ම්ලේච්ඡත්වය අවියක්ද?

0
72
 FSP 9

නමසිය තිහේ දී ලංකාවට ආපු සෝල්බරි සාමිවරයා කියපු විදිහට ම ලංකාවේ ජනතාව අතිශයින් ම දේශපාලනික ව සවිඥානික ජනතාවක් කියන කාරණාව මා හැමදා තදින් විශ්වාස කල කාරණාවක්. ඒ නිසා ම පහුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාචිච්චි කරපු ඡන්දයට ‘බයියා’ ලේබලය අලවනවට මම දැඩිසේ විරුද්ධ යි. ජේ. ආර්.. ප්‍රේමදාස වගේ භිෂණය හා භිතිය වපුරවපු ප්‍රබල ඒකාධිපතියන් හිටපු එක්සත් ජාතික පක්ෂ පාලනය ගෙදර යැවුවෙත්, වතුර ඉල්ලා හිටපු සිවිල් ජන නැගිටීමකට හමුදා සේනාංක කැදවපු මහින්ද රාජපක්ෂ වගේ නායකයින් ගෙදර යැව්වෙත් මේ ජනතාවමයි. පහුගිය නොවැම්බරයේ දී හැට නම ලක්ෂයක් දෙනා අපේක්ෂා කලේ ගෝඨාභය රාජපක්ෂ නියන පුද්ගලයා අභිෂේක කරවනව වෙනුවට, දේශපාලන ප්‍රවාහයේ වෙනසක් එක්ක, වඩා විනය ගරුක, නීති ගරුක දේශයක අභිලාශය අභිෂේක කරන එක.

මේක තේරුම් ගත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුල දී කටයුතු කලේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරපු ආකාරයට වඩා හාත්පසින් වෙනස් ව. අලුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලේ සාධනීය වෙනස්කම් ජනතාව දැක්කා. රතු පස්වලට හමුදා සේනාංකයක් යවපු පුද්ගලයා ම, ජනාධිපති ගෝඨාභය හැටියට, ජනතාවට උද්ඝෝෂණය කරන්න පුලුවන් ස්ථානයක් ජනාධිපති ලේකම් කාර්යාලයට මෙපිටින් හදා දුන්නා. මේ වෙනස්කම් මේ රටේ පාලන බලය වෙනස් කරන්න සක්‍රීය ව ඡන්දය පාවිච්චි කරපු ජනතාව විසින් ඇති කරපු වෙනස්කම්. ඒ වෙනස්කම් ඇති කලේ ගෝඨාභයගෙ ඡන්ද ගොඩ හැටනම ලක්ෂයක් දක්වා වැඩි කරපු, මේ රටේ පාවෙන ඡන්දදායකය.

ඒ කෙසේ වෙතත් කොරෝනා කාලන් පස්සේ ජනාධිපති රාජපක්ෂට ජනතාව කියා දුන්න මේ පාඩම් ක්‍රමයෙන් අමතක වී ගෙන යන හැඩයක් තමයි පේන්න තියෙන්නේ. අද මගේ සහෝදර නීතිඥ නුවන් බෝපගේ ඇතුලු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියන්ට එල්ල වෙච්ච ඒ තිරස්චීන, පාදඩ ප්‍රහාරය හෙලිකරන්නේ ලංකාවේ දේශපාලනයට උරුම මේ ඩිමෙන්ෂියා ලක්ෂණයි.

අද කොල්ලුපිටියේ දී ත් ලිප්ටන් වටරවුමේ දී ත් ලංකාවේ පොලීසිය, වෘත්තීයභාවය ගිලිහී ගිය මැර හමුදාවකට උරුම නපුංසක ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කලේ දුර්වලයන් ඉදිරියේ අඩු පඩු දිග හරින්නටත්, ප්‍රබලයන් ඉදිරීයේ හැකිලෙන්නටත් තමන් සතු ජානගත දීනත්වය නිරුවත් කරමින්. ආයුධයක් දරා සිටින, විනයක්, හික්මීමක් ඇති, නීතියට හා රාජ්‍යයක ආණ්ඩුක්‍රමයට ගරු කරන්නා – සෙබලෙක්. ඒ කිසිවක් නොමැති ව ආයුධයක් පමණක් දරා සිටින්නා මිනීමරුවෙක්. ත්‍රස්තවාදියක්.

තොන්ඩමන්ගේ පුත්‍රයාට අදාල නැති, ඩෑන් ප්‍රියසාද්ට අදාල නැති, සිරිකොතට අදාල නැති රාජිතට අදාල නැති;
ඒ නමුත් සමාජ දුරස්ථභාවය පවත්වා ගත් ඒ අසරණ සහෝදරයාට, සහෝදරියට, මවට, පියාට, බෝපගේ ට පමණක් අදාල නීතිය – සැමට සාධාරණ එකක් කරන්නටත්
නීති පාදඩකරණය කරන පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහිවත් සමස්ථ සමාජය ම එක හඩින් නැගී සිටිය යුතු කාලයයි මේ.
චරිත් ගල්හේන විසිනි