සමුගන්නා සෑම ක්රීඩකයෙකු වෙනුවෙන්ම සටහන් ලිවීම මගේ සිරිත නොවේ. නමුත් ශ්රී ලංකාවට සැමදා දැඩි තර්ජනයක් වූද, මගේ මතකය නිවැරදි නම් තීරණාත්මක තරඟ වලදී එක්වරක් පමණක් (2014 T20 ලෝක කුසලාන අවසන් තරඟයේදී පමණක්) අපට ආණ්ඩුමට්ටු කරගන්නට හැකිවූද, මොහොමඩ් අසාරුඩීන්ගේ යුගයෙන් පසු ස්ථාවරත්වයක් නොමැතිව ඉහළ පහළ යමිත් තිබූ ඉන්දීය ක්රිකට් ක්රීඩාව දැඩි ලෙස ස්ථාවර කිරීමේ පුරෝගාමී ක්රිකට් නායකයා වූද, ඉන්දීය ක්රිකට් ක්රීඩකයන් අතරින් විරාත් කෝලිට පමණක් දෙවැනිව මගේ ප්රියතමයා වූදනැවත දක්නට නොලැබෙන ක්රීඩා කෞෂල්යයකින් යුත් ඒ අසහාය ක්රීඩකයා වෙනුවෙන් සටහනක් නොතබාම බැරිය.
මහේන්ද්ර සිං දෝනි පළමු වරට මගේ සිත දිනාගන්නේ ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිවම දුන් තදබල අතුල් පහරක් හේතුවෙනි. ඒ එක්දින තරඟයේදී ඔහු ලකුණු 183ක් ලබාගත්තේය. ඊට පෙර මා දැක තිබූ දීර්ඝතම එක්දින ඉනිම සනත් ජයසූරිය 2000 සාජා හීදී ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 189 විය. එම ඉනිමේ පන්දුවක් පාසා නැරඹූ මට එය කෙතරම් අසීරුවෙන් ලබාගත් ලකුණු 189ක් දැයි හොඳින් මතක තිබුණි. ඒ 189 හා සසඳන කල ඊට වසර 6 කට පසු දෝනි ලබාගත් 183 ඔහු කෙතරම් පහසුවෙන් ලබාගත්තේදැයි දැක මම පුදුමයට මෙන්ම ත්රාසයට පත්වීමි.
එය ඔහුගේ ක්රීඩා ගමන් මඟ වෙනස් කළ ඉනිම විය. ඔහු ගැන බොහෝ තොරතුරු ඉන්පසු දැනගන්නට ලැබුණි. ඔහු දිනකට එළකිරි ලීටර් 6ක් පානය කරන බව ඒ අතර තිබූ එක් රසවත් තොරතුරකි.
ඉන්පසු කෙමෙන් කෙමෙන් ඔහුගේ 183 අතුල් පහරේ වේදනාව පහව ගොස් ඔහු පිතිකරණයේ යෙදෙනු බලා සිටීම ආනන්දජනක වන්නට විය. සම්පුර්ණයෙන් ඔහුටම ආවේණික වූ ඔහුගේ සෑම පහරක් පාසාම ක්රීඩාශීලී වින්දනයක් ලබන්නට වීම. ඉන්දියානු ප්රිමියර් ලීග් තරඟාවලියේදී ඔහු දක්වන ලද දස්කම් ඔහුව තව තවත් ඉහළට ඔසවා තැබීය
2011 ශ්රී ලංකාවට එරෙහි ලෝක කුසලාන අවසාන මහා තරඟයේ ඔහුගේ ඉනිම මා ඔහු වෙතින් දුටු අති විශිෂ්ටතම ඉනිම විය. කඩුළු 3ක් බිඳ වැටී අසීරු අඩියක සිටි ඉන්දියාව පීඩනය දරාගනිමින් ජයග්රහණය වෙත ගෙන ගිය ආකාරය වින්දනය කිරීම පරාජයේ වේදනාවත් සමඟ යටපත් වී ගියේය. එය සැබැවින්ම කෙතරම් අනගි ඉනිමක්දැයි පෙනී යන්නේ ඔහු ක්රීඩා කරන්නේ ශ්රී ලංකාවට එරෙහිව බව අමතක කර පසු අවස්ථාවක එකී ඉනිම නරඹද්දීය.
ඔහුගේ චරිතය අළලා නිර්මාණය වූ M.S. Dhoni – The Untold Story චිත්රපටය ඔහු කෙරෙහි වූ ගෞරවය තවත් වැඩි කරන්නට සමත් විය. යුවරාජ් සිංටත් වඩා පහළ මට්ටමක සිටි ක්රීඩකයෙකු තමන්ට පැවැති අපහසුතා බාධක බිඳගෙන ඉදිරියට පැමිණ ලෝක කුසලාන ජයක් කරා කණ්ඩායම මෙහෙයවන එම කතාන්තරය මම තවමන් යූ.ටියුබ් ඔස්සේ ඉඳහිට නරඹමි.
මහේන්ද්ර සිං දෝනිගේ සමුගැනීමත් සමඟම ලෝක ක්රිකට් වංශ කතාවේ එක්තරා යුගයක් අවසන් වනවා ඇත. එම අඩුපාඩුව අයි.පී.එල් පිටියට, විස්සයි විස්ස පිටියට මෙන්ම එක්දින ක්රිකට් පිටියටත් ඒ තුනටම වඩා ප්රේක්ෂකාගාරයටත් තදින්ම දැනෙනවා ඇත.
ඒ ප්රේක්ෂකාගාරයේ සිට ඔහුගේ ක්රීඩා රටාවට ඇලුම් කළ මම ඔහු සමුගන්නා මේ මොහොතේ අසුනින් නැගිට මෙසේ අත්පොලසන් දෙමි. 👏 👏 👏
පහත දැක්වෙන්නේ මා ඔහුගේ වැඩ්යෙන්ම ආශා කළාවූද, එමෙන්ම මා වැඩියෙන්ම ශෝකයට පත්කළා වූද පහරයි. නුවන් කුලසේකරගේ පන්දුවකට ලෝං ඔන් කලාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ජයග්රාහී ලකුණ රැස්කළ පහරයි ඒ.
අතිල අතාවුද