ හැඟීමක් ඇති බව මෙරට පොදු ජනතාව අවබෝධ කර ගන්නවා ඇත.

ඔබට සුභ උපන්දිනයක් වේවා!
(නියෝජ්‍ය ඇමති අජිත් පි පෙරේරාගේ මුහුණු පොතෙනි )