මැයි දිනය අවලංගු වුනේ කොරෝනා නිසාමද ?

0
308

දැනට ශ්‍රි ලංකාවේ කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි සියලු පක්ෂ වල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව තීරණය කර ඇත.  

හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් එම එකඟතාවයට පැමිණි බවය.  

කොවිඩ් 19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි දිනය පැවැත්වීමට ඇති හැකියාව සබැදිව සාකච්ඡාවක් අද දින කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ  ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.    

මේ අතර theleader.lk වෙබ් අඩවිය ආවධාරණය කර සිටින්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර වෙනම මැයි දින රැළියක් පැවැත්වීමට කටයුතු යොදා තිබු අතර අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී පක්ෂද ඊට සහය දැක්වීමට නියමිතව තිබුන බවය.
මෙසේ මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට රජය විසින් ගනුලැබූ තීරණයත් සමග ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය  මැයි පළමුවෙනිදා එළිපිට පුපුරායාමට තිබු අවධානම අහෝසිවී තිබේ යැයිද එහි සදහන්ය.

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් කියා ඇත්තේ හමුදාපතිවරයා කියන ආකාරයේ එකඟතාවයකට තමන්ගේ පක්ෂය කැමැත්ත පළකර නැති බවය.
ඔහු විසින් සටහන් කර ඇති සම්පුර්ණ සටහන පහත පරිදිය

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන රැළි අවලංගු කිරීමට කිසිදු තීරණයක් අප පක්ෂය විසින් ගෙන නැති අතර මෙම පුවතේ කියන ආකාරයේ සාකච්ඡාවක් සඳහා අපට දැනුම්දීමක් ලැබුණේද නැත.


කම්කරු දින රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ පොලිසිය විසින් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡාව පැවැත්විනි. එහිදී එක් එක් පක්ෂය සඳහා රැස්වීම් භූමි වෙන් කරදීම සිදු කෙරුණු අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ සිදු කිරීමට පොලිස් අනුමැතිය ලබා දෙන ලදී.

නමුත් එක්වරම අද හමුදාපතිවරයා විසින් කම්කරු දින අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර එවන් කිසිදු කරුණක් සම්බන්ධයෙන් රජයේ කිසිදු ආයතනයක් අප සමග සාකච්ඡා කර නැත.සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ කිසිදු සීමා කිරීමකින් හෝ සෞඛ්‍ය රෙගුලාසියකින් තොරව වෛරසය ව්‍යාප්ත වීමට අවකාශ සැලසූ ආණ්ඩුව දැන් වසංගතය පෙන්වා කම්කරු දිනය තහනම් කිරීමට සැරසෙන්නේනම් එම අත්තනෝමතික තීරණයට එරෙහිව සටන් වැදිය යුතුය. එම අත්තනෝමතික තීරණයට දේශපාලන පක්ෂ වල අනුමැතිය ලබාදී ඇති බවට හමුදාපතිවරයා කර ඇති අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දැකිය යුතුය.