මැතිවරණ, පොලිස් කොමිසම් පත් කරන තුරු බලා නොසිට වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න – MFFE

0
91

mffeආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම දිගින් දිගටම කල් දැමීමට එක්සත් ජතතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් ක්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ පොලිස් කොමිසම පත් කිරීම මේ මොහොතේ යථාර්ථයක් නොවන බවත්, එබැවින් දින සියයේ වැඩසටහන මගින් ජනතාවට පොරොන්දු වූ ප්‍රකාරව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගරු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ (MFFE) ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය එසේ ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම පත් නොකර මැතිවරණය නොපැවැත්විය යුතු බවට නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ව්‍යාපාරය හෙවත්  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් කළ නිවේදනයකට පිළිතුරු වශයෙනි.

මහ ඡන්දෙට නැති ස්වාධීන මැතිවරණ කොමිසම ඡන්දෙන් පස්සේ කොස් කොටන්නදැයි කැෆේ සංවිධානය විමසා තිබුණි.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මෙසේ කියා ඇත.

පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට නම් යෝජනා කරන්නේ ව්‍යවස්ථාදායක සභාවය. ඒ නිසා පොලිස් කොමිසම පත්කිරීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත් කළ යුතුය.

නමුත් වර්තමාන ව්‍යවස්ථාදායක සභාව විකෘතියකි. ආරම්භක යෝජනාව අනුව එය සිවිල් සමාජ සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත විය යුතු වුවත්, රාජපක්ෂවාදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් විසින් කාරක සභා අවස්ථාවේදී එය වෙනස් කර සිවිල් සමාජ සාමාජිකයන් සංඛ්‍යාව තුන දක්වා පහළ දමන ලදී. ඊ ළඟට එම නම් පාර්ලිමේන්තුවෙන් අනුමත වෙන්නත් අවශ්‍ය බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කිිරීමටත් ඒ මන්ත්‍රිවරුන් සමත් වුණි. දැන් මේ ප්‍රතිපාදන යොදා ගෙන ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම අවහිර කිරීමට ඔවුහු ක්‍රියා කරමින් සිටිති. මේ තත්ත්වය යටතේ වර්තමාන පාර්ලිමේන්තුව වෙතින් ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමට බලාපොරොත්තුවීම යනු මිරිඟුවක් පසුපස දිව යාමකි.

එසේ ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවත්, සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනා තවම පත්කර නැති නිසා සියළු පත් කිරීම කරන්නට වෙන්නේ සාමාජිකයන් හත් දෙනෙකු විසින්ය. ඔවුන් සියළු දෙනාම දේශපාලනඥයන් වන අතර ඒ නිසා ඔවුන් විසින් පත් කරනු ලබන පුද්ගලයන් කෙතරම් ස්වාධීනද යන ප්‍රශ්නය පැන නගියි. මේ නිසා දැන් කළ යුත්තේ වර්තමාන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ජනමතයට ඉඩ දී නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට මහජනයාට ඉඩ සැලසීමය.