මැතිවරණය සමග කෝවිඞ්-19 ට “ස්වාධීනව” කඬේ යාම – කුසල් පෙරේරා

0
70
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල

කෝවිඞ්-19 ආසාදිතයින්ගෙන් රට පුරා බොහෝ ප්‍රදේශ වලට වයිරසය ආසාදනය වී ඇති බැව් දැන් මාධ්‍යයන්හි වාර්තා කෙරෙන්නේය.

මේවා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමට ගොසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ඔහුගේ “ස්වාධීනත්වය” යහමින් ප්‍රදර්ශනය කර ගත්තේය. පසුගිය මැයි 15 වන දින ඔහු “නිවුස් ෆස්ට්” මාධ්‍යට කියුවේ, ශ්‍රී ලංකාවේ කෝවිඞ්-19 ඒ වනවිට සියයට 90 ක් පාලනය කර ඇති බවත් “කෝවිඞ්-19 පොකුරු” කිසිවක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් ය.

පසුගිය ජූලි 03 වන දින කොටහේනේ ජින්තුපිටියෙහි ස්වයං නිරෝධායනයක සිටි පුද්ගලයෙකු කෝවිඞ්-19 ආසාදිත යැයි හඳුනා ගනු ලැබීමෙන් පසු ඔහුගේ නිවස අවට 154 කු නිරෝධායනය සඳහා යොමු කරනු ලැබිණ. වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍යයට පවසා තිබුණේ, එම පුද්ගලයා දින 14 ක අනිවාර්ය නිරෝධායනයෙන් පසු නිවසේ ස්වයං නිරෝධායනයක සිටි හෙයින් ඔහුගෙන් වෙනත් අයට ආසාදනයවීමේ ඉඩක් නොමැති බවය.

වෛද්‍ය ජාසිංහට එය එළෙස නිශ්චිතව සහතික කළ හැකිව තිබුණි නම්, ජනතාවගේ මුදලින් 154 කු දින 14 ක් නිරෝධායනය සඳහා යොමු කළේ මන්දැයි ඔහු කිව යුතුව තිබිණ.

 

සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වලට හසු නොවන ලෙස…

මාධ්‍ය වාර්තා අනුව, ජූලි 13 වන දින වෛද්‍ය ජාසිංහ ජනතාවගෙන් ඉල්ලා තිබුණේ කෝවිඞ්-19 වයිරසය පැතිරීම ගැන ඇති කට කතා වලට සහ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වලට හසු නොවන ලෙසය. කන්දකාඩු ආසාදිත සංඛ්‍යාව ඒ වනවිට 428 ක් බව පිළිගනිමින් ඔහු කියා තිබුණේ එය පැතිරීම හුදකලා ප්‍රදේශ කිහිපයකට සීමා වූවක් වන අතර, එය රට පුරා පැතිරීමේ හෝ දෙවන රැල්ලක් ඇති වීමේ ඉඩක් නොමැති බවය. පසුගිය අඟහරුවාදා රාත්‍රී වන විට කන්දකාඩු කඳවුරේ ආසාදිත සංඛ්‍යාව 532 ක් විය.

දෙසතියකට පෙර ජින්තුපිටියේ 01 කුද, වැලිකඩ බන්ධනාගාරයේ 01 කු සමග පසුව තවත් 01 කුද, කන්දකාඩු කඳවුරේ උපදේශක උපදේශිකාවන් 06 කු පමණද ආසාදිතව ඇතැයි වාර්තා විය. කන්දකාඩු උපදේශකයෙකු ගමට පැමිණිම සමග රාජාංගනයේ පාසල් දරුවකු ආසාදනය වී ඇතැයිද තවත් පිරිසක් සමීප සම්බන්ධතා හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇතැයිද වාර්තා විය. ඒ සමග රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක් කොටුකර වසා තැබීමෙන් පුද්ගලයින් 2,000 ක් පමණ ප්‍රදේශ අඩස්සියේ ඇතැයි වෛද්‍ය ජාසිංහ පෞද්ගලික මාධ්‍යයකට කියා තිබිණ.

ඔවුන්ගේ සම්බන්ධතා සියල්ල කොපමණද යන්න හා පී.සී.ආර් පරීක්ෂණ වලින් පසු ඒ සමීප ආශ්‍රිතයින් අතුරින් කී දෙනෙකු කුමන ප්‍රදේශවල ආසාදනයවී සිටියේදැයි කිසිදු තොරතුරක් බලධාරීන් විසින් සවිස්තරව ඉදිරිපත්කර නැත.

වාර්තා වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා තොරතුරු අනුවම, අම්බලන්තොට 15 ක් නිරෝධායනයට ලක් කිරීම, අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 22 කු නිරෝධායනයට ලක් කිරීම, පැල්මඩුල්ලේ තවත් 15 කු නිරෝධායනයට ලක් කිරීම සමග පසුගිය සතිය අවසන් විය.

ඒ ලේඛණයට මේ සතියෙහි පළමු දින 03 හි එකතු වූ කෝවිඞ්-19 ආසාදන සමග යාපනය විශ්ව විද්‍යාලයයෙහි කිලිනොච්චි පීඨය වසා දැමුනි. රාගම පෞද්ගලික රෝහලක් වසා දැමුනි. ගම්පහ දිස්ත්‍රික් අධිකරණය වසා දැමින. කොළඹ මෝබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමින. කලවාන ටවුමේ කඩ වසා දැමින. කුණ්ඩසාලෙන් තවත් ආසාදිතයෙකු වාර්තා විය. කැකිරාවේ කිතුල්හිටියාව ප්‍රදේශයේ 30 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණ. ගල්කිරියාගම පලාගම ප්‍රදේශයේ ස්ථාන 29 ක පුද්ගලයින් 100 ට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. බදුල්ලේ 116 ක් ගම්පහ වැරැල්ලවත්තේ 21 ක් පිළියන්දල 50 ක් සහ සීදුවේ 31 ක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මේ තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජාසිංහ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියූ රට පුරා කෝවිඞ්-19 පැතිරෙන බවට වන කට කතා හා සමාජ මාධ්‍ය ජාල වල පළ කෙරුණු තොරතුරු නොව, පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කෙරුණු තොරතුරු හෙයින් මේ මගින් කෝවිඞ්-19 පැතිරීමේ ස්වරූපය තව දුරටත් ඔහු කියන හුදකලා පැතිරීම් නොවන බැව් කරුණාවෙන් සැළකිය යුතුය.

 

කන්දකාඩු-සේනපුර-ලක්දිව “වසංගත පොකුර”

රාජාංගනයේ නිදැල්ලේ සිටින ආසාදිතයන් සොයා පරීක්ෂණ. (BBC)

කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ වගකීම් පවරා ඇති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජාසිංහගේ ඒ ප්‍රකාශයට දින 03 ට කලින් ජූලි 10 වන දින ඊට වඩා වගකීමෙන් යුතුව කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල ආසාදනයවීම් පිළිබඳව මාධ්‍ය දැනුවත්කර තිබිණ.

ඔහු කියා තිබුණේ ජූලි 10 වන දින උදයේ සනාථ වූ 196 දෙනා ගත් විට ආසාදනය වූ සංඛ්‍යාව 253 ක් බවය. ඒ අතර කරන ලද පී.සී.ආර් පරීක්ෂණ තවත් 375 ක වාර්තා ලැබිය යුතු බවත් ඒ අතරද ඇතැම්විට ආසාදනයවීම් තිබිය හැකි හෙයින් මුලු සංඛ්‍යාව තව ඉහළ යාමට ඉඩ ඇති බවත්ය.

මෙම ආසාදන ඇතැම්විට කඳවුරුවල රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ ඥාතීන් 116 ගෙන් හෝ පසුගිය දිනවල අධිකරණ නියෝග මත කඳවුරු වෙත යොමු කෙරුණු කිහිප දෙනාගෙන් සිදුවන්නට ඇතැයි ඔහු අනුමාන කරන බව කියා තිබිණ.

එහි සරළ කතාව නම්, කන්දකාඩු හා සේනපුර කඳවුරු ආසාදනය වන්නට ඇත්තේ පිට පළාත්වලින් ඔවුන් බැලීමට පැමිණි ඥාතීන්ගෙන් හෝ අධිකරණ තීන්දු මත එම කඳවුරු වලට පිටතින් මාරුකර යවනු ලැබූවන්ගෙනි. එනිසා මේ දෙවන වර හමුවන කෝවිඞ්-19 ආසාදන කන්දකාඩු හා සේනපුර කඳවුරු වලට සීමා වූ “ආසාදිත පොකුරු” වලින් පමණක් පැතිරෙන ආසාදන විය නොහැක.

කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අනුමානය වැදගත්ය. කන්දකාඩුවට හා සේනපුරට කෝවිඞ්-19 වයිරසය පැමිණියේ කොහෙන්ද සහ කෙසේද?

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජාසිංහට එවැනි ප්‍රශ්න නැත. ඔහුට අනුව කන්දකාඩු හා සේනපුර ආසාදන එහිම හටගත් ආසාදන ය. එනිසා අනෙක් හැම තැනටම පැතිර යන්නේ කන්දකාඩුවෙන් හා සේනපුරෙනි.

මේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ නිල වගකීම ඇති සහ ජනතාවගේ බදු මුදලින් යැපෙන හෙයින් සමාජයට පූර්ණ ලෙස වගකිව යුතු ස්වාධීන රාජ්‍ය නිලධරයේ කඬේ නොයන කතා එවැනිය. කන්දකාඩුව හැර “කෝවිඞ්-19 පොකුරු” කිසිවක් ශ්‍රී ලංකාවේ නොමැත්තේ ඒ කතා අනුවමය. හෙට අනිද්දා වනවිට කන්දකාඩුව පොකුරත් පරවිය හැකිය. එසේ වුවහොත් වාසනාවන්.

(කුසල් පෙරේරා – 2020 ජුලි 15 වන දින)
theleader.lk