මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් හදිසි ප්‍රතිචාරයක්: ”මාගේ පක්ෂපාතිත්වය ජනතාවටම පමණි”

0
72

linkedin sharing buttonwhatsapp sharing buttonmessenger sharing button

( 11.00 am ) මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා දෙකක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (20) පැවැත්වීමට නියමිතය.පළමු සාකච්ඡාවට එක්වන්නේ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසිය.අනෙක් සාකච්ඡාව සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා, මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල ලේකම්වරුන් සහභාගිවේ.

කෙසේවුවද යුධ හමුදාපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීව හූල් සහභාගී කර නොගැනීමට දැනටමත් තීරණය කර ඇතයි වාර්තාවේ.

‘කොමිසම දිනයක් දිය යුතුමයි’ – අගමැති

මෙම සාකච්ඡා මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වෙන්නේ මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහක් මතුව ඇති පසුබිමක් තුළයි.

රට තුළ පවතින සෞඛ්‍ය අවදානම් තත්වය පහව යන තුරු මැතිවරණය නොපවත්වන ලෙස විපක්‍ෂය හා වෘත්තීය සංවිධාන ඉල්ලා සිටියදී අගමැති මහින්ද රාජපක්‍ෂ ඉකුත්දා පැවසුවේ දිනයක් නියම නොකර පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි.

ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බවද අගමැතිවරයා එහිදී කියා සිටියේය.

 

මැතිවරණ කොමිසමේ ස්ථාවරය ?

Election Commissionors Mahinda Deshapriya and SRS Hoole

වසංගතය මැද මැතිවරණයක් පැවැත්වීමේ ආණ්ඩුවේ වුවමනාවට මැතිවරණ කොමිසම් සභාවද රහසේ සහාය දක්වනු ඇති බව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීව හූල් අනතුරු අඟවා ඇතැයි ‘කලම්බු ටෙලිග්‍රාප්’ (colombotelegraph.com) පුවත් වෙබ් අඩවිය පවසයි.

ඒ අතර ‘අනිද්දා’ (anidda.lk) පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා අතරින් එක් සාමාජිකයෙකු අප්‍රේල්  20 වැනිදා රැස්වන කොමිෂන් සභාව, හදිසි මැතිවරණයට දිනයක් නියම කළ යුතු බවට තීරණාත්මක අදහසක සිටින බවත් තම හිතවතුන් සමඟ ඒ අදහස මත පදනම් වෙමින් තර්ක කර ඇති බවත්ය.

ගැනීමට නියමිත තීන්දුව ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් කිසිම අදහසක් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඉහත කී සාමාජිකයා මැතිවරණයට දිනයක් නියම කළ යුතුයැයි අප්‍රේල්  20 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර සාකච්ඡාවේදී බලපෑම් කරනු ඇතැයි ‘අනිද්දා’ පුවත් වෙබ් අඩවියේ තව දුරටත් සඳහන් වේ.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැයි මස අගදී මැතිවරණය පැවැත්වීමට නම් අප්‍රේල් 20 වනවිට රට සාමාන්‍ය අතට පත්වී තිබිය යුතු බව මිට ඉහත දී පැවසුවේ රාජපක්ෂවරුන්ගේ අනුමැතිය ඇතිව බව ‘කලම්බු ටෙලිග්‍රාප්’ වැඩිදුරටත් පවසා ඇත.

ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාව වෙත රටේම අවධානය යොමුවී ඇත. ඒ නිසාම, ‘අනිද්දා’ පුවත් වෙබ් අඩවියට මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඉදිරිපත් කර ඇති පහත කරුණු කෙරෙහිද අවදානය යොමු කිරීම වැදගත් වේ.

 

හදිසි මැතිවරණයක් පැවැත්වීම අනුවණකමක්!

Image ලංකාවේ කොරෝනා ආසාදනයෙන් මියගිය අයකු ආදාහනය කිරීමට සුදානම් වන අවස්ථාව ජායාරුපයක්..

”මේ වන විට ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, රජයේ වෘත්තිය සමිති, ආණ්ඩු හිතවාදී දේශපාලන පක්ෂ හැර අනෙකුත් දේශපාලන පක්ෂ, හිටපු කථානායකවරයා, හිටපු විපක්ෂ නායකයා සිවිල් සංවිධාන ඇතුළු මේ තීන්දුවට අදාළ පාර්ශ්වයන් සියල්ලම පාහේ අවදානම පහව යන්නට පෙර හදිසි මැතිවරණයක් පැවැත්වීම අනුවණකමක් බව කියා ඇත.

ආණ්ඩුව මේ හදිසියේ මැතිවරණයක් ඉල්ලන්නේ දැනට විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව ඉදිරි මාස කිහිපය දක්වා රැස්කරන්නට පුළුවන්කම තිබියදීය. මේ මැතිවරණය ඉදිරි මාස කිහිපයට අදාළ මාතෘකාවක්  නොවේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට 19 වැනි සංශෝධනයෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා රටට තීරණාත්මක බව තර්ක කළ හැකිය.

”ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට 19 වැනි සංශෝධනයෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා රටට තීරණාත්මක බව තර්ක කළ හැකිය. ”

රටේ වැදගත්ම මැතිවරණයක් වන මෙය හැමදාම උදා වන අවස්ථාවක් නොවේ. ඉදිරි වසර හතරහමාරක්වත් ගෙවෙන තුරු මේ මැතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව ඍජුව බලපානු ඇත. ඉන්පසුව වසර සීයකටත් එහා අනාගතය දක්වා මේ මැතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව බලපානු ඇත.

 

කොමිසමේ සාමාජිකයන් වෙත විශාල පීඩනයක්!

නැවත කොමිෂන් සභාව දෙසට හැරෙමු. මේ මොහොතේ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත විශාල පීඩනයක් ඇති බව පැහැදිලිය. ඒ පීඩනය මත කොමිෂන් සභාව ස්වාධීන සහ ස්වාධීන බව මහජනතාවට පෙනෙන තීන්දුවක් ගත යුතු බවත් පැහැදිලිය.

එම සාමාජිකයන් තිදෙනාම පසුගිය වසර කිහිපය තිස්සේ අඩු වැඩි වශයෙන් තමන්ගේ වගකීම ඉටු කර ඇති බවත් පැහැදිලිය.

එහෙත් දැන් ඔවුන් ඉදිරියේ අලූත් අභියෝගයක් ඇත. අපි සියලූදෙනාම ඒ දෙස බලා සිටින්නෙමු.

ඉහත සඳහන් කර ඇති පරිදි මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හිතවතුන් සමඟ කියා ඇත්තේ, මීට පෙර මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු අප්‍රේල් 25 වැනිදා වන විට කොමිෂන් සභාව මැතිවරණ දිනයක් නියම නොකළහොත් ජනාධිපතිවරයා ඉන්පසුව මැතිවරණ දිනයක් නියම කරනු ඇති බවය. ඉන්පසුව ජනාධිපතිවරයා තමන්ගේ නිලධාරීන් යොදවා මැතිවරණය පවත්වනු ඇති බවය.

 

ජනාධිපතිවරයාට එවැන්නක් කිරීමට බලය ලැබුණේ කෙසේද ?

ජනාධිපතිවරයාට එවැන්නක් කිරීමට බලය ලැබුණේ කෙලෙසදැයි එම කොමිෂන් සභා සාමාජිකයා පැහැදිලි කර නැත. මැතිවරණ දිනය ජනාධිපතිවරයාට නියම කළ හැකි බව පැහැදිලිය. හදිසි තත්වයක් ඇතිවුවහොත් කොමිසමට දිනය කල් දැමීමට බලය තිබෙන බවත් පැහැදිලිය.

එහෙත් කොමිසම මැතිවරණය කල් දැමීමෙන් පසුව ජනාධිපතිවරයාට දින නියම කරන්නට බලය ලබාදුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ කුමන වගන්ති යටතේදැයි පැහැදිලි නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ එවැනි ප්‍රතිපාදනයක් තිබේයැයි ලියුම්කරුට නම් දකින්නට ලැබුණේ නැත.

එම කොමිෂන් සභා සාමාජිකයාගේ බිය සාධාරණ යැයි සිතමු.

”මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම නම් අවදානම් සහගත තීන්දුවට ස්වාධීනත්වයක් සහ යුක්ති සහගත බවක් ආරෝපණය කිරීම මැතිවරණ කොමිසමේ කාර්යභාරය නොවේ.”

මැතිවරණ කොමිසමේ සාමාජිකයා හිතවතුන් සමඟ කියා ඇති පරිදි කොමිසම දිනයක් නියම නොකළහොත් ජනාධිපතිවරයා දිනයක් නියම කොට, කොමිසමේ සාමාජිකයන්ගේ තීන්දුවට පිටින් මැතිවරණය පවත්වනු ඇතැයි මොහොතකට අනුමාන කරමු.

තත්වය එසේ වුණත්, කොමිසම එම කාරණයට බියෙන් තීන්දුවක් ගත යුතු නැත. කොමිසම ගත යුත්තේ මේ මොහොතේ තර්කානුකූල තීන්දුවය. ජනාධිපතිවරයා ගනු ඇතැයි අනුමාන කරන තීන්දුවකට ප්‍රතිචාර දැක්වීමක් කිසිවෙකු ඔවුන්ගෙන් අපේක්ෂා නොකරනු ඇත.

ජනාධිපතිවරයා කොමිසමටත් පිටින් ගොස්, ඒ ආකාරයට ඡන්දය පවත්වන්නට උත්සාහ කළහොත් එයින් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරයාගේ සැබෑ අරමුණ ජනතාව ඉදිරියේ හෙළිදරව් වීමය. එමෙන්ම, කොමිසමේ තීන්දුවට පිටින් එලෙස මැතිවරණය පවත්වන්නට උත්සාහ කළොත් එයට එරෙහිව අධිකරණයේදී සටන් කිරීමේ හැකියාවක්ද පුරවැසියන්ට ඇත.

මේ ජනාධිපතිවරයාට බයෙන් සියලූ තීන්දු ගත යුතු ඒකාධිපති රටක් නොවේ.

මේ ජනාධිපතිවරයාට බයෙන් සියලූ තීන්දු ගත යුතු ඒකාධිපති රටක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී රටකි.

මෙවැනි මොහොතක මැතිවරණයක් පැවැත්වීම නම් අවදානම් සහගත තීන්දුවට ස්වාධීනත්වයක් සහ යුක්ති සහගත බවක් ආරෝපණය කිරීම මැතිවරණ කොමිසමේ කාර්යභාරය නොවේ.

කොමිෂන් සභාව නියම කළ දිනයක මැතිවරණය පවත්වා වසංගතය පැතිර යෑමෙන් බරපතළ තත්වයක් උදා වුවහොත් කොමිසමට එහි වගකීම බාරගන්නට සිදුවනු ඇත.

ජනාධිපතිවරයාට එතරම් හදිසියක් තිබෙනවා නම්, උක්ත මැතිවරණ කොමිෂන් සාමාජිකයා තර්ක කරන අන්දමේ බලයක් ජනාධිපතිවරයාට තිබේ නම්, (අප දන්නා ආකාරයට එවැනි බලයක් ජනාධිපතිවරයාට නැත.) ජනාධිපතිවරයාටම දිනයක් නියම කොට ඔහුට මැතිවරණයෙහි වගකීම ගත හැකිය.

 

මැතිවරණ කොමිසමේ සභාපති කියන කතාව :

Elections Commission Chairman Mahinda Deshapriya says Sri Lanka's ...මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

මේ අතර ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැන ද සැක පළකරද්දී සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු විසින් සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ දැක්වේ.

”අද 2020 අප්‍රේල්  20 රැස්වීමේදී මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් මැකොස කුමක් කරන්නේද යන්න දේශපාලන ක්‍රියාකාරීහු , මාධ්‍යවේදීහු ඇතුළු අපගේ මිතුරෝ මගෙන් විමසති.

මැකොස මතය ගැන මට කිසිවක් නොහැකිය . මක්නිසාද යත් එය තිදෙනකුගෙන් සමන්විත බැවිනි . එමෙන්ම මැකොස තුළ කතා කළ යුතු දේ , විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු , කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම මා හෝ මැකොස අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බැවිනි.

එහෙයින් මා දරණ මතය මට දැන් ප්‍රකාශ කිරීමට නොහැකිය.

කෙසේවුවද පවත්නා තත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව මැකොස සාකච්ඡා කරනු ඇත.

කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතුය.

ඒ පිළිබඳව විවිධ අදහස් ජන මාධ්‍ය තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල් තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට නියම කිරීමේ බලපෑම් කළ නොහැකිය.

එසේවුවද අප වෙත සංනිවේදනය කරන ලද සෑම කරුණක් කෙරෙහිම හා රටේ තත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සදහා පනවා ඇති නියම පිළිබඳව මෙන්ම නිදහස් , සාධාරණ , විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්දවිමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද තරගය සම භූමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බවද අප විසින් සලකා බලනු ලැබේ .

COVID 19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ඇත .

”COVID 19 වෛරසයේ බලපම හා එහි පාලනය පිළිබඳව මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අදාළ ක්ෂෙත්‍රවල ප්‍රවීණයන්ගේ මෙන්ම නිසි බලය සහිත රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් මෙන්ම අපගේ නිලධාරීන්ගේ අදහස් මැකොස විමසා බලනු ඇත .”

එමගින් වඩාත් සුදුසු තීරණය ගැනීමට මැකොසට හැකිවන ඇතැයි අපේක්ෂිතය.

මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයකුට පක්ෂයකට, කණ්ඩායමකට විශේෂ පක්ෂපාතිත්වයක් දක්වා නැත . ඉදිරියට දක්වන්නේද නැත.

මාගේ පක්ෂපාතිත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය.

අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය.  ජනතාවට පමණක්ය. ජනතාවට පමණක්මය .

COVID 19 ට පරාජය !!!

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!”


theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here