Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් වන පළමුවෙනි ලිට්මස් පරීක්ෂාව ?

( 6.00 am ) මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් වන පළමුවෙනි ලිට්මස් පරීක්ෂාව කථානායකවරයාගේ බොරු ආචාර්‍ය උපාධිය පිළිබඳ ප්‍රශ්නයයි..

අනුර දිසානායක ගේ ආණ්ඩුව මුහුණ දී සිටින තෙල් මිල, හාල් මාෆියාව, විදුලි බිල, පොල් මිල වගේ කිසිම ප්‍රශ්නයක් ඔවුන් විසින් තනිව නිර්මාණය කළ ප්‍රශ්න නෙවෙයි. ඒවා කාලාන්තරයක් තිස්සේ පැවතුණු ප්‍රශ්න.. ඒවාට තිරසාර විසඳුම් දෙන්නත් කිසියම් කාලයක් ගත වෙනවා. ඒත් මාලිමාවට දැවැන්ත ජනවරමක් දුන් බොහෝ අය මාලිමාව බලයට ඇවිත් දවස් දෙක තුනක් යනවිට මේ සියලු ප්‍රශ්න විසඳයි කියන අධියථාර්ථවාදී බලාපොරොත්තුවක හිටියා. ඇතැම් වෙලාවට බලයට එන්නට කලින් මාලිමාවේ ඇතැමුන් කී කතා නිසා එවැනි බලාපොරොත්තු ඇති වුණා විය හැකියි. ඒ කොහොම වෙතත් කිසිම සැකයක් නැතිව කියන්නට පුළුවන් එක කාරණයක් නම් ඉහත කී එකම ප්‍රශ්නයක්වත් මාලිමා ආණ්ඩුව විසින් නිර්මාණය කළ ප්‍රශ්න නොවන බවයි. ඒ සියල්ල ම මින් පෙර බලය හොබවපු අය විසින් නිර්මාණය කොට මාලිමා ආණ්ඩුවට දායාද කළ ප්‍රශ්නයි. ඒත් දැන් ඒවා විසඳීමේ වගකීම තියෙන්නේ මාලිමා ආණ්ඩුවටයි.

ඒත් කථානායක ගේ ප්‍රශ්නය එහෙම එකක් නෙවෙයි. කථානායක මෙතෙක් කල් තමන්ට නැති ආචාර්‍ය උපාධියක් තිබෙන බව බොරුවට පෙන්වා තිබෙන බව පැහැදිලියි. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මේ වන විට ඔහු ගේ ආචාර්‍ය පට්ටම ගලවා තිබීමෙන් තහවුරු වන එක දෙයක් නම් මේ ආචාර්‍ය උපාධිය සම්බන්ධයෙන් මතු කර තිබෙන ප්‍රශ්නයට පදනමක් තිබෙන බවයි. මෙතෙක් කල් මාලිමාවේ සියලු දෙනා ම ඔහු හඳුන්වා දුන්නේ “ආචාර්‍ය” අශෝක රන්වල නමින්. ඔහු ඡන්ද කැම්පේන් කළේ “ආචාර්‍ය” අශෝක රන්වල ලෙසයි. සියලු මැතිවරන දැන්වීම්, පත්‍රිකා යන සියල්ලේ ම ඔහු පෙනී සිටියේත් “ආචාර්‍ය” අශෝක රන්වල ලෙසටයි. කොටින් ම ඔහු ගේ නම කථානායක ධූරයට යෝජනා කරන විට සහ එය ස්ථිර කෙරෙන විට ඔහු හැඳින්වුණේත් “ආචාර්‍ය” අශෝක රන්වල ලෙසටයි. ඒ අනුව ඔහුට ඇත්තට ම ආචාර්‍ය උපාධියක් නැත්නම්, ඔහු දැන දැන ම, චේතනාන්විතව ම බොරුවක් කොට තිබෙන බව පැහැදිලියි.

ඇත්තෙන් ම කථානායකවරයා මෙවැනි දෙයක් කර ඇත්නම් එය සැසඳිය හැක්කේ මෙයට කාලයකට කලින් තාඹුගල නැමැත්තෙක් “වෛද්‍ය තාඹුගල” ලෙස පෙනී සිටීමින් කළ බොරුවටයි. ඔහු ලියාපදිංචි වී ඇත්තේ මොන වෛද්‍ය සභාවේදැයි ප්‍රශ්න කළ විට තාඹුගල කීවේ තමන් විදේශයක සිටියකදී මිතුරන්ගේ ලෙඩට බෙහෙත් දුන් නිසා ඔවුන් තමන්ට “ඩොක්ටර්” ලෙස ඇමතූ බවයි. ඉන්පසු නිකම්ම තමන් “ඩොක්ටර් තාඹුගල” බවට පත් වූ බවයි. ඒ “ඩොක්ටර් තාඹුගල” ගේ පැටිකිරිය අවසානයේ එළිදරව් වුණා. කොටින් ම නාමල් රාජපක්ෂ පවා කාත් කවුරුවත් නැති ඒ/සී කාමරයක උත්තර ලියා හෝ නිල වශයෙන් නීතිඥයෙකු වුණා.

ඒත් මෙතැන ප්‍රශ්නය තියෙන්නේ තාඹුගල හා සමාන දෙයක් කළ බවට චෝදනා ලැබ සිටින රන්වල මාලිමා ආණ්ඩුව යටතේ රටේ තුන්වැනි පුරවැසියා වන කථානායක තනතුරට පත් කොට තිබීමයි. එය කොහෙත්ම සුළු කොට තැකිය හැකි දෙයක් නෙවෙයි. ජනාධිපති සහ අගමැති යන දෙදෙනා හැරුණු විට ඊළඟට සිටින්නේ කථානායකයි. මේ කාරණාව විහිළුවක් හෝ සිනාසී බැහැර කළ හැකි ප්‍රශ්නයක් නොවන්නේ ඒ නිසයි.

මාලිමා ආණ්ඩුව බලයට ගෙන ආ මූලික ම පදනම වන්නේ දේශපාලනය ශිෂ්ට සම්පන්න කොට රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. ඊට වඩා දෙයක් කිසිවෙකුත් මාලිමාවෙන් බලාපොරොත්තු වූයේ නැහැ. තමන්ට නැති ආචාර්‍ය උපාධියක් තිබෙන බව පෙන්වමින් සමාජයේ පෙනී සිටීම අශිෂ්ට වැඩක්. සමාජයේ පිළිකුලට සහ ගර්හාවට ලක්වෙන වැඩක්. ඒ නිසා මාලිමාව තව දුරටත් තමන් ගේ ජනවරමේ සුජාතභාවය රැකගන්න නම් අශෝක රන්වල කතානායක ධූරයෙන් ඉවත් කළ යුතුයි. එහෙම නැත්නම් ගෞරවාන්විතව ඉල්ලා අස්වෙන ලෙස ඔහුට දැනුම් දිය හැකියි.

ඇතැම් විට මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් ගණන් හදනවා ඇත්තේ ආණ්ඩුව පත්වී මාසයක් ඇතුළත මේ මේ සිදුවීම නිසා කථානායක ඉල්ලා අස්වුණොත් හෝ ඉවත් වුණොත් එය දේශපාලනමය වශයෙන් ආණ්ඩුවට මරු පහරක් වනු ඇති බවයි.. ඒත් ඇත්ත කතාව එහි අනෙක් පැත්තයි. මේ සිදුවීම පාදක කරගෙන කථානායකවරයා ඉවත් කරන්නට මාලිමාව කටයුතු කළහොත් එය දේශපාලනිකව ඔවුන් ලබන ජයග්‍ර්‍රහණයක් වෙනවා. ඔවුන්ට ඡන්දය දුන් ජනතාව ගේ විශ්වාසය තහවුරු වෙනවා. මාලිමාවට ලැබුණු ජනවරමේ සුජාතභාවය ආරක්ෂා වෙනවා. ඒ වගේ ම ලංකාවේ දේශපාලන සංස්කෘතිය ශිෂ්ට සම්පන්න කිරීම වෙනුවෙන් ඔවුන්ට තවදුරටත් පෙනී සිටිය හැකි වනවා.

ඒත් මේ ප්‍රශ්නය මේ තරම් අනාවරණය වී තිබියදීත් මේ කථානායකවරයා දිගට ම තබාගන්නට මාලිමා ආණ්ඩුව කටයුතු කරනවා නම් ඔවුන්ට එය දේශපාලන මරු පහරක් වීම නොවැළැක්විය හැකියි. ඒ නිසා මේ වෙලාවේ මාලිමා ආණ්ඩුවට තියෙන එක ම තෝරාගැනීම “කථානායකවරයා” ද, නො එසේ නම් තමන්ට ලැබුණු ජනවරමේ සුජාතභාවය ද කියන එකයි.

රසික ජයකොඩි
10 – 12 – 2024

 

- Advertisement -
Exit mobile version