මානව හිමිකම් කොමිසමටත් තාමත් උත්තර නැති ආණ්ඩුවේ වෙබ් වාරණය ?

0
45

web protestweb protest 1web protest 2

theindependent.lk  වෙබ් අඩවිය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරට ග්‍රාහකයන්ට පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් පසුගිය මැයි මස 29 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිළි කළද මේ වන විට මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විටත් ගෙන නොමැත.

මෙම පැමිණිල්ල theindependent සංස්කාරක වරයා විසින් බාර දෙනු ලැබු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍ය සංවිධාන නියෝජිතයන්ද සහභාගි විය. එම පැමිණිල්ල භාර ගත් එම කොමිසමේ ලේකම්වරියක අවධාරණය කර පැවැසූවේ සති දෙකක් ඇතුලත මේ සම්බන්ධයෙන් දැන්වීමක් සිදු කරන බවය.

මේ තත්වය පිළිබඳව අද දින මානව හිමිකම් කොමිසමේ සභාපති ප්‍රතිභා මහනාම හේවා මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවැසූවේ විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු අදාල වගඋත්තරකරුවන්ට කරුණු දක්වා වාර්තා සපයන්නැයි දන්වා තිබෙන නමුත් මේ දක්වා එම වාර්තා ලැබී නොමැති බවත් ඒ ලැබුණු වහාම හැකි ඉක්මනින් මේ විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවත්ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වෙබ් අඩවි අවහිර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේ සංස්කාරක කැළුම් ශිවන්ත මහතා හා මේ වන විට අවහිර කර ඇති වෙබ් අඩවි අටක් වෙනුවෙන් වෘත්තීය වෙබ් මාධ්‍ය වේදීන්ගේ සංගමයේ  කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා ද පැමිණිළි දෙකක් බාර දී ඇත. ඒ සම්බන්ධයෙන් ද සාධනීය පියවරක් මේ දක්වා ගෙන නොමැති බව එම මහත්වරු පවසති.

ඒ කෙසේ නමුත් ඉන්ඩෙපෙන්ඩෙන් වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම  අඩපණ කිරීම  සඳහා මේ වන විට නිල හා නිල නොවන ආකාරයන්ගෙන් මෙහෙයුම් කිහිපයක් දියත්ව තිබෙන බව දැන ගැනීමට ඇති අතර බාධාකාරී තත්වයන් හා මේ වන විට අප පත්ව ඇති යම් අනාරක්ෂිත තත්වයන් හමුවේ වුව වෙබ් අඩවිය සුපුරුදු ලෙස පවත්වාගෙන යාමට අප සියළු උත්සාහයන් දරන්නෙමු.
theindependent