මානව සම්පත සංවර්ධනය කරන ඉදිරිගාමී වැඩපිලිවෙලක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් වී තිබෙනවා- විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ

0
102

sudarshani 2නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සදහන් කළේ කුඩා නගර සංවර්ධනය කිරීම සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ලබා දෙනු ලබන ප්‍රතිපාදන මඟින් සංවර්ධන කටයුතු ආරම්භ කළ කිඳිගොඩ තේක්ක ඇල ඉවුර මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී ඇය සඳහන් කළේ 2020 වන විට විශ්ව විද්‍යාල සිසුන් සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කිරීමටත්, විශ්ව විද්‍යාල මට්ටම දක්වා උසස් ලකුණු ලබා ගත් දරුවන් හට ණය පහසුකම් ලබා දීම,වෘත්තීය පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබීම,ලඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ නගරය කරා ඇදී යන සිසුන් ගමේම රඳවා ගනිමින් ඔවුන් සඳහා අවශ්‍ය සියළු පහසුකම් සහිත පාසල් ගොඩනැංවීම සුවිශේෂී බවයි.ඒ අනුව සම්ප්‍රදායික සහන මල්ල වෙනුවට රටේ ආර්ථික ඉදිරි දැක්මක් සහිතව අයවැය සකස් කර ඇති අතර ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් අඩු කිරීමට ද පියවර ගෙන ඇත.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පහත හෙලීම ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණනයක් බව සඳහන් කළ ඇය විරුද්ධ පක්ෂයතර්ක විතර්ක මඟින් විවේචනය කළද සමස්තයක් ලෙස බලන කළ මෙවර අයවැය ලේඛනය සාධනීය ලක්ෂණ වලින් සමන්විත අයවැයකි.

වර්තමාන මාධ්‍ය භාවිතය පිලිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ මාධ්‍ය මඟින් කරනු ලබන යහපත් විවේචන ආණ්ඩුවක් වශයෙන් බාර ගැනීමට සූදානම් නමුත් ඇතැම් විට නිවැරදි කරුණු වෙනුවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට ඇතැම් මාධ්‍ය විවේචනය කරයි.එමෙන්ම දේශපාලඥයින් සම්බන්ධව වැරදි අර්ථ නිරූපණ ලබා දීම මඟින් දේශපාලනයට ප්‍රවේශ වීමට උනන්දුවක් දක්වන උගත් බුද්ධිමත් පුද්ගලයින් ඉන් ඉවත් වීමට ඉඩ ඇත.එපමණක් නොව කුඩා දරුවා තුළ පවා දේශපාලඥයා තුළ වැරදි අවබෝධයක් ඇති වීම මඟින් යහපත් දේශපාලන සදාචාරයක් ඇති කර ගැනීමට ඉන් බාධා ඇති වේ.ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙනවා සේම ආණ්ඩුව විසින් සිදු කරනු ලබන යහපත් දේවල් පිලිබඳව ද මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම සිදු කළ යුතුය.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 18ක ප්‍රතිපාදන යොදවා කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරන කිඳිගොඩ තේක්ක ඇල ඉවුර මාර්ගය සීදූව නගරයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා භාවිත කෙරෙන අතර කටාන ආසනය තුළ මෙවැනි මාර්ග 43 මෙම වර්ෂය අවසානයට පෙර සංවර්ධනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.ඒ සඳහා රුපියල් මිලියන 135ක පමණ මුදලක් වැය කෙරෙන අතර දිවයිනේ දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 2500ක මුදලක් කුඩා නගර සංවර්ධනය වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර 2017 අයවැය ලේඛනයෙන් ඉදිරි වර්ෂය සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම උත්සව අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න මහතාද එක්ව සිටියහ.