මාළු කන්න බය වෙන්න එපා. අළුත් මාළු අපෙන් ගන්න!….

0
103

 

IMG-20201212-WA0010මේ මීගමුව , කුට්ටිදූව ⁣මාළු ලෙල්ලමේදි වෙළෙන්ඳන් කිහිපදෙනෙකු විසින් සෙනඟ අඩුවීමට එක් හේතුවක් ලෙස මිනිසුන් අතර පවතින අනියත බිය ගැන දැක්වූ අදහසකි. පෑලියගොඩ මාළු වෙළඳපලේ ඇතිවූ තත්වය මත සමාජගතවූ මෙකී බිය තවමත් සමහර අයගේ සිත් තුළ පවතින බව ධීවර ජනතාවගේ හැඟීමක් වී ඇත.

කුඩා බෝට්ටු වලින් ඇල්ලූ කලවම් මාළු තවමත් විකුණාගත නොහැකිව ලතවෙන ධීවරයෙක් වෙනදා මේ වනවිට තමන්ගෙ මාළු අවසන්වී ගෙදර යනබව පවසයි. තවත් දන්නා හඳුනන කිහිපදෙනෙකු තමන්ගේ මාළු ටික විකුණා ගැනීමේ අපහසුව ගැන පැවසුවේද එවන් අදහසකි.
මේ අතර ලොකු මාළු සහ කුඩාමාළු මිශ්‍රව විකුණන වෙළෙන්ඳෙකු වන සංක ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

” මේ දවස්වල පවතින සුළං නිසා බෝට්ටු යන ප්‍රමාණය අඩුයි. ඒනිසා මාළු ටිකක් අඩුයි. කොටසක් තමයි මුහුදු යන්නෙ. ගේන මාළු සමහර වෙලාවට බූමිතෙල් වලටත් මදි .
මාළු ගන්න එන අයත් කොරෝනා වලින් පස්සෙ අඩුයි. මාළු කන්න බය වෙන්න ඕනෙ නෑ. අපිත් මේ මාළු කාල තමයි ඉන්නෙ. එහෙම අවුලක් නෑ. ”

මිල ගනන් කොහොමද?
” මිල වෙනස් වෙනව. අද හුරුල්ල රු.350/ , හබරලි රු. 350/, මීවැටි රු. 600/, තෝර මාළු , අංජිලාවො 650- 700යි.
කෙලවල්ල මේ දවස්වල අඩුයි. පහුගිය කාලෙ කොරෝනා තත්වය තුළ ඇතිවුනු බිය නිසා විකුණගන්න බැරිවීම එක හේතුවක්. තෙල් වියදමවත් හොයාගන්න බැරිනිසා ඒ ධීවරයින් අපහසුතාවයට පත්වූනා. ඒනිසා තමයි කෙලවල්ල මාළු ලෙල්ලමේ අඩු. දැන් තමයි ටික ,ටික මුහුදු යන්නෙ. ”
“කොහොම උනත් තවම දුර ඉඳන් එන වෙළෙන්ඳො එන්නෙ නෑ. අවට ඉන්න වෙළෙන්ඳො තමයි එන්නෙ. ”

තවමත් මාළු ලෙල්ලම යථා තත්වයට පත්වී නැති බවයි ධීවරයින්, සහ වෙළඳුන්ගෙ අදහස. විශාල වියදමක් දරල , ජීවිත කැප කරල ගොඩට ගේන මාළු ටික විකුණ ගන්න හැකියාවක් නැතිව ඉන්න ධීවරයා ගැන කිසිදු වගකිවයුත්තෙක් කිසිදු මැදිහත්වීමක් නොකරන බව පැහැදිළියි. ඔවුන් මැතිවරණ වේදිකාවෙදි නම් ධීවරයා ගැන කඳුළු හෙලන නමුත් ඒවා කිඹුල් කඳුළු බව ධීවර ජනතාව දැන්වත් අවබෝධ කර ගතයුතුයි.
සැම්සන් ඥානසිරි