( 7.00 pm ) කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය මගින් මුලු ලොවම සලිත කොට ඇත්තේය. ලොක් ඩවුන් හෙවත් සංචරණ සීමා යටතේ ගෘහවාසීව සිටින ලෝක ජනතාව නොපෙණෙන සතුරෙක් පිලිබඳ බියෙන් තැති ගෙන සිටී. එමගින් ජනිත කරමින් සිටින අහිතකර ප්‍රතිපල දෙල්කඳ පොලේ සිටින කීර විකුණා යැපෙන වෙළෙන්දියගේ සිට ඇමෙරිකානු වෝල් ස්ට්‍රීට් ආර්ථික මර්මස්ථානයේ සිටින ධන කුවේර බිලියනපතියන් දක්වා කාන්දු වෙමින් තිබෙන්නේය. ඒ අල්ල පනල්ලේ ජනතා පරමාධිපත්‍යය ද අභියෝගයට ලක් කරන්නට තරම් නව කොරෝනා වෛරසය ප්‍රබල වී සිටී.
ජනතා පරමාධිපත්‍යයට එරෙහි කොවිඩ් -19
ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය මැතිවරණ යැයි යන්න ප්‍රකට කියමනකි. ලොව කිසිදු ශිෂ්ඨ සම්පන්න රටක් කිසිදු මැතිවරණයක් කල් දැමීමට ක්‍රියා නොකරන්නේය. මීට කදිම නිදසුන නම් නව කොරෝනා වෛරසය අභියස සාර්ථක මැතිවරණ මෙහෙයුමක් කල දකුණු කොරියාවයි. ඔවුන් වසර 1952 සිට කිසිදු දිනෙක නියමිත මැතිවරණයක් කල් දමා නැත. මැතිවරණ ක්ෂේත්‍රයේ ඔවුන් දශක හතකට ආසන්න කාලසීමාවක උපයාගෙන ඇති කීර්තිය අනගිභවනීය බව පැවසිය යුතුමය.
මෙරටේ එවැනි කීර්තිමත් පසුබිමක් මෑත කිසිදු දිනෙක නොදිස්වූ බවද ඊට සමගාමීව සටහන් කල යුතුව ඇත. මැතිවරණයක් යනු දැවැන්ත මානව හා භෞතික සම්පතක් අවැසි සුවිශාල ප්‍රවර්තන මෙහෙයුමකි. මැතිවරණයක් සඳහා එකිනෙකා හා ගැටෙන දැවැන්ත මිනිස් පවුරක් නිර්මාණය කල යුතුමය. එහෙත් නව කොරෝනා වෛරසයෙන් ගැලවීමේ වඩාත් සුදුසුම ක්‍රමවේදය වන සමාජ දුරස්ථකරණය හමුවේ එවැනි මිනිස් පවුරක් ගොඩනැගිය හැකිද? කෙටිම පිළිතුර නොහැකිය යන්නයි.
එකී නොහැකියාව මගින් ලොව රාජ්‍යයන් සමූහයක ජන්දදායකයන් හට පුරවැසියන් ලෙස හිමිව තිබූ එක් කේන්ද්‍රීය අයිතියක් තාවකාලිකව පැහැර ගෙන ඇත්තේය. එනම් ඔවුන්ගේ පරමාධිපත්‍යය බලයයි. තමන් අභිමත නියෝජිතයා මගින් රටක පාලනයට හවුල් වීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රමුඛ ලක්ෂණයයි. එලෙස නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සමාජගත වීමට ලොව පුරා පැතිරෙමින් තිබෙන වසංගතය කිසිදු අවස්ථාවක් ලබා දෙන බවක් දිස් නොවේ. පහත සඳහන් වන්නේ එලෙස ලොව විවිධ රාජ්‍යයන් කල් දැමීමට ක්‍රියා කොට ඇති මැතිවරණ පිලිබඳ දළ සටහනකි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම සටහන සකසන අවස්ථාව වනවිට මැතිවරණ කල් දමා තිබු රටවල් සංඛ්‍යාව 51 ක් විය.
කොරියාවට කිරි- ලංකාවට කැකිරි න්‍යාය
මෙලෙස සනිදර්ශනාත්මකව කරුණු ඉදිරිපත් කලේ වුවද, විවිධ මට්ටමේ පිරිස් විමසන පැණයක් ඇත්තේය. එනම් දකුණු කොරියාවට මැතිවරණ තියන්න පුළුවන් නම් අපිට බැරි ඇයි ද යන්නයි.
මීට දිය යුතු පිළිතුර මඳක් දිගු එකක් බැවින් මෙම සටහනේ ඉඩකඩ සලකා මූලික කරුණු පමණක් සාකච්ජා කල හැකිය. දකුණු කොරියාව යනු ශ්‍රී ලංකාව මෙන් පසුකාලීනව මෙම මාරාන්තික වසංගතයට ගොදුරු වූ රටක් නොවේ. තම පළමු ආසාධිතයා හමුවීමෙන් අනතුරුව දකුණු කොරියාව තම මැතිවරණය පවත්වා ඇත්තේ දින 88 ක් ඇවෑමෙනි. මෙරටේ අප්‍රේල් 25 මැතිවරණ දිනය ලෙස සලකන්නේ නම් එහිලා අප සතුව පැවති කාල පරතරය දින 46 කි. ඒ අනුව නව මැතිවරණ දිනය වන ජුනි 20 දිනය පිළිබඳව යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිද යන්න තීරණය වන්නේ කරුණු දෙකක් මතය.
01. වසංගත තත්වය පාලනය සඳහා රජය මගින් ගන්නා සෑම පියවරක ම පැවතිය යුතු අඛණ්ඩව සාර්ථකත්වය
02. ඒ සෑම පියවරක්ම ඉතා කෙටිකලක් තුළ අවසන්ව රට යථා තත්වයට පත්ව, මැතිවරණ ප්‍රචාරයට සුදුසු පරිසරක් නිර්මාණය වීම
ඉහත කරුණු ද්විත්වය පරිපුර්ණත්වයට පත්කළ හැක්කේ රජය හා ඊට සහය දෙන සෞඛ්‍ය සහ අනෙකුත් පරිවාර සේනාවන්ට පමණි. සෑම කාර්යයක්ම සතුටුසහගත ලෙස අවසන් වන්නේ නම් මෙරටේ පළමු කොවිඩ් -19 ආසාධිතයා හමුවීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමේ කාල පරතරය දින 102 ක් වන අතර (ජූනි 20 ලෙස සටහන් නව මැතිවරණ දිනයට) එය දකුණු කොරියාව ගත් කාල පරතරය ද ඉක්මවා යෑමකි.
දකුණු කොරියාවේ එහෙමයි – ලංකාවේ මෙහෙමයි
මෙරටේ පැළපදියම්ව ඇති පැරණි කියමනකින් පැවසෙන පරිදි ගිනිබත් වූ ගෙයක අඟුරු හිඟයක් නොතිබිය හැකිය. එලෙසම ව්‍යසනයක් නොව ඊට වඩා අඩු විනාශකාරිතවයක් කැඳවිය හැකි අවස්ථාවකට වුව ඊට සරිලන සේ මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් අප රටේ ඇතිදැයි විමසීම වටී. මිලියන 51 කට වඩා අධික ජනගහණයකින් යුත් දකුණු කොරියාව තම ව්‍යවස්ථාදායකය සඳහා නීති සම්පාදකයන් 300 දෙනෙක් තෝරා ගන්නා ලද්දේ පසුගිය අප්‍රේල් 15 වැනිදාය. 14,300 ක් වූ ජන්ද මධ්‍යස්ථාන කේන්ද්‍රකරගනිමින් මිලියන 28 ක ජන්දදායකයන් පිරිසක් වෙත තම ජන්ද භාවිතයට පහසුකම් සැළසූ එකී මැතිවරණයේ සාර්ථකත්වය කෙතරම් ද යත් ජන්ද භාවිතයේ ප්‍රතිශතය 66.2% ක් වූ අතර එය වසර 28 ක ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක භාවිත වූ ඉහළම ජන්ද ප්‍රතිශතය එය විය.
මෙකී සාර්ථක ප්‍රතිපල අත්වූයේ දකුණු කොරියානුවන් එක් රැයක් තුළ සිදුකල විශ්මිත හපන්කමක් නිසා නොවේ. ඔවුන් ආසියාවේ සිව්වැනි තැන පසුවන ආර්ථික යෝධයන් වන අතර දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය බැලීමේදී අපට පිටුපසින් සිටින්නේ යන්තම් ඇෆ්ඝනිශ්තානය පමණි. ජන්ද පොළට ඇතුළුවන කවර හෝ ජන්දදායකයෙක් වේවා ඔවුන්ගේ උෂ්ණත්වය මැන බැලීමේ සිට අත් වැසුමක් ලබා දීම දක්වා සියලු ආරක්ෂක විධිවිධාන සැලසීමට ඔවුන් නොපැකිලව ඉදිරිපත් විය. උෂ්ණත්වය සෙල්සියස් 37.5 ට වැඩි පිරිස් සඳහා තාවකාලික කුඩාරම් සකස් කොට ආසාධිතයන් සඳහා ජන්ද භාවිතය ප.ව. 6 න් පසුව සිදුකිරීමටද ඔවුන් ක්‍රියා කළේය. එකී ආසාධිතයන් පැමිණියේද ඔවුන්ගේ හෝ රජය සැපයු ප්‍රවාහණ පහසුකම් ඔස්සේය.
එහි වඩාත් සිත්ගන්නා සුලු දර්ශකය එය නොවේ. දුරස්ථ ජන්ද භාවිතයේ ප්‍රතිශතයයි. එය 26.7 ක් විය. මැතිවරණ පිලිබඳ උනන්දුවක් හා දැනුමක් ඇත්තෝ මෙකී මෙම ප්‍රතිශත පිලිබඳ විශ්මයට පත්විය යුතුව ඇත්තේය. මැතිවරණ දිනයක, මෙරටේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් ප්‍රමාණය හෝ රෝහල්ගතව සිටින නේවාසික රෝගීන් ප්‍රමාණය ගැන ඔබ දනුම්වත්ද? බියගම හා කටුනායක ද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ පිහිටි ආයෝජන කලාප 13 ක විසිරී සිටින සේවක පිරිසේ සැලකිය යුතු තරුණ ප්‍රජාවක් අදාළ දිස්ත්‍රික්ක වලින් පිටත ප්‍රදේශවලින් පැමිණ සේවය කරන බව දන්නේ කීයෙන් කී දෙනාද?
ෆීනික්ස් පක්ෂියෙකු විය යුතු අපේ කොමිෂන් සභාව
පසුගිය ජනාධිපතිවරණය අභිමුව තවත් සමාජ ක්‍රියාකාරීන් දස දෙනෙක්ද පිරිවරාගෙන අප මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනා හමුවුයේ ඉහත කී කටුනායක බියගම ආයෝජන කලාපයේ සේවය කරන 20,000 කට අධික තරුණියන් පිරිසට එහි සේවය කරන අතරතුරදීම ජන්ද භාවිතයට අවසර පැතීමටය. කෙටි වේලාවක් පැවති සාකච්ජාවේ අවසන සභාපතිවරයා දැන්වූයේ අගතියට පත් පාර්ශව වෙත පිළිසරණ පතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන ලෙසත් ඊට මැතිවරණ කොමිෂන් සභාව අවැසි සහයෝගය හා ආශීර්වාදය සපයන බවත්ය. එහෙත් කරුණු හැදෑරීමේදී අපට වැටහී ඇත්තේ එවැනි පිරිසකට ජන්ද භාවිතයට අදාළ පහසුකම් සැලසීමට නීතියෙන් බාධාවක් නැති බවයි. ඇත්තේ යම් යම් ප්‍රයෝගික ගැටලු සමුදායකි. එවැනි ආකාරයේ තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට තරම් අසමත් පිරිසක් අප කොමිෂන් සභාවේ සිටිතැයි කිසිවිටෙකත් සිතිය නොහැකිය.
තවද දහස් සංඛ්‍යාත රැඳවියන් පිරිසක් රැඳී සිටින වැලිකඩ වැනි බන්ධනාගාරයක මැතිවරණ දිනයේදී තාවකාලික ජන්ද මධ්‍යස්ථානයක් ස්ථානගත කල නොහැක්කේ ඇයි දැයි වටහා ගත නොහැකිය. මින් පැහැදිලි වන්නේ කුමක්ද? වසර ගණනාවක සිට මැතිවරණ දෙපාර්තමේන්තුව සහ කොමිෂන් සභාව මෙරටේ මැතිවරණ නීති යාවත්කාලීන කරන්න යැයි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින ලද අතර ඊට කමිටු ද පත්කළේය. වාර්තා ද සකස් කළේය. එහෙත් සියල්ල තවමත් එක තැනය. එපමණක්ද? තමන්ගේ අනුමැතිය යටතේ මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන සියගණනක් වූ මැතිවරණ නිරීක්ෂකයන්ට පවා ජන්ද භාවිතය මඟ හැරී ඇත්තේ දශක ගණනාවක සිටය. එවැනි පිරිස් වෙත පවා තමන් හට උපයෝගී කරගත හැකි නීතිමය ප්‍රතිපාදන පාදක කරගනිමින් පහසුකම් සැලසීමට තරම් හදවත කම්පා නොවන අපේ මැතිවරණ කොමිෂන් සභාව ද තම උපායමාර්ග පිලිබඳ අලුතෙන් සිතිය යුතු නොවේද?
මැතිවරණ පවත්වා සැනසෙමුද – වැනසෙමුද?
මෙවර මැතිවරණයට ඉදිරිපත්වන සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව එය 7,452 කි. මින් අවංක ආධ්‍යාශයෙන් තරග වදින අපේක්ෂයන් 3,000 ක් දෙනා එක් දිනක් තුළ කුඩා පරිමාණයේ ප්‍රචාරක රැළි 05 ක ප්‍රමාණයක් සංවිධානය කරන්නේ යැයි උපකල්පනය කළහොත්, දිනක් තුළ පැවැත්වෙන සමස්ත රැස්වීම් ප්‍රමාණය 15,000 ක් වන්නේය. ඔවුන් 3,000, තවත් දස දෙනෙක් ගෙන්ගෙට යැවුවහොත් දිනක් තුළ රටෙහි සංචරණය වන දේශපාලන ආධාරකරුවන් ප්‍රමාණය 30,000කි.
එවැනි ප්‍රචාරක කටයුතු නොකොට සමාජ ජාල මාධ්‍ය හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කර ගැනීම යෙහෙකැයි මැතිවරණ කොමිෂන් සභාව ඔවුන් වෙත දැන්වීමේ හැකියාවක් නැතිද? නැත. හේතුව නම් දකුණු කොරියාවේ මෙන් පැතිරී ගිය පුළුල් සන්නිවේදන අවස්ථා මෙරටේ නැත්තේය. සෑම අපේක්ෂකයෙකුටම සමාන අවස්ථා සැළසීම මැතිවරණ කොමිෂන් සභාවේ වගකීමයි. මෙරටේ මැතිවරණ ක්‍රියාදාමය නවීන තාක්ෂනය හා මුසුවූ මාර්ගගත ක්‍රමවේද අනුසාරයෙන් සැකසුණු එකක්ද නොවේ. මැතිවරණයක් පැවැත්වීම යනු දහස් ගණනක ශාඛ පද්ධතියක් ආශ්‍රයෙන් නිපදවෙන කඩදාසි ලොරි ගණනක් කා දමන එකකි. ජන්ද ගණනයට පමණක් ඉතා කුඩා කාමරයක අවම වශයෙන් නිලධරයන් 12 දෙනෙකු හෝ එකත්පසව සිටිය යුත්තේය. ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා අවශ්‍යනම් මැතිවරණ නිරික්ෂකයන්ද නොමැතිවය. මේ සෑම කාර්යයක් ම පුද්ගලයන් උරෙනුර ගැටී සිදුකරන අනිවාර්ය කටයුතුය. මින් පැහැදිලි වන්නේ කුමක්ද? මෙවැනි ආකාරයේ ස්පර්ශය හා මුහුණට මුහුණ සිදුකරන කාර්යයක් සඳහා සෞඛ්‍යමය වශයෙන් අනුමැතියක් දීමට නම් අදාළ බලධාරීන් දිගු නින්දකට වැටි සිටිය යුතු බවයි.
කොරෝනා යනතෙක් මැතිවරණය ලොක්ඩවුන් කල හැකිද?
සැබවින්ම නොහැකිය. මෙරටේ ඇති එක් වාසනාවන්ත ලක්ෂණයක් නම් ඉතා විශිෂ්ඨ ඝනයේ සේවයක් සැලසිය හැකි තරුණ රජයේ නිලධාරීන් පිරිසක් සිටීමයි. අභියෝගයක් ලෙස භාරදෙන්නේ නම් කොරෝනාව සපුරා මෙරටින් තුරන් වීමට පෙර වුවද මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට සමත් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් පිරිසක් මෙරටේ සිටී. ඔවුන්ට අවැසි වන්නේ කෙටි කාලසීමාවක් පමණි. නිර්මාණාත්මක යෝජනා සමුදායක් ඔවුන් සතුය. ඔවුන්ට ඉඩදීම මෙහිලා ප්‍රමාණවත්ය. ඊට අදාළ බලධාරීන් ආශීර්වාද කල යුතු අතර නීතිමය ප්‍රතිපාදන නැති එහෙත් තාක්ෂණිකව ජයගත හැකි අභියෝග ඒ ඒ දිස්ත්‍රික්ක මට්ටමින් විසඳා ගැනීමට ඔවුන් බලාත්මක කල යුතුය.
ජූනි මාසය මැතිවරණ මාසයක් වේද?
දැනට රජය මගින් හෙළිකොට ඇති සංඛ්‍යා දත්ත අනුව පැහැදිලි වන්නේ මැතිවරණ ප්‍රචාරයට එළියට බැසීමට සුදුසු පරිසරයක් සකස්ව නැති බවයි. ප්‍රතිරූප ප්‍රවර්ධනය කෙසේවෙතත් ජීවිතය බේරාගැනීම මේ මොහොතේ සියලු දෙනාගේ පැතුමයි. ජූනි මාසය සරු වීමටනම් මැයි මාසයේ මැතිවරණ ප්‍රචාරයට ඉඩකඩ තිබිය යුතුය. නිරීක්ෂණ සංවිධාන ලෙස අප ද පසුවන්නේ අර්බුදයකය. මේ ව්‍යසනය අස්සේ කොරෝනා ප්රුෆ් එනම් වසංගතයට ඔරොත්තු දෙන නිරික්ෂකයන් සොයාගන්නේ කෙසේද? මැතිවරණ දිනයේ එක් ප්‍රදේශයක ආසාධිතයෙක් හමුවී යැයි සිදුකරන වැරදි සන්නිවේදනයකදී සිදුවිය හැක්කේ කුමක්ද? එවැන්නකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිෂන් සභාව සමත්ද? එක් පක්ෂයක් හෝ තෝරාගත් අපේක්ෂකයන් ප්‍රමාණයක් පමණක් ප්‍රවර්ධනය කරන අගතිගාමී මාධ්‍ය රැල්ලකට ගසා ගෙන යෑමට නියමිත මෙරටේ අනාගත මැතිවරණ යළි නියමිත ප්‍රමිතියට ගැනීමට අභිනවයෙන් සොයා ගෙන ඇති උපායමාර්ග කවරේද? එවැනි සාකච්ජාවක් මැතිවරණ කොමිෂන් සභාව තුළ සිදුවී තිබේද? එකී කොමිසමෙහි සාකච්ජාවට භාජනය නොවූ කරුණු පවා බ්‍රේකින් නිවුස් මට්ටමට ජන්දදායකයන් වෙත ලබා දීමට ක්‍රියා කරන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉහත කරුණු පිළිබඳව මෙතෙක් දක්වා ඇති සැලකිල්ල ප්‍රමාණවත්ද?
හමාර කීම
පිරිසක් මැතිවරණ එපා යැයි හඬ නගන්නේය. තවත් පිරිසකට මැතිවරණයක් නැතිව කුසට ගන්නා අහර පවා දිරවා ගත නොහැකිය. ඒ දෙපිරිසේම නොවන තවත් පිරිසකට මැතිවරණ වානාය. ඉතාම සුළුතරයක් ජනාධිපති හා හමුදාව පමණක් ඇතියැයි සිතා සිටිති. එලෙස සිතන, නොසිතන සියලු දෙනාගේ කාරුණික දැනගැනීම සඳහා කීර්තිධර ඒබ්‍රහම් ලින්කම් වරෙක කියා ඇති කරුණක් මෙහි දක්වා, සාකච්ජාව සමාප්ත කල හැකිය.
”මැතිවරණ හිමි ජනතාවටය. එය ඔවුන්ගේ තීරණයයි. ඔවුන්ගේ තීරණය ගින්නට පිටු පෑමනම්, දැවී පිළිස්සුනු පස්චාත්භාග මත හිඳ සිටින්නට වන්නේද ඔවුන්ටමය”
වාසනාවට හෝ අවාසනාවට මෙවර ආසන්න දිනයක්ද මැතිවරණය සඳහා ලැබී ඇත්තේය. ඉන් කියැවෙන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ද ඇනීමට තැත් කිරීමක් දෝයි අපි නොදන්නෙමු. එහෙත් එකක් පැහැදිළිය.
පාර්ලිමේන්තු මහා මැතිවරණය, කොරෝනා වෛරස් මැතිවරණයක් බවට පරිවර්තනය වීමේ සියලු ඉඩකඩ තවමත් විවරව පවතී. එසේ නොවන්නට සමත් සහතිකයක් දීමට හැකි ජගතෙක් මෙරටින් තවම හමුවී නැත.
මංජුල ගජනායක,
ජාතික සම්බන්ධීකාරක,
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV).